වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඇඟිල්ලේ තරම දැන ජීවත්වෙන්න
මැදැඟිල්ල
මැදැඟිල්ල වූ කලී පුද්ගලයකුගේ චින්තන ශක්තිය, බුද්ධිය හා චරිතය දක්වන්නේය. එමෙන්ම ඔහුගේ ඥානය, අධ්‍යාපනය, ආත්ම ශක්තිය, ආගම දහම කෙරෙහි ඇති විශ්වාසය දක්වන්නේ ද මැදැඟිල්ලෙනි.
මැදැඟිල්ලේ තුඩ උල්ව පැවතියේ නම් අනුකම්පාරහිත වූ දුරදිග නොසිතා ක්‍රියා කරන්නා වූ ද විචාර බුද්ධියෙන් හීන වූ ද අයකු වේ.
නිය සහිත පුරුක වටව මනාව පිරී දිගුව පැවතියේ නම් ඉවසිලිවන්ත වූ ද ධෛර්යසම්පන්න වූද කෙසේ හෝ තම බලාපොරොත්තු ඉටුකර ගන්නා වූ ද අයකු වේ. එම පුරුක කෙටි වූයේ නම් දුර්වල චිත්ත ශක්තියෙන් යුක්ත වූ ද, නිතර දුක් සහිත සිතුවිලි පහළ වන්නා වූ ද, තැවිලි වන්නා වූ ද අයකු වේ.
මැද පුරුක දිගුව මනාව වැඩී තිබුණේ වී නම් හෙතෙම යහපත් මානසික ශක්තියකින් යුක්ත වූ ද, කරුණාවන්ත වූ ද, යුක්තිගරුක වූ ද අයකු වේ. මනා ධාරණ ශක්තියක් ද මතකයක් ද සහිත වේ. මෙම පුරුක කෙටි වූයේ නම් අහංකාර ගති සහිත වූද, ඊර්ෂියා සහිත වූ ද, රහසින් පව් කරන්නා වූද, අන්‍යයන් කෙරේ කිසිදු තැකීමක් නැත්තා වූ ද අයකු වේ.
මුල් පුරුක දිගුව මනාව වැඩී ඇත්තේ වී නම් හිතමිත්‍රාදීන් නොරුස්නා වූ ද, තනිව හුදෙකලාව ජීවත් වන්නට උත්සාහ දරන්නා වූ ද අන්‍යයන්ට කිසිදු උපකාරයක් නොකරන්නා වූ ද තෘෂ්ණාධික වූ ද අයකු වේ. එම පුුරුක කෙටිව පිහිටා තිබුණහොත් අධිෂ්ඨාන ශක්තියෙන් හීන වූ ද ධෛර්යයෙන් හීන වූ ද බොහෝ බලාපොරොත්තු ඇතත් උත්සාහ නොකරන්නා වූ ද ජීවිතය බොහෝ කරදර මධ්‍යයේ ගත කරන්නා වූ අයකු වේ.
වෙදැඟිල්ල
වෙදැඟිල්ල වූ කලී ජිවිතයේ ප්‍රීතිමත්භාවයේ සංකේතය වෙයි. කරුණාව, විචාර බුද්ධිය, කලා කෞශල්‍යය, ගෞරවය යනාදී කරුණු කෙරෙහි බලපවත්නා වෙදැඟිල්ල දබරැඟිල්ල තරමට දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වේ. හදිසි ධනලාභ, ලොතරැයි, සුදු ආදියෙන් ජිවිතය ජයග්‍රහණය කරන්නට උත්සාහ කරන්නෙක් වේ.
වෙදැඟිල්ල, මැදැඟිල්ල තරමට දිගු වුවහොත් කලබලකාරී ගතිපැවතුම් සහිත ජීවිතය අවුල් කරගන්නෙක් වෙයි. ඉක්මන්කාරකට නිසා බොහෝ දේ නැතිනාස්ති කර ගනියි. දියුණු වීමේ දැඩි අභිලාෂයෙන් යුක්තව සිහින මවන නමුත් ඉන් ප්‍රතිඵල නොලබයි. කෙටි වෙදැඟිල්ලක් පිහිටියේ නම් අපකීර්ිතියට පත් වේ.
නිය සහිත පුරුක ප්‍රබලව දිගුව වැඩි තිබේ නම් ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණයෙක් වේ. සරාගික වේ. කෙසේ හෝ ජීවිතය සශ්‍රීකවත් කර ගනියි. එම පුුරුක කෙටි වී නම් අලස වේ. සිහින මවයි. දියුණුවීම උගහටය. මැද පුරුක දිගුව පිහිටියේ නම් කීර්ති, ප්‍රශංසා හිමිවෙයි. බෙහෙවින්ම උද්‍යෝගිමත් වේ. ශිල්ප ශාස්ත්‍රාදිය පිහිටන අතර එයින් ප්‍රතිඵල ලැබිය හැකිය. අවංක, ප්‍රියජනක පුද්ගලයකු වේ.
මැද පුරුක කෙටි වූයේ නම් දුසිිරිතෙහි ගැලෙන්නෙක් වේ. අන්‍යයන්ගේ බහට අවනත නොවේ. වෙදැඟිල්ලේ මුල් පුරුක දිගු වූයේ නම් ශිල්ප ශාස්ත්‍රාදිය නිසා සිය ජීවිතය සශ්‍රිකවත් කර ගනියි. අහංකාර වේ. පුරසාරම්කාරයෙක් වේ. එම පුරුක කෙටි වූයේ නම් බුද්ධි හීන වේ. උගතකු ලෙස පෙනී සිටින්නට උත්සාහ කරයි. ලොකු වියදම්කාරයෙක් වේ.
සුළැඟිල්ල
කථිකත්වය, උද්‍යෝගය, චිත්ත ආවේග වැනි කරුණු පිළිබඳ ප්‍රධානත්වය දරන්නා වූ බුධගේ කාරකත්වය යටතේ පවත්නා සුළැඟිල්ල සුවිශේෂ අැඟිල්ලක් ලෙස සැලකේ. ධනය සහ සශ්‍රිකත්වය පිළිබඳ තොරතුරු සුළැඟිල්ලෙන් කිවහැකි බව සාමුද්‍රික ශාස්ත්‍රයේ නියමය වෙයි.
සුළැඟිල්ල, වෙදැඟිල්ලේ නිය සහිත පුරුක් සන්ධිය පසුකොට යන සේ දිගුවූයේ නම් හෙතෙම ධනවතකු වේ. බොහෝ ව්‍යාපාරිකයකු වේ. සුළැඟිල්ල, වෙදැඟිල්ලේ නියපොත්ත අසලට ළංවූයේ නම් හෙතෙම දක්ෂ ලේඛකයෙක් හෝ දේශකයෙක් වෙයි. බොහෝ ශිල්ප ශාස්ත්‍ර හදාරන ලද්දා වූ මහා ධාරණ ශක්තියකින් යුතු පඬිවරයකු වෙයි.
කෙටි සුළැඟිල්ල අදක්ෂයකුගේ ලක්ෂණය විදහා දක්වයි. ඇතැම්විට මානසික තත්ත්වය පවා දුර්වල විය හැකිය. සුළැඟිල්ලේ අග පුරුක දිගුව පිහිටියහොත් බොහෝ අැසූ පිරූ තැන් ඇති අන්‍යයන් වසඟ කොට ගැනීමෙහි සමත් වූ කතාවෙහි සමර්ථ වූ ක්‍රියාශීලි අයකු වේ. එම පුරුක කෙටි වුවහොත් අන්‍යයන් රවටන්නා වූ කපටියකු වේ. ආත්මාර්ථකාමියෙක් වේ. දෙවන පුරුක දිගු වුයේ නම් උත්සාහවන්තයකු වන අතර කෙටි වුයේ නම් අපකීර්තිමත් පුද්ගලයකු වේ. මුල් පුරුක දිගුව පිහිිටියේ නම් තෘෂ්ණාධික වූ බොරුකාරයෙක් වේ. රටටත් පලක් නැති තමන්ටත් ඵලක් නැති නිරර්ථක මිනිසකු වේ.
සුළැඟිල්ලේ මුල් පුරුක කෙටි වූයේ නම් රෝගියකු වේ. හිතුවක්කාරයෙක් වේ. අන්‍යයන්ගේ ද්වේෂයට ලක්වන අතර හෙතෙම අන්‍යයන්ගෙන් ප්‍රතික්ෂේප වී යයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය