ඇඟිලි පටලවගන්නෙ නැතුව ඉරණම බලා ගන්න

මහපටැඟිල්ල සහ දබරැඟිල්ල
අප්‍රේල් 21, 2025

ඇඟිලි අතරින් සුවි‍ෙශ්ෂ ස්ථානයක් හිමිවන ඇඟිල්ල වනුයේ මහපටැඟිල්ලයි. සිකුරු මණ්ඩලයෙන් ඇරඹෙන සිකුරු ග්‍රහයාට අයත් යැයි සැලකෙන මහපටැඟිල්ල පිළිබඳ සාමුද්‍රික ශාස්ත්‍රයේ සුවිශේෂ අවධානයක් යොමු කොට ඇත. එහි දක්වා ඇති ආකාරයට මහපටැඟිලි වර්ග සතක් වෙයි.

 

පහසුවෙන් නොනැමෙන මහපටැඟිල්ලක් පිහිටියේ ද හෙතෙම දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති කුමන ප්‍රශ්නයක් හමුවේ වුව ද නොසැලෙන, භාරගත් කටයුතු මනාව ඉටුකරනා පුද්ගලයින්ට මෙම ආකාරයේ මහපටැඟිල්ලක් පිිහිටයි. ඔවුහු නොපසුබට උත්සාහයෙන් කටයුතු කරති. ජීවිතය පිළිබඳ පූර්ව දෘෂ්ටියක් ඔවුන් සතුවන බැවින් ප්‍රශ්නයක් මතුවීමට පෙර එයට සූදානම් වෙති. ඔවුහු ගෞරවනීය චරිත ගත කරති.

 

පහසුවෙන් නැමෙනා, එනම් නම්‍යශීලි මහපැටඟිල්ලක් පිහිටි පුද්ගලයා ක්‍රමානුකූලව වැඩ කටයුතු කරන්නෙකි. බුද්ධියට වඩා හදවතට ගරු කරන්නෙකි. අලංකාරයට, මිහිරට, රසට නතු වන්නෙකි. කාම සුඛල්ලිකානුයෝගී හැඟීම් ඇත්තෙකි. ජීවිතයෙහි ගැඹුර නොදකින්නෙකි. රසවතෙකි.

 

මෙම ලක්ෂණ දෙකම මිශ්‍ර වූ මහපටැඟිලි ද දක්නට ලැබේ. ඔවුන්ගේ ඉහළ පුරුක හෙවත් නිය සහිත කොටස නම්‍යශීලි වෙයි. අනෙක් පුරුක තද ගතියෙන් යුක්ත වේ. මෙවන් පුද්ගලයින් නිර්භීත වේ. භාරගත් දේ නිම කරන නමුත් ඒ පිළිබඳව දූර්දර්ශීව සිතා මනා ලෙස කටයුතු නොකරයි. ක්‍රියාශීලී වේ. එහෙත් කරන කිසිදු කටයුත්තක බුද්ධිමත් බවක් නැත. ඉතා සරල ලෙස හිතයි. සරල ජීවිතයක් ගත කරයි.

 

ඇතැම් පුද්ගලයන්ට අත්ලට සරි නොවන තරම් කුඩා මහපටැඟිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු අවුල්සහගත වේ. ධෛර්යවන්ත නොවන ඔවුහු කිසිදු උත්සාහයක් නොදරන්නවුන් වේ. ආහාරයට ගිජු, අලස වූ ද මලානික වූ ද මොවුහු රාගාධික වෙති. අහඹු ලෙස ලැබෙන ජයග්‍රහණ පිළිබඳ සිහින මවති. අශෝභන අදහස් පළ කරති. වාචාල වෙති. ජීවිතය ගෙවන්නන් වාලේ ගෙවා දමති.

 

අත්ලට සරි නොවන සේ විශාල වූ මහපටැඟිලි ඇති පුද්ගලයන් උසස් සිතුවිලි සහිත වූ ද, ඥානයෙන් මෙන්ම බලයෙන් යුක්ත වූද පෙර පින් ඇත්තා වූද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තා වූ ද අය වෙති. ඔවුහු දුරදර්ශි ඥානයෙන් යුතු බැවින් ජීවිතය විනිවිද දකින්නාහ.

 

අත් තලයේ ඉතා පහළින් මහපටැඟිල්ල පිහිටියේ නම් ඔවුහු සහයෝගයෙන් ජීවත් වන්නා වූ ද, කරුණාවන්ත වූ ද, ත්‍යාගශීලී බවින් යුක්ත වූ ද අය වෙති. මානුෂික ගුණ ධර්මවලින් හෙබි මෙවන් පුද්ගලයන් පරිත්‍යාගශීලින් වෙති. අන්‍යයන්ගේ දුකට සැපට පිහිට වෙති. බොහෝ කටයුතුවලදී සහජ ඉවක් වැනි ඥානයක් ඇති බැවින් විමසිලිවන්ත ලෙසත්, උචිත ලෙසත් කටයුතු කරති. පරිසරයට ආදරය කරති. උසස් නැණවතුන් අතර මේ ලක්ෂණ බොහෝ විට දක්නට ලැබේ.

 

අත් තලයේ නුසුදුසු තරම් ඉහළින් මහපටැඟිල්ල ඇරඹෙන්නේ නම් ඔවුන් පටු කල්පනාවලින් යුක්ත වන අතර දැනුමෙන් ද ඥානයෙන් ද ගුණයෙන් ද මඳ වේ. විචාර බුද්ධියෙන් තොර වේ. කලහකාරී වේ. කළගුණ නොදත්තෝ වේ.

 

මහපටැඟිල්ලේ නිය සහිත පුරුක මැද පුරුකට වඩා දිගු වූයේ නම් බුද්ධිය පරයා අධිෂ්ඨානයත්, ධෛර්යයත් පෙරමුණ ගනී. මැද පුරුක නිය සහිත පුරුකට වඩා දිගු වූයේ නම් අලසයකු වේ. වැඩ කල් දමයි. කාර්යශූර නොවෙයි. ජීවිතය සාර්ථක කර නොගනියි. මහපටැඟිල්ලේ අග පුරුක දබරැඟිල්ලේ මුල් පුරුකට වඩා දිගු වූයේ නම් අධිෂ්ඨානයත්, තර්ක ශක්තියත් බෙහෙවින් පවතී. මුල පුරුකට වඩා කෙටි වූයේ නම් බුද්ධි හීන වේ. මහපටැඟිල්ලේ අග මුදුන දබරැඟිල්ලේ ස්පර්ශ වේ නම් ශිල්ප ශාස්ත්‍රාදියෙහි ප්‍රවීණයෙක් වේ. කීර්තිමත් වේ.

 

මහපටැඟිල්ලේ නිය සහිත පුරුක ද මැද පුරුක මැද සමාන දිගින් යුක්ත වූයේ නම් බුද්ධියත්, අධිෂ්ඨාන ශක්තියත් එක සමාන වේ. ඉතා සාමකාමි, මැදහත් ඇවතුම් පැවතුම් සහිත බුද්ධිමත් අයෙකු වේ.

මහපටැඟිල්ලේ උඩ කොටස පුළුල් වී පහළ කොටස සිහින්ව පැවතියේ නම් දුක් විඳින්නෙකු වේ. කලබලකාරී සිතක් සහිත වේ. එසේම දෙවන පුරුක නිය සහිත වැනි පුරුකට වඩා කෙටිව ගනව පිහිටියේ නම් හිතුවක්කාරයෙක් වේ. අයහපත් දේ කරන්නට පෙලඹෙන රළු හදවතක් ඇත්තෙකු වේ.

අත් තලයට නොගැළපෙන සේ කුඩා වූ හෝ සිහින් වූ මහපටැඟිල්ලක් පිහිටියේ නම් විචාර බුද්ධියෙන් තොර වේ. මෙවැනි ස්ත්‍රීන් අන්‍යයන්ට රැවටී පහසුවෙන් වරදට පෙළඹෙති. බොහෝ විට සැප සම්පත්වලට ගිජුව සිහින ලෝකවල අතරමං වෙති.

මහපටැඟිල්ලෙන් අශුභ ලක්ෂණ ප්‍රකට වේ නම් එම දෝෂය භංග වන්නේ කුජ මණ්ඩලය මනා ලෙස පිහිටියහොත් පමණි. අත්ලෙහි වැඩිම බලයක් හිමිවන ග්‍රහයා කුජ වන අතර ඊළඟට ප්‍රධානත්වය දරන ග්‍රහයා වන්නේ සිකුරුය. මහපටැඟිල්ල සිකුරු ග්‍රහයාට හිමිව තිබේ.

 

දබරැඟිල්ල

 

ගුරු ග්‍රහයාට හිමි දබරැඟිල්ල ශක්තිය, බලය, ධෛර්යය, භක්තිය යනාදී ගුණාංගයන්ගේ මූර්තියක් ලෙස සැලකේ. දබරැඟිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩී තිබේ නම් චිත්ත ශක්තිය, බලය, ආධිපත්‍යය යන ගුණාංග මනාව පිහිටයි. එවන් පුද්ගලයන් නීතිගරුක වූ ද සදාචාරාත්මක වූ ද යුක්තිගරුක වූ ද අය වේ. දබරැඟිල්ලේ දෙවැනි පුරුක හෙවත් මැද පුරුක නිය සහිත පුරුකට වඩා මනාව දිගුව වැඩී තිබේ නම් ගෞරවනීය පුද්ගලයෙකු වේ. උසස් චිත්ත ධෛර්යයක් සහිත වේ. තමන් උසස් කොට සිතීමත්, එම උසස් බව සුරැකෙන ලෙස කටයුතු කිරීමත් නිසා හෙතෙම සැබැවින්ම උසස් පුද්ගලයෙකු වේ.

 

දබරැඟිල්ලේ අල්ලට යාව පිහිටි පුරුක අනෙක් පුරුක් දෙකට වඩා මනාකොට පිහිටා අැත්තේ වී නම් ඉඳුරන් පිනවීමේ ආශාව බලවත් වේ. ආඩම්බර වේ. අන්‍යයන් අතර කැපී පෙනෙන්නට උත්සාහ ගන්නා අතර ධනයත් බලයත්, ඇත්තෙකු වේ.

 

දබරැඟිල්ලේ මැදඟිල්ල තරම් හෝ ඊට වැඩියෙන් දිගු වුවහොත් උසස් වීමේ අධික ආශාවෙන් යුක්ත අයෙකු වේ. අන්‍යයන් පාලනය කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. බොහෝ දැඩි පාලකයන්ගේ මේ ගති ලක්ෂණය දක්නට ලැබේ. ජර්මන් ආඥා දායක “ඇඩොල්ෆ් හිට්ලර්“ ගේ දබරැඟිල්ල මැදැඟිල්ලට වඩා දිගුව පැවැති බැව් ජර්මන් හස්ත රේඛා විශේෂඥයෙකු වන ‘යොහාන් ක්‍රිස්මර්“ මහතාගේ මතයයි. දබරැඟිල්ල මැදැඟිල්ල වඩා දිගුව පිහිටියේ නම් බලයට ඇලුම් කරන්නෙකු වේ. අලංකාරයට ප්‍රිය කරයි.

 

ක්‍රියාශීලියකු වන අතර උසස් වීමේ නොමඳ ආශාවකින් යුතු අයෙකු වේ. දබරැඟිල්ල වෙදැඟිල්ලට වඩා කෙටි වූයේ නම් අලස වේ. නොකළ හැකි දේ පිළිබඳ සිහින මවන්නෙකු වේ. ගතිගුණ අපැහැදිලි වේ. බුද්ධි හීන වේ.

 

දබරැඟිල්ලේ අග උල් තුඩක් සහිත හැඩයක් වූයේ නම් ආගමික කටයුතු කෙරේ ඇලුණේ වෙයි. හතරැස් තුඩක් සහිත වූයේ නම් උද්‍යෝගිමත් අයකු වේ. කවාකාරව පිහිටියේ නම් ග‍වේෂණාත්මක අයෙකු වේ. ඇසූ පමණින් පිළිනොගනී. තමන්ට අත්හදා බලා ප්‍රත්‍යක්ෂයෙන් කරුණු උගන්නා තැනැත්තෙකු වෙයි.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී

නිරංගා බාලසූරිය

 

[email protected]