මුනුබුරා ගෙයක් හදනවා, සීයා තාමත් කුලී ගෙදරක

ජීවිතයට ජ්‍යොතිෂය
ජූලි 14, 2021

 

සංචරණ සීමා පනවන්න කලින් හිතවතෙක් හමුවෙන්න හිඟුල, මාණික්කාව කියන ගමට ගියා. ඒ ආසන්නයේ තමයි සුප්‍රකට 'අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය' පිහිටා තියෙන්නෙ. හැන්දෑ ජාමෙ අපිත් දේවාලයට ගියා.

තෙල්, මල් ටිකක් ගන්න කියල හිතාගෙන වෙළෙඳසලකට ගොඩ වෙද්දි ගම් පළාතෙ පවුලක් එතැන හිටියා. වැඩිහිටියා ඉස්කෝලෙ මහත්තයෙක්.

"ආ... කොහොමද පුතා... පූජාවකට ආවාවද?'

"නැහැ සර්, මේ කිට්ටුව යාළුෙකුගෙ ගෙදර ආවා. ඒ ගමන් දේවාලෙට එන්න හිතුණා.... සර්ල නම් පුජාවටක වගේ?"

"ඔව් දරුවො, අපේ මුනුබුරා ගෙයක් හදන්න කියලා. ඉතින් බාරයක් වෙලා පූජාවකුත් තියල යන්න ආවා. අපි මෙහෙට එනවා ඉඳ හිටලා."

ඉස්කෝලෙ මහත්තයාට වයස අවුරදු අසූ පහක් විතර ඇති. දරුවො තුන් දෙනෙයි. මුනුබුරා ලොකු පුතාගෙ දරුවා. මුනුබුරාත් ගෙයක් හදනවා. ඒත් ඉස්කෝලෙ මහත්තය තාම ඉන්නෙ කුලී ගෙදරක. දරුවන්ට බරක් වෙන්න බැහැයි කියලා තමයි එහෙම ඉන්නෙ. එතුමා නාස්තිකාරයකුත් නෙවෙයි... ඒත් ඇයි තාමත් ගෙයක් දොරක් හදා ගන්න බැරි වුණේ...?

මගේ හිත කියෙව්වා වගේ ඉස්කොලෙ මහත්තයා හඬ අවදි කළා.

"පුතාට හිතෙනවා ඇති නේද මුනුබුරාත් ගෙවල් හදනවා, සීයා තාමත් කුලී ගෙදරක කියලා?"

"නොහිතුනාමත් නෙමෙයි සර්."

"ඒකනෙ පුතා... මං ගැන දන්න හැමෝම එහෙම හිතනවා ඇති. මහගෙදර ඉඩමෙ කොටසක් තිබිලත් ගෙයක් හදා ගන්න බැරි වුණා. ගෙයක් හදන්න හිතුවට මොකක් හරි හේතුවකින් යට යනවා. ෆවුන්ඩේෂන් එක දාලා අවුරුදු විසි පහකට වැඩියි. ගඩොල් ටික දියබත් වෙලාම ගියා. අනේ මන්දා ළමයො මොන කරුමයක්ද කියලා..."

අන්න ඒ හින්දා මේ කරුමයට හේතුව මොකක්ද කියලා විමසීමක් කරන්න හිතුවා.

* ජානක මහත්තයා, මෙහෙම වෙන්න ජ්‍යොතිෂමය බාධාවක් තියෙනවාද?

"කාරණා දෙකක් නිසා මේ විදිහට වෙනවා. ඒ තමයි

* ග්‍රහචාරයේ තිබෙන බාධාවන් * සැලසුම් සහගත බවක් නොමැතිවීම.

දෙවැනි කාරණාව තමයි මම මූලිකවම දකින්නෙ.

නාස්තිකාරකම් නිසා බොහොමයක් දෙනා ජීවිතයේ යහපත් අරමුණු සාධනය කර ගැනීමේදී පසුගාමී වෙලා තියෙන බව දකින්නට ලැබෙනවා.

ඒ අතර යම් ප්‍රතිශතයකින් ග්‍රහචාරයේ බාධාවන් නිසා මෙම අවාසනාවන්ත තත්ත්වයට ද මුහුණපා ඇති උදවියත් ඉන්නවා."

* මේ සඳහා ජ්‍යොතිෂමය වශයෙන් පිළියම් තියෙනවා ද ජානක මහත්තයා?

"ඔව්. එය සාර්ථකව කරන්නට පුළුවන්. එතනදිත් අසාර්ථකවෙන අය නැතුවාම නොවෙයි."

* ඒ කියන්නෙ ජ්‍යොතිෂමය පිළියම් වලින් සීයට සීයක්ම ප්‍රතිඵල උදාකරගත නොහැකි බවද?

"නැහැ... එය සිදුවන්නේ ජ්‍යොතිෂයේ වරදක් නිසා නොවෙයි. ඒ පිළියම් ක්‍රියාත්මක කිරීම නිසි ලෙස නොකිරීම සමහර අය අතින් සිදුවෙනවා. එතැනදී අපිට දෝෂාරෝපණය කිරීම වගේම ජ්‍යොතිර් විද්‍යාව අභියෝගයට ලක්කිරීමත් වරදක්. කොහොම නමුත් ජ්‍යොතිෂයේ ඉසිවරයෙක් පිළියම් ලබා නොදුන්නත් ප්‍රතිඵලයක් නොවෙන අවස්ථා තියෙනවා.

* එහෙම වෙන්නෙ කොහොමද?

"මොනතරම් සල්ලි බාගෙ තිබුණත්, උනන්දුව, කැපවීම තිබුණත්, අතිශය නිවැරැදි ජ්‍යොතිෂ උපදෙස් ලැබුණත් 'පෙර පින්' තිබිය යුතුමයි නිවෙසක උරුමය ලබන්න නම්. එය නැතිවුණහම තමයි ගෙයක් දොරක් හදා ගන්න බැරිව ළතැවෙන අය කියන්නෙ, 'මේකනම් පූරුවෙ කරුමයක් කියලා'."

* ඒ බාධාව ජයගන්න විදිහක් ඇත්තෙම නැද්ද ජානක මහත්තයා?

"තියෙනවා.... සමාජයට යහපතක්ම කරමින් ධාර්මික ජීවිතයක් ගතකිරීමෙන් බොහොමයක් අපල මඟහරවා ගන්න පුළුවන්. මෙය ජන්මියා පුංචි සන්ධියේ ඉඳලම ඒ සඳහා හැඩ ගස්වා ගන්න පුළුවන් නම් වඩා ප්‍රතිඵලදායකයි."

* කොහොමද ඒක කරන්නෙ.... ගෙයක් හදන්න ගන්නෙ වැඩිහිටි වයසකදිනෙ?

"ඔන්න ඒක තමයි හැමෝම වාගෙ කරන වරද. හැමෝම වාගෙ දරුවෙක් ඉපදුනාම කරන්නේ, කේන්දරේ හදාගෙන 'අනාගතේ කවුරු වෙයිද, සල්ලි බාගෙ තියෙයිද' කියලා.

මේ දරුවට අනාගතේ ගෙයක් හදා ගන්න පුළුවන් වෙයිද? යහපත් විවාහයක් සිදුවේවිද? දරුඵල තියෙනවාද? ආදි වශයෙන් අහන අය අතිශය විරලයි."

* හොඳයි එහෙම නම්.... ඒ සම්බන්ධයෙන් පාඨකයාට ඔබතුමා දෙන උපදේශය මොකක්ද?

"උපන් අලුතම ජීවිත කාලයටම බලපාන පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් සහිත පලාපල විස්තරයක් ලබා ගන්න. ජීවිතයේ ලැබීම්, නොලැබීම්, අපල උපද්‍රව ආදිය වගේම අල්පායුෂ ද, දීර්ඝායුෂ ද කියන කාරණත් එහි සඳහන් වෙනවා..."

* හොඳයි මන්දායුෂ නම්...?

"එය නියතයක් වෙන අවස්ථා නැතුවා නොවෙයි. නමුත් මාරක ජය ගතහැකි ප්‍රතිකර්ම ජ්‍යොතිර් විද්‍යාවේ සඳහන් වෙනවා. තමන්ගෙ දරුෙකුගේ එවැනි මාරක අපලයක් මඟහරවා ගැනීමව සඳහාම, ජ්‍යොතිර් ශාස්ත්‍රය ගැඹුරින් හදාරා, ඒ අපලය ජය ගත් ප්‍රකට ජ්‍යොතිර්වේදියකු පිළිබඳ මා අසා තිබෙනවා. එවැනි දෑ කළහැකි බව සැකයකින් තොරව කිව හැකියි."

* හොඳයි ආයෙමත් නිවාස කතාවට ගියොත්; සමහරු කියනවා 'නැකැත් අකුරම ඉටු කළා... කිසිම වාස්තු දෝෂයක් නැතිව අත්තිවාරමත් දැම්මා, බිත්ති ටිකක් බැන්දා.... ඒත් වැඩ අතරමඟ ඇනහිටලා කියලා'. එහෙම කොහොමද වෙන්නෙ?

"ඔය ඇහුවේ තරමක් දිගට විස්තර කළ යුතු ප්‍රශ්නයක්.

 

අපි ඒ පිළිබඳව ලබන සතියේ අවධානය යොමු කරමු.

 

උපදෙස් -

ජ්‍යොතිර් කීර්ති, දේශමාන්‍ය ආචාර්ය, මාවනැල්ලේ

ජානක රත්නායක