කොඳු නාරටිය ඇද නැතිව පිහිටීම භාග්‍යවන්ත බවේ ලක්ෂණයක්

නොවැම්බර් 15, 2021

 

එකම පියකුට දාව එකම මවකගේ කුසෙන් උපන් දරුවන්ගේ ශරීරවල පිහිටීම එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වේ. නිවුන් දරුවන් අතර පවා මේ වෙනස ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරන විට දැකිය හැකිය. ඒ අනුව කෙනකුගේ දේහ ලක්ෂණ පිහිටන්නේ ඒ ඒ කෙනාගේ පූර්ව කර්මවල විපාක අනුව බව දැක්වේ.

තරුණී දේහ ලක්ෂණ විද්‍යාව ලිපි පෙළින් අප ඔබට පුද්ගලයකුගේ අඟ පසඟ, ශරීරයේ පිහිටීම, කතාබහ කරන විදිහ, හැසිරෙන විදිහ වැනි දේ නිරීක්ෂණය කිරීමෙන් ඒ පුද්ගලයා සතු ගතිගුණ කියන්නට හැකි බව ගෙන එනවා.

එයින් ඔබ ඇසුරු කරන මිතුරා මිතුරිය එසේ ඇසුරු කරන්න සුදුසු අයකුද යන්න දැනගත හැකිය. එසේම විශේෂයෙන් කෙනකුගේ ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය තෝරා ගන්නට සිරුරේ භාෂාව පිළිබඳව දැන සිටීම වැදගත් වේ. පෙම්වතා හෝ පෙම්වතිය මොන වගේ ගතිගුණවලින් යුතු කෙනකු දැයි කලින්ම දැන ගැනීමෙන් සාර්ථක විවාහ ජීවිතයට යා හැකිය.

කෙනකුගේ අඟ පසඟ මනා ලෙස පිරිපුන්ව පිහිටා තිබේ නම් එය මනා වාසනාවකි. එසේම කෙනකුගේ සිරුර දැකුම්කලු අන්දමට නෙත් සිත් සනහාලන අයුරින් පිහිටා තිබේ නම් එවැන්නකු දැකීමත් වාසනාවකි.

ඒ අනුව මෙතෙක් අප කෙනකුගේ සිරුරේ විවිධ අවයවවල පිහිටීම අනුව එක් එක් පුද්ගලයා කුමන අන්දමේ පුද්ගලයකුද යන්න කතා බහ කළා. පුද්ගලයකුගේ පෞරුෂය පිළිබඳව කතා කිරීමේදී සෘජු ලෙස සිට ගැනීම, ගමන් කිරීම අතිශයින් වැදගත් වෙයි. ඒ බව පෙන්වන්නේ කොඳු ඇට පෙළයි. කොන්ද නැත්නම් පිට එලෙස කාන්තාවකගේ හෝ පිරිමියකුගේ හෝ පෞරුෂය මැන බලන සාධකයක් වෙද්දී අප පිටෙහි පිහිටීම අනුව කාන්තාවකගේ ගතිගුණ කෙබඳු දැයි බලමු.

උරහිසින් පහළට කුල්ලක පිට පැත්තේ හැඩයට පිහිටි පිටක් හිමි නම් ඇය ඉතාම සංවේදී අයෙකි. රෝම නොමැතිව සිනිඳුව පිහිටා තිබේ නම් ඇය උසස් බුද්ධි මට්ටමක් හිමි අයෙකි. අන්‍යයන් සමඟ මිත්‍රශීලීව සහයෝගයෙන් වැඩ කිරීමේ උපායශීලී දක්ෂ තැනැත්තියකි.

උරහිස් දෙකේ මාංශවලින් මනාව පිරී ඇති පිටක් නම් සැප සම්පත් සපිරි ජීවිතයකට උරුමකම් කිව හැකියි.

කොඳු නාරටිය ඇද නැතිව පිහිටීම භාග්‍යවන්ත බවේ ලක්ෂණයකි. මාපියන්ගේ ආදරයට පාත්‍ර වේ. යුග දිවිය වාසනාවන්තයි. දියුණුව ඇති වේ.

පිට පෙදෙස මස්වලින් පිරී කලාත්මකව පිහිටා තිබීම හැම අතින්ම වාසනාවන දෙන ලක්ෂණයකි. එසේම උසස් ඉගෙනීමක් ලබා ඉහළ පෙළේ තනතුරු දරනු ඇත. පිරිස් බලය ඇති වේ. රජයේ ඉහළම තනතුරු හිමි වේ. පතල කීර්තිය ඇති කරයි.

පිට තරමක ඇලව කලාත්මකව පිහිටියේ නම් වාසනාවන්තියකි. තව ද එහි උපන් ලපයක් දකුණු ඇලපතේ පිහිටා ඇත්නම් ද සෞභාග්‍ය පිරී අයෙක් වේ. රෝම නොමැතිව නහර ඉලිප්පී නො ගොස් සිනිඳු සමක් තිබේ නම් ඇය උසස් ගති ඇත්තියකි. පිරිවර සම්පත්තිය ලැබේ. ගෞරවය හා කීර්තිය පැතිර යයි. උසස් රාජ්‍ය තනතුරු ලබයි. ජීවිතයේ තුන්කල්හිම සැප සම්පත්වලින් පිරී ඉතිරී යනු ඇත.

පිට රෝම ඇති ඇටකටු පෙනෙනසේ තිබීමත් ගොන් මොල්ලියක් සේ උඩට නෙරා තිබීම තරමක අසුබයි. ජීවිතයේ විවිධාකාර ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. අධ්‍යාපන කටයුතුවලදී තරමක අපහසුතාවයකට පත් වේ. උත්සාහයෙන් ඉදිරියට යාමට ගන්නා ධෛර්ය කඩා නොවැටෙන ගතියක් දැඩි ආත්ම ශක්තියක් ද ඇත.

තද ආත්මාර්ථකාමීකමින් මුදල්වලට දැඩි ආසාවක් ඇති බැවින් දියුණුවීමේ වාසනාව හිමියි. මිල මුදල් යහමින් පවතී.

පැතලි ලෑල්ලක් සේ පිහිටීම එතරම් සුබ නැත. ධන හීනත්වය මෙන්ම අයට වඩා වැය ඉතාම අධික ලෙස ඉහළ යනු ඇත. සම්පත් ලැබීම් අඩුයි.

පිටේ රෝම අධිකව වැඩුණ පුරුෂයන් වාසනාවන්ත යැයි පැවසුවද කාන්තාවට එවැන්නක් ඉතාමත් අසුබයි.

උරහිස් මහත්ව පිරීගොස්ව වක්‍රව අක්‍රමවත්ව ඇත්නම් ඇය කාමයෙන් අන්ධ වේ. විවිධ පැතිකඩ ඔස්සේ මනස බැඳෙනු ඇත. විවාහය එතරම් සාර්ථක නැත. හුදකලා දිවියක් ගෙවයි. මිල මුදල්වල දුබලතාවය පැන නඟී. ජීවිතයේ අවසන් කාලයේ කායික හා මානසිකව වද වේදනා විඳීමට සිදු වේ.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හෙන්රි බෙම්මුල්ල