කොන්ක්‍රීට් උළුවහු යෙදීම වාස්තු විද්‍යාවට ගැළපේද?

මාර්තු 25, 2024

වාස්තු විද්‍යාෙව් ප්‍රමුඛත්වය ලබාදෙන අංගයන් කිහිපයක් තිබේ. ඒ අතුරින් දොර, ජනෙල තැබීම විශේෂ අංගයකි. ප්‍රධාන දොර හෙවත් නිවෙසට ඇතුළුවන දොර ඉස්තෝප්පුවෙන් සාලයට ඇතුල්වන දොර, නිවෙසේ පිටුපසින් තබා ඇති දොර, නිවෙස ඇතුළත දොරවල් සහ නිවෙසේ සාලයට හා අනෙකුත් කාමරවලට තැබූ ජනේල නිවැරැදිව ස්ථානගත කිරීම ඉතා වැදගත්ය. එහිදී විද්‍යාත්මක කරුණු ගැන ද අවධානය යොමු කිරීම වැදගත්වන අතර ඒ හා සමානවම වාස්තු විද්‍යාත්මක කරුණු ගැන අවධානය යොමු කළ යුතු වේ.

මෙහිදී අප නිවාස සැලසුම ගැන මූලික අවබෝධයක් ලබාගත යුතුය. ඒ අනුව මුලින්ම නිර්මාණය කරනු ලබන නිවාස සැලසුමේ දොර, ජනෙල් පිහිටා ඇති ස්ථාන වාස්තු විද්‍යාත්මකව නිවැරැදිව ගැළපී ඇතිදැයි ප්‍රවීණ වාස්තු විද්‍යාඥයකුට පරීක්ෂා කිරීමට ලබා දී එහි ඇති අඩුපාඩු සකසා ගත යුතුය.

දොර ජනෙල් තැබීමේ ප්‍රධාන අරමුණ වන්නේ ස්වාභාවික අලෝකය හා වාතාශ්‍රය (VENTILATION) ලබා ගැනීමත් නිවෙස තුළ එකතුවන අපිරිසුදු වාතය ඉවත් කිරීමත්ය. එම අරමුණට අමතරව දොරක් තැබීමෙන් නිවෙසේ ආරක්ෂාව ද අපේක්ෂා කරයි. මෙහිදී වඩා වැදගත්ම සාධකය බවට පත් වන්නේ නිවෙස තුළට මෙන්ම නිවෙසේ කාමර තුළට ඇතුළුවීම සඳහාත් ඒවායින් පිටවීමටත් ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා දීමයි.

මේ අරමුණ ඉටුකර ගැනීමට නම් නිවැරැදි ප්‍රමාණයේ හැඩයෙන් යුතු දොරවල් සහ ජනෙල් නිවැරැදි ස්ථානයන්හි යෙදීමට ගෘහ නිර්මාණ ශිල්පියා සමත් විය යුතුය.

මෙහිදී අප අවධානය යොමු කළ යුතු තවත් සාධයක් වන්නේ නිවාස සැලසුම් නිර්මාණය සඳහා රජයේ පවතින නීති පද්ධතියයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සමහර රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කළහොත් නිවෙස තුළට අවශ්‍ය ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමට අදාළව විද්‍යාත්මක පසුබිම ගැන ද විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ.

වාස්තු විද්‍යාත්මකව නිවෙසකට සවිකරන උළුවහු ඔත්තේ සංඛ්‍යාවකි. ජනෙල් සංඛ්‍යාව ඉරට්ටේ විය යුතුය. එසේම සියලුම උළුවහු සහ සියලුුම ජනෙල්වල එකතුව ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු වුවත් එය 17ක් නොවිය යුතුය. වාස්තු රීතියට අනුව උළුවස්සක් හෝ ජනේලයක් ලෙස සලකන්නේ නිවෙසේ කුමන උපාංගයක් ද යන්න දැන ගැනීම වැදගත්ය. වාස්තු ශිල්පයට අනුව උළුවස්සක් හෝ ජනේලයක් ලෙස ගණනය කරනු ලබන්නේ දැව රාමුවකින් හෝ ලෝහමය ද්‍රව්‍යයකින් තැනූ රාමුවකින් යුතු දොරක් හෝ ජනේලයකි. වර්තමානයේ මෙලෙසින් කොන්ක්‍රීට් උළුවහු ද භාවිතයට ගනියි.

නාන කාමරයක හෝ වැසිකිළියක තබනු ලබන ෆෑන් ලයිට් එකක් ලෙස ද ජනේලයක් ලෙස ගණනය කරනු ලබයි. කෙසේ වෙතත් නිවෙසක බිත්තියක හිඩැසක් තබා ආරුක්කුවක් සේ කළ නිර්මාණයක් ද ජනේලයක් ලෙස ගණනය කරයි ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් වාස්තු විද්‍යාවට අනුව දොරක් හෝ ජනේලයක් වශයෙන් අප සලකන්නේ එම උළුවස්සෙන් ඇතුළටත් පිටතටත් වාතාශ්‍රය ගමන් කිරීමට හැකි සීමාවක් ලෙස පිහිටීමයි.

දොර ජනෙල් නොගැළපෙන සංඛ්‍යාවක් නිවෙසක තබා ඇතිවිට එම දෝෂය ඉවත් කිරීම සඳහා දැව රාමුවක් බිත්තියේ හිඩැසකට සවිකර උළුවස්සක් හෝ ජනේලයක් වශයෙන් සලකන ලෙස වාස්තු විද්‍යාඥ උපදෙස් ලබා දෙයි. මෙය එතරම් සාර්ථකම පිළියමක් නොවුවද ඒ සඳහා කිසිම විසඳුමක් නොමැති විට මෙවැනි පියවරක් ඔබට අනුගමනය කළ හැකිවනු ඇත.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම