ජ්‍යෝතිෂ ගැටලු

ජුනි 10, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ජ්‍යෝතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂි ජ්‍යෝතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ ජන්ම පත්‍රයේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැත්නම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්ම පත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යෝතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

ව්‍යාපාර සාර්ථකත්වය

මම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරමි. එය සාර්ථක වේවි ද?

මහව - සිරිපාල රණතුංග

 

ඔබට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව උපතින්ම ලැබී තිබේ. කෘෂි කර්මාන්ත කටයුතු හොඳින්ම පිහිටා ඇත. ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ නම් කෘෂි කර්මාන්තයට ගැළපෙන දෙයක් අරඹන්න. එයින් ඔබට හොඳ සාර්ථකත්වයක් ලැබේ. එමෙන්ම භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු පිළිබඳ ව්‍යාපාරයක් ද ගැළපෙයි. ඔබට තවත් දෙයක් කිව යුතුයි. ව්‍යාපාරයක් කරන්නේ නම් මුදල් ගනුදෙනු තමා විසින් පවත්වාගෙන යා යුතු බවත් වෙන අයෙකුට එය පැවරීමෙන් විශාල පාඩු විය හැකි බව සටහන් කරමි. සුබ වේලාවක් බලා කතරගම දෙවියන්ට බාරහාර වී ව්‍යාපාරය ආරම්භ කරන්න.

 

අනාගතයේදී දරුවන්ගේ සැලකිලි

 

මට දරුවන් දෙදෙනකු සිටියි. මේ දරුවන් දැන් තරුණ වියේ පසුවේ. ඔවුන් අනාගතයේදී මා හට කෙසේ සලකයි ද?

මැදවච්චියේ - ශ්‍රියාලතා

 

ඔබගේ උපන් හඳහනකට අනුව ජීවිතයේ අවසාන කාලය හුදෙකලාවන බව පෙනේ. සමහර විට තම හිසට තම අතමය සෙවණැල්ල කියමනට අනුව ජීවත්වීමට අවශ්‍ය දෑ තමා සන්තකයේ තබා ගැනීම සුබදායක වෙයි. තමුන්ගෙන් පසු තම දරුවන්ට තම දේපළ අයිති වන සේ කටයුතු කිරීම නුවණට හුරු වේ. නිතරම තමුන්ගේ යැපීමට මුදල් ඉතිරි කර ගැනීම වඩාම සුදුසුය. සුවදායි මරණයක් සිදුවන බව ද කිව හැකියි.

 

දේශපාලනයෙන් ජය

 

අනාගතයේදී දේශපාලනය කිරීමේ අදහසක් තිබේ. එය සුබ වේද?

බේරුවල - සජිත් ද සිල්වා

 

ඔබට හොඳ සමාජ සේවකයෙකු ලෙස කටුයතු කළ හැකි බව හඳහනේ පෙන්නුම් කරයි. පාසල් යන කාලයේ සිටම නායකත්වය දරන අතර කෙසේ හෝ අනෙකා පරදා ඉදිරියට යන ස්වභාවය ඇති බව සඳහන් කරමි. එය දුර්වලකමක් බව ද කිව යුතුය. එම ගතිය නිසා තම පවුලේ අය ද යහළුවන් ද අසල් වැසියන් ද තමා ප්‍රතික්ෂේප කරන ගතියක් තිබේ. එම දුර්වලකම සාදාගෙන නිතරම අංක දෙකේ සිට එකට යන බව සිතා අනෙකා පාගා නොදමා සුහදව තම ගමන යන්න. අනිවාර්යයෙන් ප්‍රාෙද්ශීය දේශපාලනයේ සාර්ථක නායකයෙක් විය හැකි වේ. කන්දේ විහාරයට නිතර බෝධිපූජා තබා විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගන්න.

 

දරුඵල පිළිබඳ ගැටලුවක්

 

මා හට දැනට දරුඵල නොමැත. ඉදිරියේදී එය ඉටු වේද?

ගම්පොළ - චන්ද්‍රිකා මැණිකේ

 

ඔබ හඳහනේ දරු ඵල අහිමි බව පෙනුණ ද අප භාවිත කරන ජ්‍යොතිෂ ක්‍රමවේදයක් වන අර්ගලා න්‍යායට අනුව ආරුඪ ලග්නයෙන් බැලූ කල ඔබට වාසනාවන්ත දරුඵල ලබාගත හැකි බව කිව හැකියි. තිබෙන දෝෂ නියමිත වතාවත් මඟින් ඉවත් කර ශරීරය නිවෙන දේශීය ඖෂධ නියමිත ලෙස ලබා ගැනීම තුළින් ඉතා ඉක්මනින්ම දරු ඵල හිමි වෙයි. ඔබ සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන දින 21ක් බෝධිපූජා තබන්න. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ළඟට හිමිදිරි පාන්දර කිරිබත්, මල්, පහන් පූජා කර ගන්ධබ්බ පූජාව තබන්න.

 

නව නිවෙසක් සාදා ගැනීම

 

මම නව නිවෙසක් තැනීමට අපේක්ෂා කරමි. එය සාර්ථක වේද?

ඇඹිලිපිටියේ - යශෝධා

 

2025 වසරේ මැයි 20 වැනි දිනට පසුව දක්ෂ ජ්‍යෝතිෂවේදියකු ලවා සුබ නැකැතක් සාදාගෙන පුරපසට වැඩ අාරම්භ කරන්න. අත ඇති මුදලින් අත්තිවාරම දැමීම ආරම්භ කළත් වසර 2ක් ඇතුළත නිවෙස ඉදිකර ගැනීමට හැකිවන බව විශ්වාසයෙන් සිටින්න. ඉදිරි කාලය ඉතා සුබ බවත් අමතර ආදායම් පවා ලැබෙන, සියලු දෙනාගේ උදව් උපකාර සිදුවන වාසනාවන්ත කාලයක් උදාවෙයි. නමුත් ඇස්වහ කටවහ දෝෂ ඇති වේ. නිතර නිතර බෝධිපූජා තබා විෂ්ණු, කතරගම දෙවියන්ට පිං දී මාස 6කට වරක් දෙහි ටිකක් කපාගන්න. හැකිනම් නිවැරැදි ලෙස සැකසූ සූර්යය දින පංචරය යන්ත්‍රය පලඳින්න.