ජීවිතයට පාර කියන අත්ලේ රේඛා

පෙබරවාරි 3, 2025

දෛවය... හැමදේම වෙන්නේ දෛවයේ හැටියට තමයි. මොනයම් දෙයක් සිදුවුණත් ඒ දෛවයේ සරදමක් ලෙස දකින අය අප අතර සිටී. මේ විදිහට දැන හෝ නොදැන දෛවයට මැසිවිලි නැගීම කෙතරම්දුරට සාර්ථක ද? අපි ඒ ගැන අද දෛව රේඛාව ඔස්සේම විමසා බලමු.

දෛව රේඛාව ශනි රේඛාව එසේත් නැතිනම් ඉරණම, වාසනාවන්ත ඉරණම් රේඛාව යන නම්වලිනුත් හඳුන්වනු ලැබේ.

මෙම රේඛාවෙන් ජීවන මාර්ගය, ධන සම්පත් රැකියා, යුග දිවිය, ජීවිතයට බලපාන දුක්දොම්නස් කෙසේ ද යන්න කියවේ. තමන්ගේ ආයු කාලය වැනි ජීවිතයේ වැදගත් කරුණු කාරණා ද එහි සනිටුහන් වෙයි.

එමඟින් යම් අහේතුකාරී තත්ත්වයකදී ඉන් මිදීමටත් වාසනාවන්ත අවස්ථාවලදී තම වාසනාව සුරැකීමටත් මෙම රේඛාව ගැන කල්තියා අවබෝධය කර ගැනීමෙන් හැකි වනු ඇත.

පාණිතලයේ මුල වූ මණිබන්ධ රේඛාවලට සම්බන්ධව ආරම්භව දෛව රේඛාව පිහිටනු ලැබේ. එනම් දෛව රේඛාව කුජ තලාව හරහා ඇඟිලි දෙපසට විහිදී ගොස් මැද ඇඟිල්ලේ මුල පිහිටි ශනි මණ්ඩලය වෙතට යොමු වේ. ඔබේ අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් මෙය සුවිශේෂී රේඛාවක් ලෙස සැලකෙයි. බොහෝවිට මෙම රේඛාව සෘජුව විහිදී යන අතර අත්ලේ හිමියාගේ දෛව‍ය පිළිබඳ සුබ - අසුබ, ධන සම්පත් දියුණුව බාධක ආදී බොහෝ දේ පිළිබඳ තවදුරටත් හරි අපූරුව හෙළිදරව් කෙරේ. මෙම සුවිශේෂ දෛව රේඛාව කැඩීම්, බිඳීම්, ගෙවීයාම්, ඡේදනය, දූපත්, දම්වැල් කතිර ආදී බාධාවන්ගෙන් තොරව පැහැදිලිව මනා ලෙස පිහිටියේ නම් ඔබට සැප සම්පත් උරුම වීමේ භාග්‍යය ඇත. තවදුරටත් විස්තර කරන්නේ නම් එය මැණික්කටුව හෙවත් මණිබන්ධ රේඛා සමීපයේ සිට අත්ල හරහා සෘජු ලෙස ශනි මණ්ඩලය වෙත යොමු වූයේ නම් ඔබට වඩ වඩාත් යස ඉසුරින් පිරි ජීවිතයක් උරුම වේ.

එසේම සාමාන්‍ය ජනතාවගේ ගෞරවය දිනා ගැනීමටත් ධන ධාන්‍යාදියෙන් සශ්‍රීකත්වයට පත්වීමටත් වාසනාව උදා වේ.

පුද්ගලයකුගේ දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී කැපීමකින් තොරව ශනි මණ්ඩලය කරා විහිද යාම ද සැප සම්පත් උරුම කරවන පිහිටීමක් වේ. ස්ත්‍රියකට නම් පුරුෂයන්ගේ ද පුරුෂයන්ට නම් ස්ත්‍රින්ගේ ආධාර උපකාර නොඅඩුව හිමිවන ආකර්ෂණීය පිහිටීමක් වෙයි.

දෛව රේඛාව ජීවන රේඛාවෙන් ඇරඹී ඉහළට විහිද ගියේනම් මවුපියන්ගේ ආධාරයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට වාසනාව උරුම වේ.

ඔබේ දෛව රේඛාව ත්‍රිශූල හැඩයකින් කෙළවර වුණේ නම් එය මෙම රේඛාවේ හොඳම සුබදායක පිහිටීම ලෙස සැලකේ. ධනය, කීර්තිය, ගෞරවය හා ප්‍රසිද්ධිය නොඅඩුව හිමිකර ගැනීමට ඔහුට/ඇයට හැකි වේ.

ශීර්ෂ රේඛාවට පහළින් දෛව රේඛාව බිඳී ගියහොත් වයස අවුරුදු 35-40 අතර සමයේදී ජීවිතය විශාල පසුබෑමකට ලක්වීමට සිදුවනු ඇත. ශීර්ෂ රේඛාවත් හෘද රේඛාවත් අතර මේ දෛව රේඛාව පළුදු වුවහොත් වයස අවුරුදු 45 -50ත් අතර කාලයේදී විපත් උදාවෙන බැව් පෙනේ. මෙවන් විපත් පැමිණෙන විටදී සුදුසු ප්‍රතිකර්ම යෙදීමෙන් ආරක්ෂා වීමට පිළිවන.

ඇතැම්විට ඇතිවන විපත්වල පිහිටීම් බලය නිශේධනය කරන ආකාරය ඔබේ අත්ලේම වෙනත් තැනක සටහන්ව තිබෙන බවත් සිහි තබා ගන්න.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනී ගුප්ත විද්‍යා ආචාරිනී

නිරංගා බාලසූරිය

රූ රටා:- නිලක්ෂි ආරියරත්න

 

 

[email protected]