පණ්ඩිතයන් ඇසුරු කිරීමේ වාසිය අත්දකින්න

දෙසැම්බර් 6, 2021

සාර්ථක පුද්ගලයන් සතු දියුණුවට හේතුවන කාරණා 10

අද එහි 8 වැන්න

 

මගේ ව්‍යාපාර අන්තිම ඩොලරය දක්වා බිඳ වැටුණහොත් අන්තිම ඩොලරය භාවිත කරමින් අමෙරිකාවේ ධනවතුන් ගැවසෙන ආපනශාලාවකට ගොස්, මම ඔවුන් සමඟ ජලය පානය කරමි. මෙසේ පවසා තිබුණේ අමෙරිකානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මෙයින් කියැවෙන්නේ ඇසුරු කරන මිනිසුන් මත ඔබගේ සාර්ථක අසාර්ථක බව තීරණය වන බවයි. ඔබ බිඳ වැටුණු වෙලාවක සිටින්නේ අසාර්ථක මට්ටමේ නම්, කළ යුත්තේ අසාර්ථක වූ අය ඇසුරු කිරීම නොවේ. ඔබට වඩා සාර්ථක වූ, දියුණු වූ මිනිසුන් ඇසුරු කිරීමයි.

අද අප ඉදිරිපත් කරන්නේ සාර්ථක පුද්ගලයන්ගේ දියුණුවට හේතු වූ පුරුදු වලින් අටවැනි පුරුද්දයි. ඒ, යහපත් සබඳතා ගොඩනගා ගැනීමයි.

යහපත් සබඳතා යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ පවා දේශනාකර ඇත්තේ බාලයන් ඇසුරු නොකොට පණ්ඩිතයන් ඇසුරු කරන ලෙසයි. අප වටා ඇති හැම සබඳතාවක් ම යහපත් සාර්ථක සබඳතා නොවේ. ඇතැම් දුර්වල, ඍණාත්මක අදහස් ඇති, පාපකාරී මිතුරන් ඇසුරු කිරීමෙන් ඕනෑම පුද්ගලයකු අයහපත් දේට පුරුදු වී අසාර්ථකත්වයට පත් වේ.

සාර්ථක පුද්ගලයන් සතු හොඳ පුරුද්දක් වන්නේ ජීවිතයට වටිනාකම් එකතුකර ගත හැකි යහපත්, සාර්ථක පුද්ගලයන් සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමයි. මෙහිදී ආශ්‍රය කරන පුද්ගලයන් විසින් ඔබ ඉහළට ඔසොවා තැබීමක් සිදු කෙරෙයි. එවැනි සාර්ථක පුද්ගලයන් ඔබ සමඟ තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම නිසා ඔබට එම සබඳතා මඟින් අමිල වූ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

මේ නිසා විවිධ වූ සාර්ථක පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් ඔබගේ කාර්යයන් පහසු කරගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය වන උදවු උපකාර වුවද මේ සබඳතා මඟින් ලබා ගැනීමට හැකි වේ.

එක් පුද්ගලයකුට කළ නොහැකි දේ තවත් අයකුට පහසුවෙන් සිදු කළ හැකිය. ඔබට කළ නොහැකි දේ යහපත් සබඳතා ගොඩනගා ගැනීම මඟින් පහසුවෙන් කරගැනීමට හැකි වේ. ඒ, ඔබගේ යහපත් සබඳතා මත, එම කාර්යය සිදු කළ හැකි අයකුගේ සහයෙනි. එමෙන්ම ජීවිතයට වටිනාකම් ගෙන දෙන අවස්ථා ද එම යහපත් සබඳතා ආශ්‍රයෙන් ඔබට ලැබිය හැකිය. එනම්, යම් ව්‍යාපාරික අවස්ථාවක්, රැකියාවෙන් ඉහළට යාමේ අවස්ථාවක්, තවත් වටිනා පුද්ගලයෙක් දැන හඳුනාගැනීමේ අවස්ථාවක් වැනි ඕනෑම අකාරයේ අවස්ථාවක් ඔබට ලැබිය හැකිය.

මෙලෙස ජීවිතයේ වටිනාකම් වැඩිකර ගැනීමට යහපත් සබඳතා නිසා හැකියාව ලැබේ. ඔබට ව්‍යාපාරිකයකු වීමට අරමුණක් තිබේ නම්, සාර්ථක ව්‍යාපාරිකයන් 10-15ක් වත් ඇසුරු කළ යුතුය. ඔබට කළමනාකරුවකු වීමට අවශ්‍ය නම් අවම වශයෙන් ඔබගේ ආයතනයේ සිටින ඉහළ නිලධාරීන් සමඟ හොඳ සබඳතා ගොඩනගා ගත යුතුය. ඔබට හොඳ ලේඛකයකු වීමට අවශ්‍ය නම් හොඳ ලේඛකයන් කිහිපදෙනකු හෝ ඇසුරු කළ යුතුය. ඔබ ඇසුරු කරන්නේ යමෙක් ද කාලයාගේ අවෑමෙන් ඔබ ද එවැන්නකු බවට පත් වේ. සාර්ථක මිනිසුන් මේ රහස දන්නා බැවින් ඔවුන් විවිධ දක්ෂතා ඇති අය සමඟින් යහපත් සබඳතා ගොඩනගා ගැනීමට පුරුදු වී සිටියි. එමනිසා ඔවුන් එවැනි සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කරන අතර එවැනි සබඳතා ඇතිකර ගැනීමේ දක්ෂයන් ද වේ. එපමණක් නොවේ, එවැනි යහපත් සබඳතා ඔවුහු හොඳින් පවත්වාගෙන යාමට ද කටයුතු කරති. සබඳතා ගොඩනගා ගැනීමේ දී අප ලාබ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් ම එම සබඳතා ඇතිකර ගැනීම සුදුසු නැත. අනෙක් අයට එය වැටහුණ විට එම සබඳතා පවත්වාගෙන යාමට ඔවුන් අකැමැති වේ. අවස්ථා හෝ යම් යම් ප්‍රතිලාභ ලැබීම එම සබඳතාවල අතුරු ඵලයකි. ඔබ එම සබඳතා පවත්වාගෙන යා යුත්තේ අවංක මිතුරු හැඟීමකින් යුක්තවයි. එකිනෙකාට උපකාර කරගනිමින් යහපත් සබඳතා පවත්වාගෙන ඉදිරියට යාමේ දී ඒ ඒ අවස්ථාවල දී උදවු උපකාර නිතැතින් ම ලැබේ. නමුත් සහය ලබා ගැනීම ලෙස හඳුන්වන්නේ ඔවුන්ගෙන් ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර උපකාර ලබා ගැනීම නොවේ. අප යහපත් සබඳතා ඇතිකරගෙන ඇති විට ඒ අතුරින් යම් පුද්ගලයෙක් පවසන යම් අදහසක් අපගේ මුළු ජීවිතයම, අනාගතය ම වෙනස් කිරීමට වුවද ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් සිදුකරන දේවල් දැකීම මඟින් ඔබට අලුත් අදහසක් ඇති විය හැකිය.

නමුත් යහපත් සබඳතා පවත්වාගත යුත්තේ, හදිසියක දී මුදල් ලබා ගැනීමට, අවශ්‍යතාවකදී ඔවුන්ගේ වාහනය ඉල්ලා ගැනීමට නොවේ. එමෙන්ම අපිට මෙවැනි වටිනා ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා ඇති බව ලෝකයට පෙන්වීමට ඔවුන් සමඟ ඡායාරූප ලබාගෙන සමාජමාධ්‍යවලට දැමීම වැනි පටු අරමුණු වෙනුවෙන් ද නොවේ.

අපට වඩා ඉහළින් සිටින මිනිසුන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් සිදු වන්නේ අපේ සිතුවිලි පොහොසත් වීමයි. අපි සිතන පතන ආකාරය, සිතුවිලි රටාව වෙනස් වීමයි. එවිට අපට දැන් ඉන්නා මානයෙන් ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ලෝකයේ මිනිසුන් වර්ග තුනකට බෙදිය හැකිය.

* ඉතාම දිළිඳු ලෙස සිතන අය - මෙවැන්නන් කිහිපදෙනකු එක් වූ විට කතා කරන්නේ ඕපදූපය. අනුන්ගැන කතා කරයි.

* මධ්‍යම ලෙස සිතන අය - මෙම පුද්ගලයන් වැඩි වශයෙන් කතා කරන්නේ සිදුවීම් හා සිද්ධීන් පිළිබඳයි.

* ඉහළ සිතුවිලි සහිත මිනිසුන් - මෙවැන්නන් නිතර හමු වූ විට කතා බහ කරන්නේ අනාගතය, සැලසුම්, ඉලක්ක, කළ හැකි දේ සහ එම දේවල් කළ යුතු ක්‍රම පිළිබඳයි. ඔබ යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යනවා යැයි සිතමු. එවිට ඔබ ඇසුරු කරන පුද්ගලයෙක් මෙය අසාර්ථක ක්‍රියාවක් බවත් මේ යුගයේ දී ලංකාවේ ව්‍යාපාර කිරීම සාර්ථක නොවන බවත් පැවසිය හැකිය. එම පුද්ගලයා දිළිඳු සිතුවිලි සහිත අයෙකි. මේ නිසා ආරම්භ කිරීමට ගිය ව්‍යාපාරය අතහැරීමෙන් ඔබ කිසිවක් සිදුනොකරන පුද්ගලයෙක් බවට පත් වේ. නමුත් ධනවත් සිතුවිලි ඇති අයෙක් නම් ඔබගේ අදහසේ ඇති අඩුපාඩු පෙන්වා දී ඒවාට වෙනත් සාර්ථක උපක්‍රම මඟින් විසඳුම් ලබා ගැනීමට ඔබේ සිත පොළඹවයි. ඔබ දිරිමත් කරමින් උපදෙස් ලබා දීමට කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඔහු එක් රුපියලක් හෝ වියදම් නොකළ ද ව්‍යාපාරය ඇරැඹීමට අවශ්‍ය ධෛර්යය ලබා දෙයි. මෙලෙසින් ඔබට ලබා දෙන මානසික පෙලඹවීම් හා උපදෙස් මිල කළ නොහැකි ය.

මේ කුඩා රහස්, පුරුදු ඔබේ ජීවිතය ජය ටැඹ කරා ගමන් කරවාවි.

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු