හදා ගැනීමට දරුවකු ලබා ගන්නේ කොහොමද?

අගෝස්තු 4, 2025

දරුවන් නැති විවාහපත් අඹුසැමියන් දරුකමට දරුවකු හදා ගන්නට කල්පනා කරනවා ඇති. මෑතකදී ගම්බද ප්‍රදේශයක වෙල් යායක දමා ගිය දරුවා දරුකමට හදා ගැනීමට විදේශ රටවල පවා විවිධ පුද්ගලයින්ගෙන් ඉල්ලීම් ලැබෙන බව ආරංචි මාර්ගවලින් කියවිණ.

දරුවකු දරුකමට හදා ගැනීම පවතින නීතියට අනුකූලව සිදු කළ යුත්තකි. මෙය කුලවද්දා ගැනීම ලෙස ද හඳුන්වයි. ලංකා නීතිය අනුව වෙනත් දරුවකු තමාගේ දරුවකු ලෙස පවුලට එකතු කර ගැනීම අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් සිදු කළ යුතුය.

මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙනුයේ 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනතයි. මෙම නීතියට වරින් වර සංශෝධන ඉදිරිපත් වූ අතර 1992 වසරේ සිදු කර ඇති සංශෝධනය මඟින් විදේශිකයන්ට ලාංකික දරුවන් හදා වඩා ගැනීමට ඉල්ලුම් කිරිමේදී සිදු කළ යුතු කාර්යය වඩාත් විධිමත් ලෙස දක්වා තිබේ.

මෙහිදී දරුකමට හදා ගනු ලබන දරුවාට දරුකමට හදා වඩා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයාගේ නීත්‍යනුකූල දරුවකුගේ සියලු හිමිකම් ලැබේ. ඒ අනුව දරුවාට නව මවුපියන්ගේ නමින් හා පෙළපත් නමින් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට අයිතිය ලැබේ. හදා වඩා ගත් මවුපියන් සිය ස්වාභාවික මාපියන් ලෙස සැලකීමට අයිතිය හිමි වේ. තවද නීත්‍යනුකූල දරුවකු හා සමානවම අයිතිවාසිකම් හා දේපළ අයිතීන් හිමි වේ.

මෙහිදි ඉල්ලුම් කරන පුද්ගලයා දරුවා සහ ඉල්ලුම් කරන පුද්ගලයා අතර වයස් පරතරය වසර 21ට වැඩි විය යුතු අතර විවාහක යුවළක් වීම අනිවාර්ය වේ. දරුවා ඉල්ලුම් කරන්නාගේ පරම්පරාවෙන් පැවත එන්නේ නම්, පූර්ණ අර්ධ සහෝදරයන්ගෙන් පැවත එන්නේ නම් හෝ ඉල්ලුම් කරන පුද්ගලයාගේ පෙර විවාහයේ බිරියගේ හෝ පුරුෂයාගේ දරුවකු නම් වයස් පරතරය අදාළ නොවේ.

වයස අවුරුදු 14ට වැඩි දරුවකු මෙසේ හදා වඩා ගැනීම සඳහා ඉල්ලා සිටිය හැකිය. බොහෝ විට පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ළමා නිවාසවල සිටින ළමයින් සඳහා මෙසේ ඉල්ලීම් ඉදිරිපත් වේ. දරුවා හදා වඩා ගැනීමට දීමට පෙර එම දරුවාගේ මවුපියන් සිටී නම් ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනේ. දරුවා අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත ද අවශ්‍ය වේ. එමෙන්ම දරුවා කුලවද්දා ගැනීම සඳහා කිසිදු මුදලක් නොගෙවූ බවට වන සහතිකයක්ද මෙහිදී අවශ්‍ය වේ.

දරුවකුගේ අයිතිය, භාරකාරිත්වය වෙනත් පුද්ගලයකුට පවරන විට එම දරුවාගේ උපරිම යහපත සලකා බැලීම අධිකරණයේ ප්‍රතිපත්තිය වේ. දරුවාට හැදී වැඩීමට සුදුසු පරිසරයක් තිබීම, ඉල්ලුම් කරන්නන්ගේ ආර්ථික හැකියාව මෙහිදී සලකා බැලේ. විදේශිකයකු විසින් ඉල්ලුම් කර ඇති අවස්ථාවක එම රටේ රාජ්‍ය ආයතන මඟින් ලබා ගන්නා වාර්තා අධිකරණය විසින් සලකා බැලේ. දරුකමට හදා ගැනීම සඳහා නියෝගයක් මෙරට අධිකරණයක් විසින් නිකුත් කළ පසු, මෙම නියෝගය ස්ථීර කරන තෙක් මාස 3කට වරක්, පළමු වසර තුන තුළදී මාස 6කට වරක් සහ දරුවාගේ වයස අවුරුදු 10 වන තෙක් වාර්ෂිකවද දරුවාගේ ඡායාරූප සමඟ ප්‍රගති වාර්තාවක් අදාළ රටේ සිට මේ රටේ පරිවාස කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි.