පවතින තත්ත්වයෙන් ගොඩ එන්නට නම්..

අතේ ඇති මුදල රැක ගැනීම වැදගත්
ජනවාරි 17, 2022

යම් ඉලක්කයක් වෙත ගමන් කිරීමේ දී විවිධ දුෂ්කරතා, බාධක ආදියට මුහුණ දීමට අපට සිදු වේ. එම බාධා ඇතැම් විට බාහිර කාරණා විය හැකිය. ඇතැම් විට තමා තුළින්ම එන බාධාවන් විය හැකිය. නැතිනම් එම කාලයට ආවේණික වූ බාධාවන් විය හැකිය. මේ කුමනාකාරයේ බාධාවන් පැමිණියත් ඒවා ඉවත්කර ගනිමින් තමාගේ ඉලක්කය ජය ගත යුතුය.

මේ පවතින කාලය අපට, අපේ රටට පමණක් නොව, මුළු ලෝකයට ම විවිධාකාරයෙන් බලපෑම් ඇති කරන කාලයකි. කොවිඩ් වසංගතය වසර කිහිපයක් තිස්සේ ජන ජීවිතවලට විවිධාකාරයෙන් බලපෑම් ඇතිකර ඇති අතර ධනවත් රටවල් පවා ආර්ථිකමය අතින් යම් කිසි පසුබෑමකට ලක් කිරීමට සමත්ව ඇත. එය, අපේ රටට මෙන්ම අපේ රටේ ජනතාවට ද එල්ලකොට ඇති බලපෑම සුළුපටු නැත. එහෙත් අපි අපේ ඉලක්ක අතනොහැර මේ අභියෝගය ජය ගත යුතුය.

මේ කාලයේ දී අපි කළ යුතු දේ පිළිබඳ කතා කළෙමු. ඒ අනුව අත නොහැරීම, වෙනස් වීම යන කාරණා සවිස්තරාත්මකව කතා කළ අතර අද එහි තුන්වැනි කාරණාව ගැන ඔබව දැනුවත් කරන්නෙමු.

මෙහි තුන්වැනි කාරණාව වන්නේ අනවශ්‍ය වියදම් අඩුකර ගැනීමයි. නියඟය ඇති කාලයේ දී ගස් තම කොළ හැලීමෙන් ගසේ ජීවය රඳවා ගැනීමට ක්‍රියා කරන්නා සේ මේ අවස්ථාවේ දී අනවශ්‍ය වියහියදම් අඩු කළ යුතුයි. විශේෂයෙන් ම මේ කාලයේ දී ආනයනික භාණ්ඩ සඳහා කරන වියදම් අඩු කළ හැකි නම් එය රටේ පවතින ඩොලර් ගැටලුවට ද යම් සහනයක් විය හැකියි. රටේ වියදම් අඩු වීමෙන් පවතින ව්‍යාපාරවලට බලපෑම් එල්ල වේ. රටේ මිලදී ගැනීම් වැඩි නම් ව්‍යාපාර සාර්ථක වීම සිදුවේ. ආර්ථික විද්‍යාව අනුව නම් වියදම් අඩු කිරීම මඟින් එය රටේ ව්‍යාපාරවලට බලපෑම් කරයි. මන්ද ව්‍යාපාරයක් පැවතීමට නම් මුදල් හොඳින් සංසරණය විය යුතුයි. වියදම් අඩු කිරීම ව්‍යාපාර පැත්තෙන් නම් එතරම් හොඳ දෙයක් නොවේ. නමුත් කුටුම්භයක්, පවුලක් ලෙස ගත් විට ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ ඔවුන් ළඟ කොතරම් තැන්පත් මුදලක් පවතින්නේ ද යන්න මතයි. මෙය රටකට ද එලෙසින් ම බලපායි. අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි නම් එය ආර්ථිකය පහළ දැමීමට සමත් වෙන්නකි. මේ වන විට අපේ රටට සිදු වී ඇත්තේ ද අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වීමයි. එමනිසා අපි හැමදෙනාම රටක් වශයෙන් ආනයන සීමා කිරීමට උනන්දු විය යුතුයි. ආනයන මත සිදු කරන වියදම් අඩු වීමෙන් රටේ මුදල් සංචිතය වැඩි වී පවතින අර්බුදයෙන් මිදීමට හැකි වේ.

මෙය පවුලක ආර්ථිකයට ද එලෙසින් ම ආදේශ කළ හැකියි. මේ අවස්ථාවේ දී වගකීමෙන් වැඩ කරන පුරවැසියන් ලෙසින් අපි හැමදෙනාම ක්‍රියා කළ යුත්තේ එක රුපියලක් හෝ රටෙන් පිට නොයන ලෙසිනි. මුදල් සංසරණය විය යුත්තේ රට තුළයි. වියදම් අඩු කළ ද ඔබ මිලදී ගැනීම් සිදු කරන හැම විටෙකම උපරිමයෙන් දේශීය දේ සඳහා මුල් තැනක් ලබා දෙන්න. දේශීය නිෂ්පාදන මිල දී ගැනීමේ දී ඒ මුදල් අපේ රටේම තවත් පුද්ගලයෙක් අතේ රැඳෙයි. නමුත් අපි විදේශීය භාණ්ඩ මිලදී ගැනීමේ දී මුදල් විදේශයන් කරා ඇදී යයි.

ආර්ථික න්‍යායානුකූලව මෙය එතරම් හොඳ උපදෙසක් නොවුණද පවතින තත්ත්වය හමුවේ අපේ පවුල, අපේ රට රැක ගැනීමට නම් මේ ආකාරයෙන් කෙටි කාලයකට හෝ කටයුතු කිරීමට අපට සිදු වේ. අත්‍යවශ්‍ය නොවන නැතිනම් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන වියදම් අත්හිටවන්න. නැතිනම් පාලනය කරන්න.

මේ කාලයේ දී අප ක්‍රියාවේ යෙදවිය යුතු සිව්වන කරුණ වන්නේ සෞඛ්‍යාරක්ෂිත වීමයි. ස්වයං විනය යි. ඕමික්‍රෝන් ප්‍රබේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මේ මොහොතේ රටේ සියලුම දෙනා වඩාත් හොඳින් සෞඛ්‍ය පුරුදු ක්‍රියාවේ යෙදවිය යුතුය. කවුරුන් හෝ 'දැන් කිසිම ප්‍රශ්නයක් නෑ.. අපිට පුුරුදු විදියට ම දුවලා පැනලා සාද පවත්වමින් ඉන්න පුළුවන්්' යැයි සිතනවා නම් එය කොහෙත් ම හොඳ දෙයක් නොවේ. එවිට අපි වතුර උණුවන තෙක් දිය හැලියේ නටන කකුළුවකුට වඩා වැඩි වෙනසක් නොපෙන්වයි.

දැනටමත් යුරෝපීය රටවල, අමරිකා එක්සත් ජනපදයේ ආදී බටහිර රටවල ඕමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් ලංකාවට එය තවමත් ප්‍රභලව බලපෑම් කරඇති බවක් වාර්තා වන්නේ නෑ. ආර්ථික අතින් ඉතාමත් අසීරු තත්ත්වයක සිටින අපට ඕමික්‍රෝන් ප්‍රභේදය පැමිණියහොත් ඇතිවන බලපෑම සිතා ගත නොහැකියි. විශේෂයෙන් ම දෛනික ආදායමක් උපයාගෙන ජීවත්වන බොහෝ දෙනාට වගේම ව්‍යාපාර සඳහා ද මින් වැඩි බලපෑමක් ඇති විය හැකියි.

මේ නිසා හැම සිවිල් පුරවැසියෙක් ම තම වගකීමක් කොට සලකා සෞඛ්‍ය පුරුදු නිසි පරිදි මේ වසරේදී ත් ක්‍රියාත්මක කරන්නේ නම් අපිට මේ වසංගත තත්ත්වයෙන් මිදීමට හැකි වේවි. එමෙන්ම පෙර අප ජීවත් වූ ආකාරයට සුපුරුදු ජීවන රටාවට ද හුරු වීමට හැකි වේවි. නමුත් සෞඛ්‍ය පුරුදු ගැන නොසිතා වගකීම් විරහිත ආකාරයෙන් අප හැසිරුණහොත් එහි ආදීනව ගෙවන්නට සිදු වන්නේ අපි සියලු දෙනාටම යි.

අරමුණු ජය ගැනීමට නම් අප හොඳින් ජීවත් විය යුතුයි. රෝබිය නැතිව අපගේ ළබැඳියන් ද සමඟ පෙරට යා යුතුයි. අතේ ඇති මුදල් නිස්කාරණේ වියහියදම් නොකොට රැක ගැනීම ද වැදගත්.

අනෙක් කරුණ වන්නේ නව අවස්ථා පිළිබඳ සොයා බලන්න. බොහෝ අලුත් නිර්මාණ ආදිය බිහිව ඇත්තේ ලෝකයේ අමාරු අවධීන්වල දී බව දකින්නට ලැබෙන දෙයක්. මිනිස්සු අලුත් දේවල් සොයන නිසා අලුත් දේවල් බිහි වේ. අපි මේ ගැටලු විසඳෙන තෙක් බලා නොසිට අපි හැම කෙනෙක්ම අපේ සිත් මෙහෙයවිය යුත්තේ අපිට කළ හැකි දේ ගැන සිතීමටයි. උදාහරණයක් ලෙස ගතහොත් ගෑස් වෙනුවට ඔබට දර භාවිත කිරීමට හැකියාව තිබෙන පරිසරයක සිටිනවා නම් එමඟින් ගෑස්වලට ඇති ඉල්ලුම අඩු වේ. එවිට ආනයන පහළ වැටීමක් සිදු වේ. ඒවගේම ආදායම් උත්පාදන නව නිෂ්පාදන ගැන ද අවදානය යොමු කරන්න. පොල් කටු අඟුරුවලින් භාවිත කළ හැකි ළිපක් නිර්මාණය කළ අය ගැන තොරතුරු ද පසුගිය දිනවල වාර්තා වුණා. මෙවැනි ආදේශක නිර්මාණය කිරීමෙන් නව නිපැයුම් ඇතිවන අතර එය රටටත් ඔබටත් වඩාත් ඵලදායී දෙයක් වනු ඇති.

 

උපදෙස් - ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු