ඔබ විවාහයට සූදානම් ද..?

ඔහු ෙහා් අැය සහකාරයා හෝ සහකාරිය කර ගැනුමට තරම් සුදුසුදැයි සොයා බැලුවාද ?
පෙබරවාරි 7, 2022

 

විවාහය ගැන තරුණ තරුණියන්ගේ සිත්වල තිබෙන්නේ සොඳුරු සිහිනයක්. අද වන විට බොහෝ තරුණ තරුණියන් තම විවාහයට නැතිනම් මංගල දිනයට සූදානම් වන්නේ අවුරුද්දක දෙකක නැතිනම් ඊටත් වඩා කාලයක සිටයි.

මාස කිහියකින් විවාහ උත්සවයක් සැලසුම් කරන පිරිස අතලොස්සක් තරම්. ඒත් පුදුමය නම් මෙතරම් සැලසුම්කර සිදු කළ විවාහයන් බොහෝ දෙනකුට මාස කිහිපයක් හෝ වසර කිහිපයක් තුළ ම එපා වීමයි.

මෙයට හේතුව ඇතැම් විට අප උත්සවය වසර ගණන් සැලසුම් කළත් දෙදෙනා අවබෝධකර ගැනීමට වැඩි කාලයක් වැය නොකිරීමයි. පුද්ගලයන්ගේ බාහිර ලක්ෂණවලට, ඔහුගේ හෝ ඇයගේ පෙනුම, තත්ත්වය ආදිය නිසා ඔබ ඔහුට හෝ ඇයට කැමැති වූවා විය හැකියි. එහෙත් සත්‍ය ලෙසම ඔහු හෝ ඇය ඔබේ සහකාරයා හෝ සහකාරිය කරගැනුමට තරම් සුදුසුදැයි සොයා බැලුවාද?

සාමාන්‍ය‍යෙන් විවාහයක් සැලකෙන්නේ පුද්ගලයකුගේ දෙවැනි උපත ලෙසයි. මේ නිසා අප සහකරුවකු හෝ සහකාරියක සොයා ගත යුත්තේ අපේ ඒ ඉදිරි ගමනට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ද සොයා බැලීමෙනි. එසේ නොවුණහොත් ඔබේ ඉදිරි ගමන අඩාල විය හැකියි. මන්දගාමී විය හැකියි. ඔබ සිතාගෙන සිටින ඉලක්ක ඔබට සපුරා ගැනීමට නොහැකි වේවි. නමුත් නියමාකාරයෙන් විවාහය සඳහා සුදුසු සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමෙන් ඔබ දෙදෙනාගේම ජීවිත සාර්ථක කරගැනීමට හැකිවේ.

මිනිසුන්ගේ ජීවිත දෙස බැලීමේ දී පෙනෙන පැහැදිලි කරුණක් වන්නේ ඔවුන් ගන්නා යම් යම් කුඩා හෝ විසල් තීරණ ඔවුන්ගේ ජීවිතවල දිශානතීන් තීරණය කරන බවයි. සමහර තරුණියකට තමාගේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව ඇතත් ඇයගේ වැරැදි තෝරා ගැනීමක් නිසා ඉන් ඉදිරියට තමාගේ ගමන යාමට නොහැකි වේ. ඒ නිසා තම ඉලක්ක අතහැර ඔහේ ජීවත් වීමට පටන් ගනී. තරුණයකුට වුවත් තත්ත්වය මෙයමයි.

ඔබ ජීවන සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු වන්නේ ඒ මත ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක හෝ අසාර්ථක වන බැවිනි. මේ නිසා සාර්ථකත්වය සොයා යන ඔබ විවාහයේ දී තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපක් ගැන අප ඔබගේ අවධානය යොමු කිරීමට කැමැතියි. ප්‍රථම කරුණ වන්නේ ඔබ විවාහ විය යුතු වයස කුමක්ද යන්නයි. සත්‍ය ලෙසම වයස කුමක් වුවත් ඔබ විවාහයකට සූදානම් ද යන්න සිතා බලන්න. ඔබ සමාජයේ බලපෑම හෝ වෙනත් කරුණු මත විවාහයකට සූදානම් නැති අවස්ථාවක විවාහ වීම ඔබේ ජීවතයේ ඉදිරි කාලය අවුල් සහගත කළ හැකියි. මේ නිසා ඔබ විවාහයට සූදානම් ද යන්න ඔබ ඔබගෙන් ම අසා පිළිතුරු දැනගත යුතු ප්‍රශ්නයකි. කවුරුන් හෝ කියනවාට, අනෙක් යහළුවන් විවාහ වන නිසා වැනි හේතු මත තමාගේ විවාහය ඉක්මන් කිරීමට යාම තමා විසින් ම තමා ගැටලුවකට ඇද දැමීමකි.

මෙහිදී විවාහයට සූදානම් ද යන්නෙන් අදහස් කරන්නේ ඔබ පිරිමියකු නම් පවුලක් පෝෂණය කිරීමට තරම් ආර්ථික ශක්තියක් තිබේද යන්නයි. එසේ නැතිනම් විවාහයට මත්තෙන් ඔබ ශක්තිමත් ආර්ථික තත්ත්වයක් සකසා ගැනීමට උනන්දු විය යුතුයි. එසේම පිරිමියකු පවුලේ වගකීම් දැරීමට නම්, එම හැඟීම් ඇති වීමට නම්, උපදින දරුවන්ට පියකු වන්නට නම් ඒ සඳහා සුදුසු වයසක සිටීම වැදගත්.

තරුණියකගේ පැත්තෙන් ද මෙයට බලපාන්නේ වයසට වඩා ඇය විවාහ දිවියේ වගකීම් දැරීමට සූදානම් ද යන්නයි. විවාහ වන්නට තරම් ඇය පරිණත වී ඇත්ද යන කරුණයි.

ඉතාමත් තරුණ වියේ දී ඇතිකර ගන්නා බැඳීම් මත ඇතිකර ගන්නා බාලවයස්කාර විවාහ ඉතාමත් ඉක්මනින් අසාර්ථක වන ආකාරය අද සුලබව දකින්නට ලැබෙන්නක්. එයට හේතුව නව ෙයාවුන් වියේ දී අප තීරණ ගනු ලබන්නේ හැඟීම්වලට මුල්තැන දී මිස බුද්ධිය මෙහෙයවීමෙන් නොවන නිසයි. හැඟීම් මත ගන්නා තීරණ යමක් කමක් තේරෙන විට හෝ විවාහ දිවියේ ඇතිවන ප්‍රශ්න හමුවේ බිඳ වැටෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. මේ නිසා තරුණියකට තමාගේ ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් ඇති වී හොඳ තීරණයක් ගැනීමට නම් ඇය ද ඒ සඳහා සුදුසු වයසක සිටීම වැදගත්.

මේ සඳහා වයස ඉලක්කම්වලින් දැක්විය හැකි නොවන්නේ එක් එක් පුද්ගලයන්ගේ දැනුම් මට්ටම්, දරා ගැනීම්, වටහා ගැනීම් මෙන්ම පරිණත බවද එකම කාලසීමාවක දී ප්‍රශස්ථ මට්ටමකට නොඑන නිසයි. ඇතැම් තරුණ පිරිස් ඉතාමත් තරුණ අවධියේ දී වුවත් පරිණත බවින් යුතු අතර බොහෝ පිරිසක් පරිණත බව ලබන්නේ විස්ස දශකයේ අග භාගයේ පමණ සිටයි. මේ අනුව මුහුකුරා යාම හා පවුල් දිවියේ වගකීම් දැරීමට ඔබ කොතෙක් දුරට සූදානම් ද යන්න විවාහ විය යුතු වයස නිර්ණය කිරීමේ දී වැදගත් වේ.

අතීතයේ දී ඉතාමත් තරුණ වියේදී විවාහ සිදු වූ බවත් එම විවාහ අද තරම් අසාර්ථක ඒවා නොවූ බවත් අප ඔබ හොඳින් ම දන්නා කරුණක්. නමුත් අප මතක තබා ගත යුත්තේ අද කාලය එයට වඩා වෙනස් බවයි. එදාට වඩා වෙනස් වූ අභියෝගවලට අද තරුණ පිරිසට මුහුණ දෙන්නට සිදුවන අතර පවුල් ඒකකවල ස්වභාව වුවද එදාට වඩා අද වෙනස් ය.

මෙහිදී අප පරිණත බව යන්නෙන් අදහස් කරන්නේ උගත් බවින් හෝ දැනුමෙන් පෝෂණය වීම නොවේ. වයසින් මුහුකුරා යාම ද නොවේ. පරිණත බව යනු බුද්ධිමත් බව, අවබෝධය, ඉවසීම ආදී ගුණාංගයන්ගේ එකතුවකි. වයසින් මුහුකුරා ගිය ද පරිණත නොවූ අය මෙන්ම ඉතාමත් තරුණ වියේ දීම වුවත් පරිණත බවින් යුතු තරුණ පිරිස් සිටින නිසා මෙය තම තමන් විසින්ම තීරණය කළ යුත්තක්.

 

මේ පිළිබඳ තවත් කරුණු අප ලබන සතියේ දීත් කතා කරමු.

 

උපදෙස් - ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු