ගැටලු අභියෝග බවට පත්කරගෙන සාමකාමීව පිළිතුරු සොයමු

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වාගනිමු
මාර්තු 21, 2022

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ප්‍රධාන වශයෙන් ආසන්න පවුල් හා විස්තීරණ පවුල් අතර ඇතිවන කායික, මානසික හා චිත්තවේගී හිංසනයන් ලෙස හැඳින්විය හැකිය. බොහෝ අවස්ථාවලදී බලවත් පාර්ශ්වය විසින් දුබල පාර්ශ්වය විවිධාකාර වධ හිංසනයන්ට ලක්කරනු ලබයි. මෙම වධහිංසනයන් පහරදීම් පමණක් නොව තර්ජනයකිරීම්, අවමන් කිරීම්, දේපළ අලාභහානි කිරීම් හා ලිංගික අතවරයන් කිරීම් ලෙස වර්ග කර දැක්විය හැකිය.

කෝවිඩ් වසංගතය නිසා දීර්ඝ කාලයක් පුරාවට හුදෙකලාවීම, ආර්ථික අස්ථාවරත්වය, රැකියාවේ අවිනිශ්චිත බව හා රැකියා අහිමිවීමෙන් පුද්ගල මානසිකත්වය බිඳ වැටීමත් පවුලේ ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකිව මහත් පීඩාවන්ට ලක්වීමෙන් ඇතිවන ආතතිය නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩිවී තිබිණි.

සුළු බහින්බස්වීම්වලින් පටන්ගන්නා ආරවුල් විශාල ගැටලු දක්වා වර්ධනය වූ අවස්ථා වාර්තාවිණි. මේ අතරින් වැඩිහිටියන් මෙන්ම තරුණයින් විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබීමත් ඇඳිරිනීතිය යටතේ ඒවා ලබා ගැනීමට නොහැකි වීමත් තවත් අතකින් ඔවුන් පිඩාවට පත්වී තිබූ කරුණකි. මේ කාරණාව ප්‍රයෝජනයට ගත් තවත් පිරිසක් වැඩි මුදලට මත්ද්‍රව්‍ය අලෙවිය ව්‍යාපාරයක් කරගත් අතර මිල නොතකා තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් තවත් පරිහාණියට පත්වූවා සේම අඹුසැමියන් හා මාපියන් දරුවන් අතර ගැටුම් තව තවත් වැඩිවී තිබිණි. මෙයාකාරයෙන් ඇතිවූ ගැටලු බොහෝ අවස්ථාවල අවසන් වී තිබුණේ දික්කසාදයකින් හෝ පුද්ගල ඝාතනයකිනි.

“අංක 1938 දරණ කාන්තා දුරකථන සේවාවට වාර්තාවන සිදුවීම් සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදුවී ඇති බවත් 2020 අප්‍රේල් මාසයේ පමණක් එවැනි පැමිණිලි 400ක් ලැබී ඇති බවත් කාන්තා කාර්යාංශය පවසනවා. මෙම කරුණ සනාථ කරමින් බී.බී.සී. සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සඳහන් කළේ “කොරෝනා වයිරස් උවදුර පැතිර යාමට පෙර දවසකට රෝගීන් 275-285 අතර සංඛ්‍යාවක් එනවා. ඔවුන් අතර ගෙදොරදොරේ හිංසාවන්ට ලක්වී පැමිණි අය සිටියේ සීමිත සංඛ්‍යාවක්. එහෙත් අද රෝගීන් එන්නේ 80-90ක් වගේ සංඛ්‍යාවක්. නමුත් පසුගිය දිනක ඒ කුඩා සංඛ්‍යාව අතර කාන්තාවන් 5ක් 10ක් විතර දවසකට පහර කෑමට ලක්ව තිබුණා. පසුගිය දිනවල එවැනි පහරදීම්වලට ලක්වූ කාන්තාවන් 50ක් විතර සිටියා.“ යනුවෙනි. හෙද නිලධාරිනය පවසන පරිදි එම කාන්තාවන්ට පහර දෙනු ලැබ ඇත්තේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් යයි දැන ගැනීමට ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය හෝ ගෙදරදොරේ වැඩ කටයුතුවලදී මතුවෙන ප්‍රශ්න එවැනි පහරදීම්වලට හේතුවී ඇති බවත් එකී පහරදීම්, හේතුවක් ඇතිව හෝ නැතිව සිදුව ඇති ක්‍රියාවන් බවත් කී ඇය “ඇතැම් පහරදීම් මධ්‍යම මට්ටමේ ඒවා වූ අතර සමහර ඒවා බරපතල පහරදීම්“ යනුවෙන් පැවසීය. උපුටා ගැනීම (බී.බී.සී. News සිංහල)

ජංගම දුරකථන හා පරිගණක අත්‍යාවශ්‍යම උපකරණයක් බවට පත්වන්නේ අධ්‍යාපනය ඔන්ලයින් හරහා ලබාදීම ආරම්භ වීම සිදුවීමත් සමඟමය. අසීමිත අන්තර්ජාල භාවිතයට මාර්ගය විවර වීමෙන් අසභ්‍ය වෙබ් අඩවි තුළ දර්ශන නැරඹීමටත් ඒවා අනුකරණයට යාමෙන් තරුණයින් මෙන්ම වැඩිහිටියන් ද අනවශ්‍ය ගැටලු ඉස්මතු කරගෙන ඇත. මෙවැනි දේ තුළින් පවුලේ සමගියට හානියක් වනවා මෙන්ම මෙය සෘජුව බලපාන්නේ ළමයින්ටය. මෙවැනි සෘණාත්මක පවුල් පරිසරයක් තුළ ළමයින් සෑම අතින්ම පීඩාවට පත්වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිසියාකාරයෙන් කර ගැනීමට නොහැකි වන්නේය. නිසි අධ්‍යාපනයක් නොමැතිව මානසිකව පීඩාවට ලක්වූ ළමයින් සමාජයේ කොන් වන අතර මොවුන් අනාගතයේදී කලහකාරී සහ සමාජයට අහිතකර පුද්ගලයන් ලෙසට පත්වන්නේය. මෙම පවුල් ගැටලු නිසා වැඩිහිටියන්ටද දෛනික ජීවිතයේදී ඔවුනොවුන්ට නිරතුරුවම මානසික පිඩාවන්ට පත්වීමට සිදුවනවා මෙන්ම රාජකාරි කටයුතු පවා හරියාකාරව කරගැනීමට නොහැකිවන්නේය.

රටකට ඉදිරියට යා හැකි වන්නේ එම රටෙහි ජනතාව විනයගරුකනම් සහ හරවත් ඇගයුම් මත ශිෂ්ට සමාජයක් ගොඩනගා ගැනීමට ඉවහල්වන ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන්නේ නම් පමණි. ප්‍රචණ්ඩත්වය වාසස්ථානය විනාශ කරන අතර ළමයින්ගේ අනාගතයද විනාශ කරයි. මේ අර්බූදය හමුවේ පීඩාවට ලක්වන්නේ පුරුෂයින්ට වඩා කාන්තාවන් සහ ළමයින්ය. මෙමඟින් පවුලක බිරිඳ වශයෙන් ඉටු කිරීමට භාරගන්නා කිසිවක් උපරිම ලෙස ඉටු කිරීමට ඇයට නොහැකිවනු ඇත. ඇයට තම ආත්ම විශ්වාසය අහිමි වන්නේය. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත්වීමට පුරුෂයෙකුට මෙන්ම ස්ත්‍රියකටද අයිතියක් ඇති අතර එය මූලික අයිතිවාසිකමකි.

විවාහ සම්බන්ධයකදී පුරුෂයා සහ භාර්යාව තම වගකීම් මනා ලෙස අවබෝධ කරගත යුතු අතර එම වගකීම් නිසායිකාරව ඉටු කිරීම දෙපාර්ශවයේම වගකීමකි. එසේම ඇතිවන ගැටලු වැඩි කාලයක් නොගෙන දෙදෙනාම සාකච්ඡා කොට ඉක්මනින් අවසන් කර දැමිය යුතු වේ. දෙදෙනාම එකතුවී ජීවිතයේ රළු බව තේරුම් ගැනීමටත් එකිනෙකාට ගෞරව කිරීමටත් අඹු සැමි දෙදෙනා ගැන වගකීම හා කැපවීම සිහි තබා ගැනීමත් ඔබගේ සහකරු හෝ සහකාරිය සානුකම්පිත ලෙස වටහා ගැනීමත් ගැටලුවක් ඇති වූ විට විසඳුම වෙන්වීම නොවන බවත් වෙනත් මාර්ග ඔස්සේ විසඳුම් ගැන සිතීමෙන් ගැටලුව උග්‍ර අතට හැරෙන නිසාත් දෙදෙනාම එකතුවී සාමකාමීව පිළිතුරු සෙවීම වැදගත්වන්නේය. ජීවිතයට පැමිණෙන ගැටලු අභියෝග කරගෙන සාර්ථකව ඒවාට මුහුණ දිය යුතුවන්නේය. මේවාට මුහුණ දෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නමුත් විසඳුම කුමක් වුවත් ප්‍රතිඵලය සාර්ථක නම් වැදගත්වන්නේ එයයි. සාර්ථක විවාහයකට පැවැත්ම ඇත්තේ ගැටලුවල ඇලී නොසිට ඉදිරියට යාමයි. එම නිසා දරුවන්ට මෙන්ම සමාජයටද ආදර්ශයක් වන අයුරින් අපගේ පවුල් ජීවිතය පවත්වාගෙන යාම සියලු දෙනාගේම වගකීමකි.