පවුල නිවුණ කළ රට ද සංසුන්ය සැමියාගේ දැවෙන සිත නිවන බිරිය ඔබයි

ජූලි 4, 2022

 

ලොව කිසිදු රටක කසාදයට උපාධි නැත එහි කිරුළ පැලඳිය යුත්තේ ඔබමයි

 

 

 

“ වාසනාවත් කල්හි ද අවාසනාවත් කල්හි ද ලෙඩ දුකේ දී හා සුව සැපේ දී මම ඔබට විශ්වාසවන්ත වෙමි. ගෞරව කරමි. ආදරය කරමි.”

 

කතෝලික විවාහයක දී විවාහයට පත්වන තරුණ යුවළ මේ හර වචන ඇතුළත් වැකියකින් තම බිරියට, සැමියාට ආදර පොරොන්දුව ලබා දේ. සැබැවින්ම ආදරණීය බැඳීමක තිබිය යුත්තේ මෙයම නොවේද? ඔහුට ඇයට යම්කිසි දුකක් පීඩාවක් වූ අවස්ථාවේ දී පළමු සෙවණැල්ල මෙන් සිටිය යුත්තේ සහකරු හෝ සහකාරියයි. එවැනි සොඳුරු පවුල් කොතෙකුත් තිබේ. එසේම දුක් පීඩාවක දී තම සැමියා, බිරිය අතහැර පරපුරුෂයන්, පරඅඹුවන් කරා යන්නවුන් ද කොතෙකුත් සිටී. කුමන හෝ අදහන දහම, සොබාදහම එවැනි අයට දිය යුතු සාධාරණ විනිශ්චය කෙදිනක හෝ ලබා දේ.

අමිහිරි දික්කසාදය

මෑතකදී මුහුණු පොතේ සැරිසැරූ පුවතකින් මා හද බලවත් කම්පාවටත් වික්ෂිප්තයටත් පත් වුණි. ඒ දිනකට පවුල් 400 ක ප්‍රමාණයක් දික්කසාදයට යොමු වන බවයි. මෙය තරුණ පරපුර අතර පවතින ඉතාම ශෝචනීය තත්ත්වයකි. විවාහය කියන අකුරු හතරෙහි තේරුම නොදැන යුග දිවිය අරඹපු බොහෝ පිරිස් මෙලෙස යුගදිවිය ආරම්භයේ දීම එය අවසාන කර ගනී. ක්ෂණික තීරණ හමුවේ අද පරපුර දෙවතාවක් නම් හිතන්නේම නැත. දුටු සැණින් පෙමින් බැඳෙනවා. “එයාමයි මට ඕනෙ” පළමු තීරණයටම ජීවිතය භාර දෙනවා. වසර ගණනාවක් පෙම් කළත් විවාහ වී තෙමසක්වත් එක වහලක් යට රැඳෙන්නට වරම් නැත. ආදරය, විශ්වාසය, අවබෝධය, රැකවරණය නොවුණ තැන විවාහයක රඳා පැවැත්මක් ද නැත. විවාහය වූ කලී පුදුමාකාර කැප කිරීමකි.

ගැටලු කාටත් තියෙනවා

අද තරුණ පිරිස් හිතන්නේ අලුත විවාහ වූ ඔවුනට ගැටලුවක් පැන නැගි සැණින් එය තමයි මේ ලෝකේ ඇති ලොකුම ගැටලුව, ප්‍රශ්නය කියා. සමහරවිට ඒ ගැටලුවට උත්තරය සොයා ගෙන ගියොත් ඒ පිම්ම පැන්නොත් ඉන් එහාට ලස්සන පවුල් ජීවිතයක් තිබෙන්නට පුළුවනි. සිදුවූ එම ප්‍රශ්නය ජීවිතයට ආශීර්වාදයක් විය හැකියි. ඉන් එහාට දරු මල්ලන් හදා වඩා ගෙන ඉන්නටත් හැකි වේවි. අනේ එහෙත් අපේ තරුණ අඹුසැමියන් ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වෙනවා. ඒ සඳහා උත්සාහයකවත් යෙදෙන්නේ නැත. “අපෝ මට තව කසාදයක් කර ගන්න පුළුවන්. දික්කසාද වුණ එකම කෙනා මම නෙමෙයිනෙ. අරයා දික්කසාද වෙලා ඔය ඉන්නෙ වෙන කෙනෙක් බැඳගෙන. එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් වෙලා කසාද දෙකක්ම අතහැරියා. අපි දික්කසාද වුණාම මොකද?” අද පරපුර තම දික්කසාදය සාධාරණීකරණය කරන්නේ එලෙසිනි. අතීතයේ ලැජ්ජා බය ඇති සමාජය දැන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොසිණි. මේ තරම් සමාජය පිරිහෙන්නට හේතුවද ලැජ්ජා බය නැති කමයි.

ආදරණීය පවුලක්

නව පරපුර ආර්ථික ගැටලු හමුවේ ද තම බිරිය සැමියා අතහරී. සල්ලි නැත්නම් ආදරය පෑල දොරින් පලා යයි. අපේ රට අද වනවිට දැඩි ආර්ථික අර්බුදයකට පත් වී තිබේ. විසඳුම් පේනතෙක් මානයක නොවෙයි. එය පළමුව අපේ කුටුම්භයට බලපායි. පවුල තුළ දැරිය නොහැකි ආර්ථික අපහසුතා දවසින් දවස මතු වේ. එය එලෙස වූවා කියා සැමියා බිරිය භේද බින්න විය යුතු නොවෙයි. මෙහිදී බිරිය වඩාත් නුවණැතිව කටයුතු කිරීමෙන් ආදරණීය පවුල රැකගත හැකියි. ශුද්ධ වූ පවුල තුළින් ඔබ ඔබේ පවුල් ජීවිතය රැකගන්නට ආදර්ශ ගන්න. දේව මෑණියෝ හා ජුසේතුමා මුහුණ දුන්න ගැටලු ඔබ කාටත් නැත. ඒ සියලු ප්‍රශ්න හමුවේ දේව මෑණියෝ ජුසේ තුමාටත් ජුසේ තුමා දේව මෑණියන්ටත් නොබිඳෙන අත්වැලක් වුණා. කුමන ප්‍රශ්නයක් ආවත් දෙදෙනා දෙදෙනාටම සිටියා. ශක්තිමත් විවාහයක පදනම ද එයයි. සැමියා බිරිය එකිනෙකාට ආදරයෙන් විශ්වාසයෙන් කටයුතු කරන්නේ නම් එම පවුල් සංස්ථාව බිඳ දමන්නට ජගතකු ලොව නැත.

දේව මෑණියන් ගෙන් අදර්ශ

දේව මෑණියන් මුහුණ දුන් ගැටලුව මෙලොව කිසිදු කාන්තාවකට මුහුණ පාන්නට සිදු වූයේ ද සිදුවන්නේ ද නැත. එනම් පියකු නොමැතිව දරුවකු කුසට පැමිණීමයි. එය ජුසේ තුමා ද විඳ වූ ගැටලුවක් වුණි. එහෙත් ඒ සැකය හමුවේ ඔවුන් එකිනෙකා අත්හැර දැමීමට කටයුතු කළේ නැත. ඉවසීමෙන් බලා සිටි ජුසේ තුමාට ස්වප්නයකින් සියල්ල පැහැදිලි වුණි. මරියතුමියට මුහුණ දෙන්නට වුණු සමාජ අභියෝග ද එමටය. ගැබ්බර අයගේ සංගණනයකට බෙත්ලෙහෙමට යාමට සිදුවුණි. එකල රාජ්‍ය නීතියට ගරු කරමින් ජුසේ තුමා හා පයින්ම බෙත්ලෙහෙමට යාමට ඇය එකඟ වුණි. අද කාන්තාව එලෙස නිහතමානී වන්නේ ද නැත. “මට පයින් යන්න බෑ” මෙවැනි වදන් හමුවේ සැමියා අසරණයි. එහෙත් ඇය දරු ගැබ ඔසවාගෙන සැමියා ද කැටිව මේ ගමන ගියා. ඊළඟ ගැටලුව වන්නේ දරු ප්‍රසූතියට සුව පහසු තැනක් නොවීමයි. අද අපේ ගැබිනි මවුවරුන් පෞද්ගලික රෝහල් සොයන යුගයක්. එදා පුංචි ගව මඬුවක ජේසු බිලින්දා මොලොවට බිහි කළා. ආදරණීය දියණියනි, මේ ඔබට ආදර්ශයට ගත හැකි හොඳම දිරිය ගැහැනියයි.

එකිනෙකාට ගෞරව කරන්න

සිතුවිලි අලුත් කරගන්න. අනෙකාව සසදන්නට යන්න එපා. බිරිය සැමියාටත් සැමියා බිරියටත් එකිනෙකා ගෞරව කරන්න. ධනාත්මකව හිතන්න. ආතතියෙන් පෙළෙන්නට කරුණු සොයා වෙහෙසෙන්න එපා.

අපේ රටේ බොහෝ දෙනෙක් ඉක්මනින් කුපිත වෙන, ඉක්මනින් හබා යන, ඉක්මනින් අත්හරින අයයි. මේ තත්ත්වයෙන් අඹු සැමි ඔබ වහා අත් මිදෙන්න. රට පත් වී ඇති ව්‍යසනය හමුවේ බොහෝ ස්වාමිපුරුෂයන් අසරණයි. ඔවුන්ට වචනයකින් හෝ දිරිය ශක්තියක් වන ගැහැනියක් වන්න. නැති දේ ඉල්ලා හඬනවාට වඩා ඇතිදේ රැකගෙන පවුලක් ලෙසින් ඉදිරියට යන්න උත්සාහ ගන්න. සකසුරුවම්බව, පිරිමසා ගැනීම කළමනාකරණය හමුවේ යෝධ ශක්තිය වූ ගැහැනිය පිරිමියාට ආදරණීය සම්පතකි.

අද රට පවතින තත්ත්වය හමුවේ ඔබ ද ප්‍රායෝගික වන්න. දරුවන්ට ද ආදර්ශවත් වෙමින් නොගැළපීම් ගළපා ගනිමින්, අඩුපාඩු පිරිමසා ගනිමින් සැමියාගේ දැවෙන සිත නිවීමට කටයුතු කරන්න. ඔබ නිවුණ කළ පවුල සන්සුන්ය. පවුල නිවුණ කළ රට ද ඇවිලෙන්නේ නැත.

ලෝකයේ කිසිම රටක කසාදයට උපාධි, පාඨමාලා පිරිනමන්නේ නැත. ජීවිතාවබෝධය තුළින්ම එහි කිරුළ පලඳින්නට ඔබ ආදරණීය බිරියක් වන්න.

 

 

 

උපදෙස්

කාන්ති පෙරේරා

 පැවිදි සොයුරිය

දොමිනුකාය නිකාය

(වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය)