රස සහ පෝෂණය පිරුණු විවිධ කෑම

සැප්තැම්බර් 22, 2021

“රස ගුණ සමඟ සෙනෙහසින් අපි” ලෝකය පුරා විසිරී හිඳින ලාංකේය කතුන්ගේ ආදරණීය එකමුතුවකි. ජනනී ගුරුසිංහ නම් වූ ආදරණීය ඇය අතින් ඇරැඹි මේ සමූහයේ මේවනවිටත් සාමාජිකාවන් දහස් ගණනකි. ෆේස්බුක් පිටු අතර නොමනා දේට රැවටී අතරමං වන අය බොහෝයි. ඒත් ෆේස්බුක් ජීවිතයට වටිනාකම් ගෙනදෙන අගනා සමාජ ජාලයක් බව ලොවට කියන්නට ලාංකේය කතුන් එක් වී නිරමාණය කරගත් මේ ෆේස්බුක් සමූහය තරුණී පාඨක ඔබට ද වටිනාකම් ගෙනදුන් එකකි. තම තමන්ගේ ඉවුම් පිහුම් හැකියාවන් පෙන්වන්න වගේම නොදන්නා අයට ඉවුම් පිහුම් කලාව ඉගෙන ගන්නත් මෙය අගනා තෝතැන්නකි. මේ ෆේස්බුක් පිටුව අරඹා පසුගිය අගෝස්තු මාසයට වසර 8කි. එහි 8වැනි සංවත්සරය සමරන්නට සමූහයේ සාමාජිකාවන් කිහිප දෙනකු අතින් සැකසුණු රසම රස කෑම කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේ දිනවල නිවෙසට වී හිඳින නිසා පිටතින් කෑම කන්නත් නැහැනේ. ඒ නිසා ඔබට වෙනසක් ලෙසින් මේ කෑම සකසා පවුලේ සාමාජිකයන් සමඟ රස විඳිය හැකියි. දූදරුවන් වගේම සමහරවිට ඔබේ සැමියාත් මේ දිනවල හිඳින්නේ නිවෙසේ විය හැකියි. ඒ නිසා පවුලේ සියල්ලන්ටම එක්වී විනෝදයෙන් මේ කෑම සකසා ගන්න අවස්ථාව තියෙනවා.

ස්තූතිය

ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

තණහාල් මිශ්‍ර බිත්තර කට්ලට්

අවශ්‍ය දේවල්

තම්බාගත් කැමැති මාළු වර්ගයකින්

ග්‍රෑම් 150ක්

කොහිලල ග්‍රෑම් 100ක්

අර්තාපල් අල ගෙඩි එකක්

පොඩියට කපාගත් සෝයාමීට් ග්‍රෑම් 50ක්

තම්බා ගත් තණහාල් ග්‍රෑම් 100ක්

ලූනු, සුදුලුනු ටිකක්

පොඩියට කපාගත් කරපිංචා

මිරිස් කරලක්

තම්බාගත් බිත්තර 4ක්

 

දවටා ගැනීම සඳහා

බිත්තර 2ක්

පාන්කුඩු

බැදගන්න තෙල්

 

සාදාගැනීම

තම්බාගත් බිත්තර 4 දෙකට කපා පසෙකින් තබන්න. අනෙක් සියල්ල මිශ්‍ර කර කට්ලට් මිශ්‍රණය සාදා ගන්න. කපා ගත් බිත්තර පළුව ගෙන එයට උඩින් සාදාගත් පිලිං එකෙන් ටිකක් තබා බිත්තරය සම්පූර්ණ වන ලෙස සකසා ගන්න. ්බිත්තරවල පොගවා පාන් කුඩු දවටා ගන්න. මෙලෙස දෙවරක් දවටාගන්න. සුදුසු තෙල් වර්ගයකින් බැද ආහාරයට ගන්න.

 

 

නවෝදනී හේරත්

බ්‍රේෂියා, ඉතාලිය

*********************

නාසිගුරාන් රයිස්

 අවශ්‍ය දේවල්

සම්බා සහල් ග්‍රෑම් 500ක් (සෝදා පසෙකින් තබා ගන්න.)

ලොකු කැරට්ගෙඩියක්

බී ලූනු ගෙඩි දෙකක්

තක්කාලි ගෙඩි තුනක්

අමුමිරිස් (කුඩා කොටු හැඩයට කපා ගන්න.)

සිහින්ව ලියාගත් ඉඟුරු, සුදුලූනු

කරපිංචා, රම්පේ

තෙල් මේස හැඳි දෙකක්

මිරිස් කුඩු තේ හැඳි දෙකක්

කහ කුඩු තේ හැඳි භාගයක්

තක්කාලි සෝස් මේස හැඳි දෙකක්

සෝයා සෝස් මේස හැන්දක්

සීනි මේස හැන්දක්

චිකන් ස්ටොක් හෝ සුප් කැටයක්

දියකරගත් වතුර (බත් පිසීමට අවශ්‍ය පමණ ගන්න.)

 

සාදාගැනීම

 

බත සාදාගැනීමට අවශ්‍ය භාජනය (රයිස් කුකර් එකේ භාජනය) ළිප තබා තෙල් දමා රත්වෙනවිට ඉඟුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා තෙම්පරාදු කරගන්න. තක්කාලි, කැරට්, අමුමිරිස්, බීලූනු එකතුකර තෙම්පරාදු කරන්න. මිරිස් කුඩු, කහ, ලුණු, සෝස් වර්ග, සීනි එකතුකර කවලම් කරන්න. දැන් බඳුන රයිස් කුකුර් එකේ තබන්න. එයට සහල් ටික එකතුකර කවලම් කරන්න. ඇති පදමට චිකන් ස්ටොක් හෝ සුප් වතුර දමා බත පිසගන්න.

පිඟානට බෙදා බිත්තරයක් බැද තබන්න. පිපිඤ්ඤා පෙත්තකුයි, අන්නාසි පෙත්තකුයි දෙපැත්තෙන් තියා ගන්න.

 

කූනි චිලි පේස්ට්

කූනිස්සො මිටවල් දෙකක් පමණ

හොඳින් සෝදා දිය මිරිකා ගන්න.

තෙල් මේස හැඳි දෙකක්

සිහින්ව ලියාගත් කරපිංචා,

ඉඟුරු, සුදු ලුනු

කෑලි මිරිස් පුරවා මේස හැඳි පහක්.

තක්කාලි සෝස් මේස හැඳි දෙකක්

සෝයා සෝස් මේස හැඳි එකක්

සීනි මේස හැඳි දෙකක්

රස පදමට ලුණු

 

සාදන ආකාරය

 

සාස්පානකට තෙල් දමා රත් වූ විට කූනිස්සො දමා පියනකින් වසා විනාඩි දෙකක් පමණ බැදෙන්න දෙන්න. ඉඟුරු, සුදුලුනු, කරපිංචා. එකතුකරන්න. විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. කෑලි මිරිස් එකතුකර පොඩි වෙලාවක් කවලම් කරමින් බැදගන්න. ලුණු, සෝස් වර්ග, සීනි එකතුකර විනාඩියක් පමණ පිස ගන්න.

තෙත ගතියට අවශ්‍ය නම් වතුර මේස හැන්දක් එකතුකර පිසගන්න.

 

නිරෝෂිකා පෙරේරා

කොළඹ

*************************

බඩ ඉරිඟු සහ කඩල පිටි පිට්ටු

අවශ්‍ය දේවල්

කඩල පිටි කෝප්ප 1ක්

ඉරිඟු පිටි කෝප්ප 1ක්

පොල් කෝප්ප 1ක්

ලුණු

 

හැදුවේ මෙහෙමයි

පොල්වලට ලුණු කලවම් කරන්න. ඉන්පසු පිටි වර්ග දෙකම පොල් එකට දමා කලවම් කරන්න. එයට වතුර ටික ටික දමමින් කැට කරගන්න. පිට්ටු බම්බුවට දමා තම්බා ගන්න.

සාරිකා දිල්රුක්ෂි

ෆිරෙන්සි

ඉතාලිය

***********************

රෑ කෑමට පෝෂණීය ධාන්‍ය පිට්ටු

 

අවශ්‍ය දේවල්

කව්පි පිටි කෝප්ප බාගයක්

මුං ඇට පිටි කෝප්ප බාගයක්

ඉරිගු පිටි කෝප්ප බාගයක්

හාල් පිටි කෝප්ප බාගයක්

සිහින්ව ගා ගත් පොල් කෝප්ප 2ක්

ලුණු ටිකක්

කැරට් අලයක් (සිහින්ව ලියා ගත්)

ලීක්ස් ටිකක් (සිහින්ව ලියාගත්)

වතුර

 

සාදාගන්නා ආකාරය

 

මුලින්ම භාජනයකට පොල් ටික දමා වතුර ටිකක් එක කර හොඳින් පොල් ටික මිරිකා ගන්න. දැන් එයටම පිටි සියල්ලම එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. දැන් සියල්ලම හොඳින් කලවම් කරන්න. වතුර ටික ටික දමා කලවම් කරමින් පිටි ටික ටිකක් ගැට කරගන්න. දැන් එය කොටස් දෙකකට බෙදා ගන්න. එක කොටසකට සිහින්ව ලියා ගත් කැරට් සහ ලීක්ස් එකතු කර කලවම් කරගන්න. දැන් පිට්ටු බම්බුවකට දමා හොදින් පිට්ටුව තම්බා ගන්න.

සුනීතා ගරුසිංහ

නිව් යෝර්ක්

අමෙරිකාව

*********************

රාත්‍රී ආහාරයට එළවළු බ්‍රෙඩ් රොටි

අවශ්‍ය දේවල්

 

කැරට් අලයක්

ලීක්ස් ගස් දෙකක්

තියනවා නම් රෙඩ් බෙල්පෙපර් 2ක්

ලුණු කුඩු තේ හැඳි 1 ½ක්

යීස්ට් තේ හැඳි 2 ¼ක්

වතුර කෝප්ප 1 ½ක්

කිරි කෝප්ප 2ක්

පාන් පිටි ග්‍රෑම් 900ක්

 

සාදන ආකාරය

 

පොඩියට කපාගත් කැරට්, ලීක්ස්, බෙල්පෙපර් ලොකු භාජනයකට දමාගෙන එයට ලුණු, යීස්ට්, වතුර හා කිරි දමා හොඳින් කලවම් කරගන්න. ඊටපසු එයට පාන් පිටි දමා හොඳින් අනා ගන්න. ඊටපසු එයහොදින් ආවරණය කර පැය දෙකක් පමණ තබා නැවතත් ගෙන පිටි ස්වල්පයක් දමා හොඳින්අනාගන්න. ඉන්පසු කොටස්වලට බෙදා රොට් සාදාගෙන පෑන් එකක පදමට පුලුස්සාගන්න.

තරුෂි වීරසූරිය

කඩවත

*********************

ගිතෙල් බත්

අවශ්‍ය දේවල්

 

කීරි සම්බා හාල් ග්‍රෑම් 500ක්

ගිතෙල් මේස හැඳි 2ක්

සිහින්ව ලියූ සුදුලූනු, රතුලූනු

කරඳමුංගු ඇට 3ක්

කරාබුනැටි 3ක්

කුරුඳු පොතු කැබැල්ලක්

ගම්මිරිස් ඇට ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

කරපිංචා, රම්පෙ

පොල් මිටි කිරි කෝප්ප ½ක්

ලුණු රස පරිදි

සාදන ආකාරය

බත පිසීමට ප්‍රමාණවත් බඳුනක ගිතෙල් රත් කරන්න. සුදුලූනු, රතුලූනු කරපිංචා එක්කර සුවඳ හමන තෙක් බැදගන්න.

කහකුඩු, ගම්මිරිස්, රම්පෙ, තළාගත් කරඳමුංගු හා කරාබුනැටි, කුරුඳුපොතු කැබැල්ල සමඟ බඳුනට එක්කරන්න. ඒවා මඳක් බැදුණු පසු සෝදා ගත් සහල් ඊට එක්කර හොඳින් හැඳිගාමින් තවත් විනාඩි 2-3ක් බැදගන්න. පොල් මිටි කිරි ටික හා අවශ්‍ය තරම් ජලය එක්කර බත පිසගන්න. බත ඉදුණු පසු උඩට මතුවන කුළුබඩු ඉවත් කර බත කූරුගා නිවෙන්නට හරින්න.

බැදගත් කජු, සුල්තානා, කරපිංචා කොළ හා බී ලූනුවලින් මේ බත සරසාගන්න.

සකුනිකා සුමතිපාල

කොළඹ

*********************

දේශීය රසට හතු ව්‍යාංජනයක්

මේ විදියට ඕනම හතු වර්ගයක් උයන්න පුළුවන්.

 

අවශ්‍ය දේවල්

 

හතු පැකට් එකක්

සුදුලූනු බික් 2ක්

ලූනු

සුදුලූනු

අමු මිරිස්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු

මිරිස් කුඩු

අමු තුනපහ කුඩු

කහ කුඩු

කුඩා තක්කාලි ගෙඩියක් හෝ ගොරකා

රස අනුව ලුණු

පොල් කිරි

සාදාගැනීම

මුලින්ම හතුටික හොඳට පිරිසුදු කර (ලොකු හතු එකක් නම් කපා හෝ ඉරා ගන්න)

හතු ටික ලුණු වතුරට දමා සෝදා වතුර ටික ඉවත්කර ගැනීමට මිරිකාගන්න. බඳුනක් ළිප තබා තෙල් ටිකක් දමා රත්වනවිට කපාගත් ලූනු, සුදුලූනු, අමු මිරිස් රම්පෙ කරපිංචා කුරුඳු පොතු කැබැල්ලක් එක්කරන්න.

තරමක් බැදීගෙන එනවිට එයටම මිරිස් කුඩු ටිකක්, අමු තුනපහ කුඩු, කහ හා කුඩා තක්කාලි ගෙඩියක් කපා දමන්න. නැත්නම් ගොරකා එක්කරන්න.

එය ද ටික වේලාවක් බැදෙන්න හැර හතු ටික සහ ලුණු එක්කරන්න.

විනාඩි 2ක් පමණ පියනකින් වසා පොල්කිරි ටිකක් එක්කර නටවා ගන්න. පොල්කිරි එක් කළ පසු පියනෙන් වහන්න එපා.

 

හසාංජලී යසරත්න

ශිසුඕකා, ජපානය

 

*********************

කොස් මැල්ලුමක් වගේ පොලොස් මැල්ලුමක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

පොලොස් ගෙඩියක්

පොල් ටිකක්

රතුලූනු

අමුමිරිස් කරල් කිහිපයක්

සුදුලූනු

අබක්‍රීම්

ලුණු කුඩු

කහ කුඩු

ගම්මිරිස් කුඩු රස අනුව

කුරුඳු පොතු කැබැල්ලක්

 

සාදන ක්‍රමය

පොලොස් ගෙඩිය හීනිවට ලියා ලුණු කහ පොඩ්ඩක් දමා තම්බා ගන්න. ඉන්පසු පොල් ටික ඉහත සඳහන් කුළුබඩු සමඟ හොදින් අඹරාගන්න.

කුරුඳු පොත්ත සමඟ අඹරාගත් පොල් පොලොස් එකට කලවම් කර මඳ ගින්නේ මලවා ගන්න.

සුජානි ජයකොඩි

(ඉතාලියේ , බොලොඤ්ඤා නගරයේ සිට)

*********************

වට්ටක්කා රොටි

අවශ්‍ය දේවල්

වට්ටක්කා ග්‍රෑම් 250ක්

අටා පිටි ග්‍රැම් 250ක්

අමුමිරිස් කරල් 4ක්

කරපිංචා ඉති 2ක්

සුදු ලූනු බික් 3ක්

සුදුරු ඇට තේ හැඳි 1ක්

ලොකු ලුනු ගෙඩියක්

බිත්තර 1ක්

පොල්කුඩු කොප්ප

1/4ක්

පොල්

කොප්ප1/4ක්

රස අනුව ලුණු කුඩු

වතුර අවශ්‍ය

ප්‍රමාණයට

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම වට්ටක්කා පොතු ඉවත් කරගෙන වට්ටක්කා ටික ග්‍රෙට් කරන්න. අනිත් සියල්ලම කපා ලැස්ති කරගන්න.

වතුර සහ පිට හැර අනිත් ජාති සියල්ලම හොඳින් කලවම් කරන්න. දැන් පිටි එකතු කරගන්න. පිටි මෝලිය අනන්න. වතුර අවශ්‍ය නම් එකතුකරගන්න. පිටි අනා පැය බාගයක් පමණ තබන්න. ඉන්පසු රොටි සකසා අඩු ගින්දරේ දෙපැත්ත හරවමින් පුච්චා ගන්න.

සබීතා පෙරේරා
 

**************

ලුණු මිරිස් එක්ක ආප්ප

මෙම ආප්ප සාදා තිබෙන්නේ පිපුම්කාරක නොදාය. හරිම කිරි රසයි. ඔයාලත් මෙහෙම හදලා බලන්නකෝ. අයේ කවදාවත් පිපුම්කාරක නම් දාන එකක් නෑ.

 

සාදන ක්‍රමය

මුලින්ම හාල් පෙඟෙන්න තබන්න. පැය අටකට පසු පෙඟුණු හාල් ටික හොඳට සෝදා වතුර පෙරා තෙත හිඳෙන තුරු කිචන් ටවල් එකක අතුරන්න. (තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගෙන එය වැහෙන්න වතුර එකතු කර පැය 7 හෝ 8 ක්) තරමක් හාල්වල තෙත හිඳුණු පසු හාල් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. (කෑලි නොසිටින ලෙස)

බ්ලෙන්ඩ් කරගත් හාල් පිටි ටිකට පොල් වතුර හෝ දිය කිරි එකතු කරමින් අනා ගන්න. දියාරු කරගන්න එපා. (අපි රොටි අනන පදමට අනාගන්න.) මෙය හොඳින් වසා පැය 5ක් පිපෙන්න තියන්න.

පැය 5කට පසු මෙයට උකු පොල් කිරි එකතු කරමින් පිටි ටික ඒද ගන්න. (වඩාත් උකු කරගන්නවත් දියාරු කරගන්නවත් එපා.)

අවසානයේ මෙයට ලුණු, සීනී හා බිත්තරයක් එකතු කර හොඳින් කලවම් කරගන්න.

පිටි ඒදලා පැයකට පසුයි ආප්ප හදන්න ගත්තේ.

අඩුම ගින්දරේ ලස්සනට අප්ප ටික පුච්ච ගන්න. කඩේ හාල් පිටිවලින් වුනත් මේවිදියට හදන්න පුළුවන්.

 

 

දිල්රුක්ෂි ජයවර්ධන