නත්තල් තේ මේසයට හදමුද බත් දොදොල්

දෙසැම්බර් 13, 2021

බොහෝ නිවෙස්වල උත්සව සමයන්හිදී බත් අපතේ යන අවස්ථා එමටයි. එසේ ඉතිරි වූ බත් ඉවත නොදා මෙලෙසින් තේ මේසයට රසවත් දොදොලක් සාදා ගැනීමට දැන් ඔබට පුළුවන්. මේ දොදොල පහසුවෙන් සාදා ගත හැකි වීම විශේෂත්වයක්. පැයක් වැනි කාලයක් ඇතුළත පහසුවෙන් සාදා ගත හැකි මේ දොදොල හදා ගන්නේ කෙසේදැයි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

උයාගත් බත් කෝප්ප 2ක්

හකුරු ග්‍රෑම් 400ක් නැතිනම්

සීනි ග්‍රෑම් 250ක්

උකු පොල්කිරි මිලි ලීටර 300ක් (පොල් බෑයක කිරි ප්‍රමාණවත්)

කරදමුංගු ඇට 4-5ක්

කජු ස්වල්පයක්

තෙල් මේස හැඳි 5ක්

ලුණු රස අනුව

දොදොල් හදමු:

හකුරු ටික ලියා වතුර කෝප්ප භාගයක් පමණ එකතුකර උණුකර ගන්න. හකුරු වෙනුවට සීනි ගන්නවා නම් සීනි මඳක් කර කරන්න. කරදමුංගු ඇට ටික කුඩු කරගන්න. කජුවලින් කොටසක් කැබැලිවලට කපන්න. ඉතිරි ටික සැරසීමට තබන්න.

දැන් බත් හා පොල්කිරි ටික බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා ගන්න. (විදෙස්ගතව සිටින පොල්කිරි ටින් භාවිතයට ගන්නා ඔබ ,මෙයට වතුර කෝප්ප 1/4ක් මිශ්‍ර කරන්න.) මෙහි කුඩාවට හෝ කැබැලි නැති විය යුතුයි. දැන් දියකරගත් හකුරු හෝ සීනි දියකර ගත් බඳුනට ම අඹරාගත් බත් මිශ්‍රණය දාගන්න. මෙය ළිප තබා ලුණු ස්වල්පයක් ද එකතු කරන්න. කුඩු කරගත් කරදමුංගු ද දමා හොඳින් හැඳිගාන්න. ළිපේ ගින්දර සාමාන්‍ය පමණට තිබිය යුතුයි.

දොදොල නිතර හොඳින් හැඳි ගාන්න. බඳුනේ ඇලෙන්නට නොදී බඳුන වටේට ද හොඳින් හැඳිගාන්න. මෙසේ හැඳගැමේ දී මිශ්‍රණය මඳින් මඳ ගන වේගෙන එන බව ඔබට දැනේවි. නොනවත්වාම හැඳිගාන්න. මිශ්‍රණය තරමක් ගන වන විට කපා ගත් කජු ටික එකතු කරන්න. මිශ්‍රණයේ තෙල් පෑදෙනවා නම් හැන්දකින් ඒ තෙල් ඉවත් කරන්න. එසේ තෙල් පෑදෙන්නේ නැති නම් තෙල් මේස හැන්ද බැගින් විටින් විට කිහිප වතාවක් මිශ්‍රණයට එකතු කරමින් හැඳිගාන්න. මිශ්‍රණයට එකට එක් ගුලියකට එන පදමට මෙය ළිපෙන් ඉවත් කරගත යුතුය.

දැන් මේ දොදොල ට්‍රේ එකක් මතට දමා හැන්දකින් තුනීකර හදා ගන්න. කැමැති නම් කජු මද තබා ලස්සන කරගන්න.

මේ ප්‍රමාණයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ දොදොල් කැබැලි 10-12ක් පමණ කපා ගත හැකියි. මෙය පැයක් පමණ වේලාවක් හැඳි ගෑමට සිදුවේ.මෙය හකුරු යොදා හැදීමෙන් දොදොලේ තද දුඹුරු පැහැය හොඳින් ලැබේ.