රස ඉතිරෙන සතුට ගෙනෙන කෑම 2

අගෝස්තු 8, 2022

 

 

රස ඉතිරෙන සතුට ගෙනෙන විදෙස් කෑම වර්ග කිහිපයක් සකසන ආකාරය ජුලි 25 වැනිදා තරුණී වෙතින් ඔබට තිළිණ කළෙමු. එවැනි තවත් කෑම වර්ග කිහිපයක් සූපවේදී දිනේෂ් ද සිල්වා අප වෙත යොමුකර තිබෙනවා. මේ එම රස කෑම කිහිපයයි. මේ කෑම ඔබේ නිවෙසේ කෑම වේලට සකසා පවුලේ අයත් සමඟ රස විඳින්න.

ඉදිරිපත් කිරීම - ඉන්දියාවේ බැංගලෝර්වල

ස්ටැන්ලි ලෙෂර් හි විධායක

සූපවේදී හා සූපවේදී

උපදේශක - දිනේෂ් ද සිල්වා

 

ඉතා පහසු ග්‍රීන් සැලඩ්

 

ඩ්‍රෙසිං එක සඳහා

 

ඔලිව් ඔයිල් කෝප්ප ¼ක්

ලෙමන් යුෂ මේස හැඳි 2ක්

රටලූනු ග්‍රෑම් 30ක්

මී පැණි මේස හැඳි 2ක්

විනාකිරි මේස හැඳි 1ක්

 

මේ සියලු දෑ බෙලෙන්ඩර් එකට දමා කැට නොවන්නට ඉතා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

 

සලාදය සඳහා

 

කොළ පාට පිපිඤ්ඤා ගෙඩි 2ක්

සලාද කොළ ග්‍රෑම් 300ක්

සැල්දරි ඉත්තක්

තක්කාලි ගෙඩි 2 ක්

කොළ පාට ඇපල් ගෙඩි 1 ක්

පාස්ලි ග්‍රෑම් 50ක්

 

මේ සියලු ද්‍රව්‍ය තරමක් ලොකුවට කපා තසිමක දමා සාදාගත් ඩ්‍රෙසිං එක සමඟ පිළිගන්වන්න.

**************************

චිකන් ගුලැෂ්

ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්

බටර් මේස හැඳි 1ක්

රටලූනු ගෙඩි 2ක් (සිහින්ව ලියාගත්)

සුදුලූනු බික් 5ක් (සිහින්ව ලියාගත්)

කහ බෙල් පෙපර් ගෙඩි 1ක් (සිහින්ව ලියාගත්)

තක්කාලි ගෙඩි 3ක් (කොටු කපාගත්)

චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 750ක් (කොටු හැඩයට කපාගන්න)

ලුණු රස පදමට

තළාගත් ගම්මිරිස් කුඩු

තේ හැඳි 1ක්

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1ක්

පැප්රිකා පවුඩර්

 

 

බඳුනක් ළිප තබා බටර් සහ තෙල් දමා රත් කර, ලූනු එකතු කර රන්වන් පැහැ වනතුරු විනාඩි 5ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සුදුලූනු එකතු කර තව විනාඩියක් පිසගන්න. පසුව එයට බෙල්පෙපර්, පැප්රිකා පවුඩර් එක් කර තව විනාඩි 5ක් පමණ පිස එයට තක්කාලි සහ චිකන් එකතු කර අවශ්‍ය පමණ ලුණු දමා තව විනාඩි 5ක් පිසගන්න. ඉන්පසු ගමිමිරිස් කුඩු සහ වතුර කෝප්ප 3ක් එකතු කර හොඳින් වසා විනාඩි 5ක් පිසගන්න.

අවසාන වශයෙන් ළිපෙන් බා ගත් චිකන් ගුලෑෂ් එක බෝල්ස්වලට දමා උඩින් ක්‍රීම් දමා, බත්, පස්තා හෝ පාන් සමඟ පිළිගන්වන්න. මෙය පස් දෙනකුට පමණ සෑහේ.

*********************

එළවළු ස්ටූ

කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 150ක්

කුඩාවට කපාගත් අර්තාපල් අල ග්‍රෑම් 150ක්

ග්‍රීන් පීස් ග්‍රෑම් 100ක්

ඉඟුරු සහ සුදුලූනු ග්‍රෑම් 100ක් (හොඳින් අඹරාගත්)

අමු මිරිස් කරල් 4ක් (දෙකට පළාගත්)

කරාබුනැටි 4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

උකු පොල් කිරි කොප්ප 1ක්

දියකිරි කෝප්ප 2 -5ක්

කරපිංචා කොළ 12ක්

පොල් තෙල් මේස හැඳි 3ක්

ලුණු අවශ්‍ය පදමට

 

මුලින්ම බඳුනක් ළිප තබා මඳ ගින්දරේ රත් වූ පසු පොල් තෙල් දමා කරාබුනැටි දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු ලූනු එක් කොට ළා දුඹුරු පැහැය තෙක් තෙම්පරාදු කරගන්න. පසුව අල, ග්‍රීන් පීස්, කැරට්, අමු මිරිස්, ඉඟුරු, සුදුලූනු එක් කර මිනිත්තුවක් ළිපේ තබන්න. ඉන්පසු දියකිරි එකතු කර කරපිංචා ද එක් කර තැම්බෙන තුරු වසා පිසගන්න. (විනාඩි 5ක් පමණ) පසුව මිටි කිරි කෝප්පය එක් කර ඇති පදමට ලුණු දමා හැඳි ගා ගන්න. මෙය පස් දෙනකුට පමණ සෑහේ.

********************

 ක්‍රීම් මෂ්රූම් සුප්

බටර් මේස හැඳි 4ක්

තෙල් තේ හැඳි 1ක්

රටලූනු ගෙඩි 2ක් (කුඩාවට කපාගත්)

සුදුලූනු බික් 5ක් (සිහින්ව ලියාගත්)

සුදු පැහැති හතු ග්‍රෑම් 500ක්

පාන් පිටි මේස හැඳි 5ක්

වතුර කොප්ප 6ක්

ලුණු රස පදමට

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1ක්

සිහින්ව කපාගත් පාස්ලි ග්‍රෑම් 100ක්

බැසිල් කොළ ග්‍රෑම් 50ක් (තිබේ නම්)

මඳක් විශාල බඳුනක් ගෙන ළිප තබන්න. එයට බටර් සහ තෙල් දමා ලුනු, සුදුලූනු එක්කර මඳ ගින්නනේ පිසගන්න. එයට මෂ්රූම් සහ බැසිල් කොළ එකතු කරගන්න. විනාඩි 2ක් පමණ පිසගත් පසු එයට පාන් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු වතුර ටිකෙන් ටික එකතු කර බුබුළු එනතුරු හොඳින් කලවම් කරන්න. අවසාන වශයෙන් ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කර සිහින්ව ලියාගත් පාස්ලි උඩින් ඉස පිළිගන්වන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.