දුවගේ උපන්දිනයට ගවුමට ගැළපෙන කේක් එකක්

පෙබරවාරි 6, 2023

ඔබ ඔබේ නිවෙසේ හොඳම අම්මා, හොඳම බිරිය, හොඳම සූපවේදිනිය. ඉතින් තමන්ගේ ආදරණීයයන්ගේ උපන්දිනවලට ඔබේ අතින්ම කේක් එකක් නිර්මාණය කරන්න පුළුවනි නම් එය කොයිතරම් සතුටක් ද? මොකද පුංචි පුංචි දේවල්ම ඇති පවුලකට සතුට ගේන්න. ඒ හැමදේම කරන්න පුළුවන් වෙන්නේ ආදරණීය අම්මට විතරමයි.

බලන්න ආදරණීය දෝණිගේ උපන්දිනය දා ඇය හැඩවැඩ කරන ගවුම වාගේම කේක් එකක් නිර්මාණය කළහොත් ඇය පුදුමාකාර සතුටකට පත් වේවි. මේ ලස්සන කේක් එක සකසා ගැනීම එතරම් අපහසු නැහැ. අවශ්‍ය වන්නේ ඔබේ කැපවීම විතරයි.

කේක් එක සාදා ගැනීමට පළමුව අපි නිර්මාණය සඳහා අවශ්‍ය ෆොන්ඩන්ට් අයිසිං එක සකසා ගනිමු.

 

එයට අවශ්‍ය ද්‍රව්‍ය

 

* සුදු පාට මාෂ්මෙලෝ ග්‍රෑම් 450ක්

* අයිසිං සීනි කිලෝ ග්‍රෑම් 01ක්

* වතුර මේස හැඳි 04ක්

 

සාදාගන්නා ආකාරය

~ මාෂ්මෙලෝ සහ වතුර එකතුකර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබන්න. (එහෙම නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න.)

~ දියවී මදි යැයි හැඟෙන්නේ නම් තව විනාඩියක් තබන්න.

~ දැන් රත්වී දියවුණු මාෂ්මෙලෝ ටික හැන්දකින් තව හොඳට දියකර ගන්න.

~ එයට අයිසිං සීනි ටික ටික එකතු කරමින් හොඳින් අනන්න.

~ මෙය අතේ නොඇලෙන පදම එනතුරු අනාගන්න.

~ දැන් අතින් ඇද පදම නිවැරැදි දැයි බලන්න. පදම නිවැරැදි නම් අපි සාදාගත් ෆොන්ඩන්ට් එක ඇද්දම ඇදිලා යන්නත් බෑ, ඇද්ද හැටියේ කැඩෙන්නත් බෑ, ඇදිලා ටිකක් ගිහින් කැඩෙනවානම් ඒ තමයි පදම.

~ සාදාගත් ෆොන්ඩන්ට් එක සුළං නොවදින සේ පොලිතින්වලින් හොඳින් ආවරණයකර තබන්න.

දැන් එය පසෙකින් තබා අපි කේක් ටික හදමු

 

~ මේ සඳහා කේක් කිලෝ තුනක් සකසා ගත යුතුයි. එසේ නැතිනම් එක් කේක් කිලෝවක් සකසා ඉතුරු කොටසට ඩමියක් පාවිච්චි කරන්න.

 

~ ඔබ සකසා ගත් කේක් එක අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්නට හරින්න.

 

~ අනතුරුව කේක් එක බටර් අයිසිංවලින් සැන්ඩ්විච් සහ ක්‍රම්බ් කෝට් එක කරගනිමු.(මැද සහ වටේ බටර් අයිසිං මඟින් ආවරණය කරගනිමු.)

 

ඒ සඳහා,

 

* බටර් ග්‍රෑම් 650ක්

* අයිසිං සීනි ග්‍රෑම් 1300ක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* කිරි මේස හැඳි දෙකක්

 

මෙලෙස සාදාගනිමු

 

~ බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි එකට එකතු කර ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ දැන් එසේ සාදාගත් බටර් අයිසිං එකෙන් කේක් සැන්ඩ්විච් සහ ක්‍රම්බ් කෝට් කරගන්න.

~ මුලින්ම නිවුණු කේක් එක මතුපිට සහ වටේ දුඹුරු පාට කොටස් අයින් කරන්න.

~ අනතුරුව කේක් එක පරෙස්සමට දෙකට කපා බටර් අයිසිංවලින් සැන්ඩ්විච් කරන්න. ඔබ මේ නිර්මාණය සඳහා සම්පූර්ණයෙන්ම කේක් භාවිත කරන්නේ නම් අනෙක් කේක් එකද සැන්ඩ්විච් කරගන්න. ඒ සඳහා ඩමියක් භාවිත කරනවා නම් එම ඩමිය මතුපිට සහ වටේට බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

කේක් හෝ ඩමියට වෙන වෙනම කේක් බෝඩ් භාවිතා කරන්න.

~ දැන් එම ඩමිය හෝ කේක් දෙකින් ලොකු කේක් එක සාදාගත් ෆොන්ඩන්ට්වලින් කොටසක් අරන් ගවුමේ පාටට ගැළපෙන පරිද්දෙන් වර්ණ යොදන්න.

~ ෆොන්ඩන්ට් එක ලෑල්ලක් මත තබා අයිසිං සීනි ඉස හොඳින් තුනී කරගන්න.

~ තුනී කරගත් ෆොන්ඩන්ට් එක මඟින් කේක් එක ආවරණය කරන්න.

~ මේ ආකාරයටම පොඩි කේක් එකත් සුදු ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගන්න.

~ දැන් පැය දෙකක් විතර සිසිල් තැනක තියන්න. ෆොන්ඩන්ට් එක කේක් එකට ටිකක් සවි වනතුරා.

~ ඒ අතරේ ෆොන්ඩන්ට් කොටසක් තුනීකර ඒ මත පින්සලකින් මල් ඇද කපා ඒවාද තරමක් වියළෙන්නට තියන්න.

~ පැය දෙකකට පසු පුංචි කේක් එකේ ටූත් පික් එකක් මඟින් ගවුමේ ඇති මල් රටා ඇඳ වර්ණ ගළපමින් පින්සලකින් පාට කරන්න.

~ ලොකු කේක් එකේ කපාගත් ෆොන්ඩන්ට් මල් අලවා මල් කොළ නැටි පින්සලකින් අදින්න.

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ