අලුත් අවුරුදු කැවිලි මේසයේ අලුත් හැඩකාරයා

අප්‍රේල් 10, 2023

 

 අලුත් අවුරුදු කැවිලි මේසය තවත් කලඑළි කරන්න නම් අපූරු කේක් නිර්මාණයකුත් තියෙන්නම ඕනෙ. ඉතින් මෙදා සැරේ අවුරුදු සමරන්න රසය වාගේම හරිම ලස්සන කේක් එකක් පිරිනමන්න අපි හිතුවා. බලන්න වෙනසකටත් එක්ක මෙවැනි කේක් නිර්මාණයක් සකසා ඔබේ අවුරුදු කෑම මේසය කොයිතරම් නම් අලංකාරදැයි කියා.

 

මේ සඳහා කිලෝ ග්‍රෑම් දෙකකින් යුත් චොක්ලට් කේක් එකක් පළමුව සකසා ගත යුතු වේ.

 

* පිටි ග්‍රෑම් 400ක්

* කොකෝවා පවුඩර් ග්‍රෑම් 100ක්

* සීනි ග්‍රෑම් 500ක්

* බටර් ග්‍රෑම් 500ක්

* බිත්තර 8ක්

* බේකින් පවුඩර් ග්‍රෑම් 25ක්

* වැනිලා තේ හැන්දක්

* කිරි මේස හැඳි දෙකක්

 

 

 

~ බටර් හා සීනි හොඳින් ගසාගන්න.

~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

~ එයටම වැනිලා ටිකත් එකතු කරන්න.

~ පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න.

~ දැන් බටර්, සීනි බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් මඳ වේගයෙන් බීට් කරන්න.

~ අනතුරුව කිරි මේස හැඳි දෙකත්

එකතුකර කලවම් කරන්න.

~ කිලෝ දෙක ප්‍රමාණයේ කොටු හැඩයේ කේක් තැටියක් ගෙන බේකිං පේපර් එකක් දමා සකසා ගන්න. ඉන්පසුව සකසාගත් කේක් මිශ්‍රණය ඒ මත අතුරන්න.

~ දැන් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 8ක් පමණ රත්කරගත් උදුනක විනාඩි 40ක් බේක් කරන්න.

~ ඉන්පසුව බේක් කරගත් කේක් එක අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්න තියන්න.

 

මෙලෙස හොඳින් නිවුණු කේක් එක දැන් අපි බටර් අයිසිංවලින් ආවරණය කරගනිමු.

 

 

 

* බටර් ග්‍රෑම් 400ක්

* අයිසිං සීනි ග්‍රෑම් 800ක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* කිරි මේස හැන්දක්

 

 

 

~ බටර්, අයිසිං සීනි, වැනිලා, කිරි මේ සියල්ලම එකට එකතුකර ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.

~ ඉන්පසුව නිවුණු කේක් එක කේක් බෝඩ් එකක් මත තබා උඩ සහ වටේට බටර් අයිසිං තවරා හොඳින් ආවරණය කරගන්න.

~ දැන් අපිට ඉතිරිව ඇත්තේ මේ කේක් නිර්මාණය අලංකාරකර ගැනීමයි. ඒ සඳහා පුංචි ඉරක්, කජු පුහුලම් පිරුණු අත්තක්, කොහා, එරබදු මල් ආදිය ෆොන්ඩන්ට්වලින් නිර්මාණය කරගන්න.

~ ඉන්පසුව සාදාගත් මේ සියල්ලම කේක් එක මත තබා නිර්මාණය සම්පූර්ණ කරගන්න.

~ මෙහි දැක්වෙන අවුරුදු සුබ පැතුම සකසා ගැනීමට එඩිබල් පෙන් එකක් භාවිත කරන්න.

 

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනී ජනනී ගුරුසිංහ