චාම් බවට කැමැති අයට ශ්වේත වර්ණ කේක් එකක්

අප්‍රේල් 24, 2023

 

මේ බක් මාසයේ අවසන් සතියයි. අනතුරුව උදා වන්නේ මැයි මාසය එහෙමත් නැත්නම් මල් මංගල මාසයයි. ආදරණීය හදවත් එකට බැඳෙන ප්‍රේමණීය මාසයයි.

මේ සොඳුරු මංගල මාසයේ තම විවාහය ගිවිස ගන්නට එහෙමත් නැත්නම් පතිකුලයට පියනගන්නට බොහෝ යුවතියන් සිහින මවනවා නොඅනුමානයි.

ඉතින් ඒ සුවිශේෂී දිනය තවත් සුන්දරකරන අපූරු කේක් නිර්මාණයකි මේ. චාම් පෙනුමැති නමුත් ඉතා සොඳුරු මේ කේක් නිර්මාණය සඳහා ස්වාභාවික මල් භාවිතකර තිබේ. මෙහිදී ඔබට කැමති ස්වාභාවික මල් හෝ අයිසිං මල් භාවිත කළ හැකි අතර ඔබ හැඩගැන්වෙන ඇඳුමේ පැහැයෙන් මේ මල් තෝරාගත හැකියි.

* ග්‍රෑම් 500 ප්‍රමාණයේ රවුම් හැඩයේ කේක් තැටියක්

* සාදාගත් රිබන් කේක් කිලෝ 1 1/2ක්

* බටර් අයිසිං

* එඩිබල් ගෝල්ඩ් ලීව්ස්

* නැවුම් මල් කිහිපයක් සැරසිලි සඳහා අවශ්‍ය ආකාරයට

* වෙළෙඳපොළෙන් මිලදී ගත් එඩිබල් ෂුගර් පබලු කිහිපයක් (විවිධ ප්‍රමාණයෙන් මිලදී ගන්න)

* පළමුව ග්‍රෑම් 500 කේක් තැටිය යොදා ගෙන කේක් තුනක් සාදාගන්න.

* දැන් සාදාගත් කේක් තුන හොඳින් නිවෙන්නට හරින්න.

* ඉන්පසුව මෙම කේක් තුන බටර් අයිසිං තවරා එක මත එක තබමින් සැන්ඩ්විච් කරන්න.

* දැන් කේක් එක වටේටත් අයිසිං කරගන්න.

මුලින්ම මේ ආකාරයට කේක් එක වටේට අයිසිං කරගත්විට කේක් එක ලෙවල් කිරීමේදී කේක් කුඩු නොගෑවෙන බව මතක තබාගන්න.

* ඉන්පසුව පයිපිං බෑග් එකක් ගෙන එයට අයිසිං දමා ටිකක් වැඩි ප්‍රමාණයක් සිටින සේ වටේට අයිසිං දමාගන්න.

* අනතුරුව මෙටල් කේක් ස්ක්‍රේපර් එකකින් කේක් එක වටේට ලෙවල් කරගන්න.

* දැන් කේක් එක උඩ ඈන්ගල් ෆැලට් නයිෆ් එකකින් වටේට තීරු ආකාරයට සිටින අන්දමින් අයිසිං කරගන්න. උඩ වටේට ගෝල්ඩ් ලීව්ස් අලවා ගන්න.

* ඉන්පසුව ඔබ කැමැති පරිද්දෙන් රටාවකට එඩිබල් සීනි පබලු කේක් එක පුරාම විසිරී යන ආකාරයට අලවා ගන්න.

* අවසානයට අවශ්‍ය ආකාරයට ස්වාභාවික මල් හෝ අයිසිං මල් කේක් එකේ රඳවමින් කේක් එක හැඩවැඩ කරගන්න.

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක