ස්ට්‍රීට් ෆුඩ් ලවර්ස්ලාට...

ජුනි 5, 2023

කාලෙකට පස්සේ දිලේකායි එයාගේ පවුලේ අයයි අද අපේ ගෙදර එනවා කිව්වානේ. දිලේකා හරිම ආසයි ඉන්දියන් ෆුඩ් වලට. ඉතිං මං හිතුවා දහවල් ආහාරයට ඉන්දියානු කෑම වේලක් පිළිගන්වන්න. ඔස්ට්‍රේලියාවේ අවුරුදු ගානක් හිටපු දිලේකා ලංකාවට අාපූ ගමන් මුලින්ම එන්නෙත් අපේ ගෙදරටනේ. ඉතිං කෑම වේලට වෙනසක් එක් නොකර කොහොම ද. දිලේකාගේ බබාලා ඉන්දියානු අාහාර වේලක රස බලලම නැති නිසා මේ අාහාර වේල නම් එයලට අමතක වෙන එකක් නම් නැහැ.

 

මම හිතුවා ගාර්ලික් බටර් නාන් සමඟ පනීර් කරි එකක් හදන්න.

ඒවගේම රුලං යොදාගෙන හදන තෝසේ.

ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ්වලට ආස අය පානි පූරි තියෙන තැන් හොය හොයනෙ යන්නෙ. දිලේකාත් දවසක් මාත් එක්ක කියලා තිබුණා ලංකාවට අාපූ දවසක පානී පූරී කන්න යන්නම ඕනේ කියලා. එහෙම කන්න ආස ලොකු පොඩි හැමෝටම ගෙදරදීම පිරිසුදුවට පානි පූරි හදන් කන්න පුළුවන්කම තියෙද්දි දැන් පානි පූරි හොයන් යන්න ඕනෙ වෙන එකක් නැහැ. ඉතිං දිලේකා ආස නිසාම මම පානි පූරිත් මේ ආහාර වේලට එකතු කර ගන්න හිතුවා.

 

උපදෙස් සූපවේදී

සර්වදර්ශනී අප්සරා

 

පනීර් කරිය හදන්නේ මෙහෙමයි

 

ගාලික් බටර් නාන් රස බලන්න හොඳම ග්‍රේවි එකක් තමයි පනීර් කරිය. වෙළෙඳසැලේ තියෙන පනීර් අරගෙනත් කරිය හදන්න පුළුවන්. ඒත් මම හිතුවා පනීර් ටිකත් ගෙදරදීම හදන්න.

මේ සඳහා නැවුම් එළකිරි ලීටර් 1ක් අවශ්‍යයි.  ඒවගේම විනාකිරි මේස හැඳී 1 ක්. විනාකිරි වෙනුවට දෙහි හරි ලෙමන් හරි එකතු කරගන්නත් පුළුවන්.

 

පනිර් එක හදාගන්න පිරිසුදු තරමක් ලොකු රෙදි කැබැල්ලකුත් ඕනේ.

මුලින්ම කිරි ටික භාජනයක දාලා රත් වෙන්න තියන්න. සැරින් සැරේ කිරි උතුරන කල් හැඳී ගාමින් රත් කරන්න. කිරි උතුරලා ගියොත් හොඳ යොදය තියෙන කොටස අපතේ යන නිසා අවදානෙන් මේ වැඩේ කරන්න ඕනේ.

කිරි ටික බුබුළු දමමින් උතුරන විට ලෙමන් යුෂ හෝ විනාකිරි ටික එකතු කරන්න.

ටික වෙලාවක් යන විට කිරි කැටි වෙන් වීමට පටන් ගෙන පැහැදිලි වතුරක් සෑදෙන තෙක් හොඳින් හැඳි ගාන්න.

පසුව ළිප ගින්දර වසා දමන්න.

දැන් මේ දියරය පිරිසුදු රෙදි කෑල්ල භාවිතයෙන් පෙරා රෙදි කෑල්ලට කිරි කැට ටික එකතුකර හිමින් මිරිකා ගන්න. පසුව රෙදිවලින් ඔතා ඇති පනීර් පැය 2-3 ක් තව දුරටත් බේරෙන්න උඩින් එල්ලා තබන්න. ඉන්පසු ශීතකරණයේ හොඳින් ආවරණය කර තබා ගන්න. දැන් පනීර් ටික එළියට ගෙන කෑලි කපා ගන්න. දැන් පනීර් එක ලෑස්තියි. අපි දැන් බලමු සාදා ගත් පනීර්වලින් කරි එකක් සාදා ගන්නේ කොහොමද කියලා.

 

මේ සඳහා සකසා ගත් පනීර්, ඉඟුරු, සුදු ලූණු, මාළු මිරිස්, තක්කාලි, ලූනු, සෝස් සහ පොල් තෙල්,ලුණූ ස්වල්පයක් අවශ්‍යයයි.

පළමුවෙන්ම ඉඟුරු, සුදු ලූනු, මාළු මිරිස්, ලූනු සහ තක්කාලි කුඩා කැබලිවලට කපා ගන්න.

පසුව තෙල් ස්වල්පයක් දැමූ භාජනයක් ළිප තබා මඳක් රත් වුණාම කපා ගත් ඉඟුරු, සුදු ලූනූ, මාළු මිරිස්, ලූනු සහ තක්කාලි, ලුණූ එයට එක් කරන්න.

පසුව එයට පනීර් එකතු කර වතුර ස්වල්පයක් ද එක්කර විනාඩි 25ක් මඳ ගින්නේ පිසින්න. මේකට වතුර එකතු නොකර තෙම්පරාදු කරන්නත් පුළුවන්. ඒත් බටර් නාන් රස බලන්න ග්‍රේවී ගතිය තියෙන්න ඕනේ නිසා වතුර ස්වල්පයක් එක්කරන්න ඕනේ. අවසානයේ ළිපෙන් බාගෙන සෝස් ස්වල්පයක් එකතු කරගන්න. සෝස් අවශ්‍යම නැහැ.

මේ රසවත් පනීර් කරි එක සමඟ ගාර්ලික් බටර් නාන් රස බලන්න දැන් පුළුවන්.

*************

ගාර්ලික් බටර් නාන්

 

මම මුලින්ම හිතුවා ගාර්ලික් බටර් නාන් එක හදන්න. බටර් නාන්, සෙසමි නාන්, චිලී නාන් සහ ප්ලේන් නාන් ලෙස නාන් ආකාර කිහිපයකටම හදන්න පුළුවන්.  ඒ විදිහට යොදාගන්න අමුද්‍රව්‍ය අනූව පුංචි පුංචි වෙනස්කම්වලින් රස වෙනස් කරගන්න පුළුවන්.

 

ගාර්ලික් බටර් නාන් හදන්න මම පාන් පිටි ග්‍රෑම් 500ක් යොදා ගන්නවා. කෑම වේලට ඉන්න පිරිස අනුව පාන් පිටි අවශ්‍ය ප්‍රමාණය තීරණය කරගන්න ඕනේ. ඉන්පසු බේකිං පවුඩර් තේ හැඳි 2ක් සහ ගී මේස හැන්දක් අවශ්‍ය වෙනවා. ගී නැත්නම් ඒ වෙනුවට බටර් මේස හැන්දක් යොදාගන්නත් පුළුවන්. මුදවපු කිරි හරි නැත්තම් යෝගට් මේස හැඳි 4කුත් ඕනෙ කරනවා. ඒවගේම රස අනුව ලුණු ස්වල්පයක්, සුදු ලූනූ බික් හතරක් සහ ලියාගත්ත කොත්තමල්ලි ටිකක් අවශ්‍යයි. කොත්තමල්ලි කොළ වෙනුවට පාස්ලි වුණත් එකතු කරගන්න පුළුවන්.

මුලින්ම පැතලි භාජනයක් ගෙන ඊට පාන් පිටි, බේකිං පවුඩර්, ගී, මුදවපු කිරි සහ ලුණු එකතුකර මිශ්‍රකර ගන්න. එයට වතුර ටික ටික එකතු කරමින් රොටී හදන පදමට අතේ නොඇලෙන ලෙස අනාගන්න. පසුව පිටි මෝලියේ බටර් පොඩ්ඩක් ගාලා තෙත රෙද්දකින් හෝ කිචන් ටවල් එකකින් වහලා පිපෙන්න පැයක් පමණ සිසිල් ස්ථානයක තබන්න. පැයකට වඩා තියන්න පුළුවන් නම් තවත් හොඳයි.

මේ අතරේ බටර් ටිකකට තළාගත් සුදුලූනු ටිකක් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදා ගන්න .

ඉන්පසු පිටි මෝලිය එළියට අරන් කුඩා කැබැල්ලක් කඩාගෙන පිටි ඉසගත් ලෑල්ලක තියලා රෝලින් පින් එකකින් නාන් එක හදා ගන්න.

තුනීවට හදාගත් නාන් එක උඩ කොත්තමල්ලි කොළ ටිකක් තියලා රෝලින් පින් එකෙන් කොළ ටික තද වෙන විදිහට තව ටිකක් තුනී කරන්න.

දැන් නාන් එක අනිත් පැත්ත හරවලා එහි වතුර ටිකක් තවරලා රත් කරගත් රොටී තැටියේ වතුර ගාගත් පැත්ත හරවලා තැටියේ තියන්න (කොළ දාපු පැත්ත උඩට සිටින සේ). මතක ඇතුව තැටිය අඩු ගින්දරේ තබාගන්න.

ටික වේලාවකින් වතුර ගාපු පැත්ත තැටියේ ඇලෙනවා. ඊට පස්සේ තැටිය පරිස්සමෙන් අනිත් පැත්ත හරවලා කොළ දාපු පැත්ත පොඩ්ඩක් ළිපට අල්ලාගෙන ඉන්න. එතකොට නාන් එක පිම්බිලා බුබුළු දාලා ලස්සනට එනවා. දැන් නාන් එක හරවලා කලින් හදාගත් සුදුලූනු මිශ්‍ර බටර් මිශ්‍රණයෙන් පොඩ්ඩක් නාන් එක උඩ තවරා පුලුස්සා ගන්න. මේ විදිහට ඉතුරු නාන් ටිකත් සකසා ගන්න.

*************

 

 

 

ඉන්දියානු රුලං තෝසේ

 

තෝසෙ කියන්නේ ලොකු කුඩා කවුරුත් ආහාරයට ගන්න කැමැති දෙයක්නේ. සාමාන්‍යයෙන් තෝසෙ හදන්නෙ උඳු පිටි භාවිත කරලා වුණාට අද මම හදන්නේ වෙනස් රසයකට රුලංවලින් පෝෂණ ගුණයෙන් ඉහළ තෝසෙ වර්ගයක්.

 

රුලං එකතු කරගෙන බොහෝ කෑම වර්ග හදන්න පුළුවන්. ඒ වගේම මේ රුලංවල තියන පෝෂණ ගුණය සහ සෞඛ්‍යමය වාසිත් ඉතාම වටිනවා.

මේ තෝසෙ එක හදන්න රුලං ග්‍රෑම් 250 ක්,

පාන්පිටි ග්‍රෑම් 125ක් සහ හාල් පිටි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙනවා.

තෙම්පරාදුව සඳහා අබ තේ හැඳි 1ක්, සූදුරු තේ හැඳි 1 ක්, තළාගත් අමු මිරිස් කරලක්, තළාගත් ඉඟුරු තේ හැඳි 1ක්, කරපිංචා කොළ කිහිපයක්

සිහින්ව ලියාගත් ලූනු ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි බාගයක්, රස අනුව ලුණු

සහ ගී ස්වල්පයක් අවශ්‍ය කරනවා. දැන් අපි තෝසෙ එක හදමු.

මුලින්ම රුලං එක්ක හාල් පිටි සහ පාන් පිටි එකතු කරලා එයටම ලුණු ස්වල්පයක්ද එකතුකර මෘදු බැටර් එකක් සකස්කර ගන්න.

දැන් මේ බැටර් එක හොඳින් වසා විනාඩි පහළොවක් පමණ පසෙකින් තියන්න.

ඊට පස්සේ අපි ඒකට ගී ස්වල්පයක් පෑන් එකකට එකතුකර තෙම්පරාදුව සඳහා සූදානම් කරගත් කුළු බඩු සියල්ල එකින් එක එකතු කරන්න ඕනේ.

මේ සියල්ල හොඳින් තෙම්පරාදු වුණාට පසුව තෙම්පරාදුව නිවෙන්නට හරින්න.

දැන් නිවුණු තෙම්පරාදුව විනාඩි පහළොවක් පමණ පිපෙන්න තියන්න. ඉන්පසු තෝසේ තැටියක් හරි තරමක ලොකු නන්ස්ටික් පෑන් එකක් ළිප තබා රත්වන විට තෝසේ මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් අරගෙන පෑන් එකට දමා තෝසෙ එක සකසා ගන්න. තෝසෙ ඉක්මනින් පිසෙන අහාරයක් නිසා වැඩි වෙලාවක් පෑන් එක මත තියන්න අවශ්‍ය නැහැ.  මේ අකාරයට සියලුම තෝසෙ සකස් කරන්න ඕනේ. සාම්බාරු හොද්දක් එක්ක තෝසෙ කන්න අකැමැති කවුද... හැබැයි මම කලින් හදපු පනීර් කරිය එක්ක වුණත් තෝසෙ රස බලන්න පුළුවන්.

ඔන්න මගේ හොඳම මිතුරිය දිලේකා ආස දේවල් හදලා ඉවරයි. එයාලට මේ ඉන්දියානු ආහාර වේල පිළිගන්වනකම් මට ඉවසිල්ලක් නැහැ. ඔයාලත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

*************

පානි පූරි ගෙදර හදමු

ඉන්දියානු ස්ට්‍රීඩ් ෆුඩ්ස් ගැන කතා කරද්දී පානි පූරි පෙරමුණ ගන්නා අාහාරයක්. නොකාපු අය හොයන් යන, කාපු අයට ආයෙත් කන්න හිතෙන පානි පූරි මේ විදිහට හදලා බලමු.

 

පූරි එක හදන්න රුලං ග්‍රෑම් 100ක්, තෙල් තේ හැඳි 1ක්, බේකිං සෝඩා  ස්වල්පයක්, රස අනුව ලුණු, පාන් පිටි මේස හැඳි 1ක්, වතුර ස්වල්පයක් අවශ්‍යයි.

මේ පූරි එකේ ෆිලින්ග් එක වෙනම හදාගන්න ඕනේ.

ෆිලින් එකට තම්බා පොඩියට කපාගත් අල ගෙඩි 2ක්, චොප් කරගත් පොඩි බී ලූනූ ගෙඩියක්, චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1 ½ක්, බැදගත් සූදුරු කුඩු තේ හැඳි 1ක්, චායි මසාලා තේ හැඳි 1ක්, මිරිස් කුඩු තේ හැඳි ½ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

පූරි එකත් වෙනම සකසා ගන්න ඕනේ. ඒ සඳහා මිංචි කොළ කප් ½ක්, කොත්තමල්ලි කොළ කප් 1ක්, චොප් කරගත් ඉඟුරු කෑල්ලක්, චොප් කරගත් අමුමිරිස් කරල් 2-3ක්, සියඹලා පේස්ට් මේස හැඳි 1ක්, ගාගත් හකුරු මේස හැඳි 4ක්, බැදගත් සූදුරු කුඩු තේ හැඳි 1ක්, චායි මසාලා තේ හැඳි 1ක්, බ්ලෙන්ඩ් කිරීමට වතුර කෝප්ප 1ක්,

වෙනම වතුර කෝප්ප 1 ½ක්, ගී බූන්දි මේස හැඳි 2ක් (අත්‍යාවශ්‍යම නෑ)

මුලින්ම ෆිලින්ග් එක හදන්න අවශ්‍ය සියලුම දේවල් එකට මිශ්‍ර කරගෙන පැත්තකින් තියාගන්න.

පානි එකට අවශ්‍ය සේරම බ්ලෙන්ඩ් කරන්න. අවශ්‍ය වතුර ටික එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ඒකට ඉතිරි වතුර කෝප්ප 1 ½ ටික ටික එකතු කරන ගමන් කැමති ඝනකමකට පානි එක හදාගන්න. 

රස බලල ලුණු, පැණි රස හෝ ඇඹුල් රස වෙනස් කරගන්න පුළුවන්. මේකට බූන්දි ටික පොඩි කරල දාගෙන පානි එක ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න. බූන්දි අත්‍යවශ්‍යම නැහැ. හැබැයි බූන්දි එකතු කළොත් තවත් රසවත්.

පූරි හදන්න රුලං එකට තෙල්, බේකිං සෝඩා, ලුණු දමා ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරන්න. ඒකට පාන් පිටි දමා හොඳින් කලවම් කරන්න. වතුර දානකොට ටික ටික වතුර දාන ගමන් මිශ්‍රණය ඉක්මනින් අනා ගෙන සොෆ්ට් ඩෝ එකක් හදා ගන්න.

ටික වේලාවක් හොඳින් අනාගෙන විනාඩි 30 පමණ තෙත රෙද්දකින් වහලා තියන්න. ඒ වගේම මේ මිශ්‍රණය ඉලාස්ටික් එකක් වගේ ඇදෙන පදමට තියන්න ඕනෙ.

අවසානයට එයින් කොටස් කඩා ගෙන රෝලින් පින් එකකින් හොඳින් තුනී කරගෙන පොඩි රවුමක් එහෙමත් නැත්තම් කටර් එකක් තියා පොඩි රවුම් කපාගෙන ගැඹුරු තෙලේ රන්වන් වනතුරු බැද ගන්න. මේ පූරි ටික හොඳට පිම්බිලා එන්න ඕනා.

දැන් පානි පූරි හදන්න පූරි එකේ උඩ කොටස පොඩ්ඩක් කඩලා ඒක මැදට අල මිශ්‍රණය දාගෙන ඒක උඩට පානි එක දාගන්න. මේකට කැමැති නම් උඩින් සියඹලා චට්නි ටිකකුත් එකතු කරගන්න.