පුංචි පුතුගෙ උපන්දිනය සරසන කාර් කේක් එකක්

ජුනි 12, 2023

 

රෝස පාට ගවුම් පොඩිති, මල් බෝනික්කෝ, හට්ටි මුට්ටි එක්ක ඔයාගේ පුංචි පැංචි හුරතල් වුණාට කොලු පැටවුන්ට තියෙන්නෙ වෙනමම ලෝකයක්. දුවන පනින දඟකාරකම් එක්ක පාට පාට වාහන, බෝල, බැට් වාගේ දේවල්වලට තමයි එයා කැමැති. විශේෂයෙන්ම ලස්සන කාර් එකක්, බයික් එකක් තියෙනවා නම් එයාට වෙන මොකුත්ම ඕනෙ නෑ. ඒ නිසාම වැඩි දෙනෙක් පුංචි පුතාගෙ උපන්දිනයට සෙල්ලම් කාර් එකක් තිළිණ කරන්න අමතක කරන්නේ නෑ. ඒ විතරක් නෙමේ ඔයාගේ අතින්ම මේ විදිහට ලස්සන කාර් එකක් කේක්වලින් නිර්මාණය කරගන්නත් පුළුවනි.

 

* කිලෝග්‍රෑම් 1.5 ප්‍රමාණයේ හතරැස් හැඩයේ තැටියක සාදාගත් වැනිලා කේක් එකක්

* සාදාගත් බටර් අයිසිං සහ

* සාදාගත් ෆොන්ඩන්ට් අයිසිං අවශ්‍ය ප්‍රමාණයට

* පළමුව කිලෝ ග්‍රෑම් 1.5 ප්‍රමාණයේ තැටියේ වැනිලා කේක් එකක් සාදාගන්න.

* එය හොඳින් නිවෙන්නට හරින්න.

* දැන් හොඳින් නිවුණු කේක් එක ගෙන පළමුව කාර් එකේ හැඩේට කපා ගත යුතුයි.

අතහුරු කෙනකුට නම් මෙය පහසු කටයුත්තක් වුවද කේක් නිර්මාණකරණයේ ආධුනිකයකුට එය තරමක් අපහසු කටයුත්තක් විය හැකියි.

* එලෙස ආකෘතිය සාදා ගැනීමට අපහසු අවස්ථාවන්වලදී කොළයක කාර් එක සටහන් කරගෙන එහෙමත් නැත්නම් ප්‍රින්ට් එකක් ගෙන ඒ ආකාරයට කේක් එක කපා ගත හැකියි.

* මෙහිදී කේක් එකේ කොටස් එකිනෙක අලවා ගැනීමට මෘදු බටර් අයිසිං භාවිත කරන්න.

* කේක්වලින් කාර් එක සකසා අවසන් වූ පසුව වටේට බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

* ඉන්පසු අවශ්‍ය වර්ණක දමා නොම්මර 18 නොසල් එකෙන් කේක් එක වටේම අයිසිං කරගන්න.

* අවශ්‍ය ආකාරයට ෆොන්ඩන්ට් අයිසිංවලට වර්ණක දමා සකසා ගන්න.

අනතුරුව ඒවා තුනීකර මෙහි දැක්වෙන හැඩතල කපාගන්න.

* ඒවා පරෙස්සමට කේක් එකට අලවා ගන්න.

කේක් බෝර්ඩ් එකට කොළ වර්ණයේ අයිසිං තවරා පැලට් නයිෆ් එකකින් හොඳින් ලෙවල් කරගන්න.

* පසුව නොම්මර 233 නොසල් එක ආධාරයෙන් මෙහි දකින්නට ඇති ආකාරයට තණකොළ අයිසිං කරගන්න.

* ඒ වටා ෆොන්ඩන්ට්වලින් ගල් කිහිපයක් ද අවශ්‍ය ආකාරයට අලවා ගන්න.

* ෆොන්ඩන්ට් කොටස් කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇත. එය සාදා ගැනීමට වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍ර කරන්න. එවිට අපූරු ගම් එකක් සාදාගත හැකියි.

 

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමි හි

කේක් නිර්මාණ ශිල්පිනී චතූ රත්නායක