සීනි නැතුව පැණි රස කමු

ජුනි 12, 2023

සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහි වන සුළු දෙයක්. ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාව වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙලා ඉන්න වර්තමානයේ බොහෝදෙනා සීනි පරිභෝජනය බොහෝම අවම කරලයි තියෙන්නේ. සීනි පරිභෝජනයෙන් වැළකුණු පසු කාන්තාවන්ටත් සමෙහි ගැටලු බොහොමයකින් හොඳ ප්‍රතිඵල ලැබුණු බවයි වැඩි දෙනෙක් කියන්නේ.

අද අපි මෙලෙසින් ඔබට ගෙන එන්නේ පැණි රස කන්න ආස හිතෙන වෙලාවට සීනි නැතුව පැණි රසට හදාගන්න පුළුවන් රෙසිපි කීපයක්. හදලා බලන්නකෝ...සීනි නැති නිසා හිතේ කරදරයක් නැතුව ඕනෙ කෙනෙක්ට රස බලන්න පුළුවනි.

සීනි නැති බිස්කට් 

 

පාන්පිටි කෝප්ප එකක්

ඇට සහ පොතු ඉවත් කළ රටඉඳි කෝප්පයක්

රටකජු කෝප්ප කාලක්

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්

බිත්තරයක්

උණු වතුර කෝප්ප කාලක්

බටර් තේ හැන්දක්

බේකිං පවුඩර් තේ හැන්දක්

වැනිලා ටිකක්

 

 

පළමුව අවන් එක සෙල්සියස් අංශක 175 ට රත් කරන්න. ඉන්පසු බෝල් එකක් ගෙන එයට පාන්පිටි, රටඉඳි, රටකජු, කෙසෙල් ගෙඩිය, කඩාගත් බිත්තරය, බටර්, බේකිං පවුඩර් සහ වැනිලා එකතු කරන්න. මෙයට උණු වතුර කෝප්ප කාලක් එකතුකර ගුලියක්වන සේ හොඳින් මිශ්‍ර කරමින් අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය භාගයක් ශීතකරණයක තබා ගන්න. 

අනතුරුව මේ මිශ්‍රණය පිටතට ගෙන ලෑල්ලක් මතට දමා තුනී කරන්න. අවශ්‍ය හැඩයට කපා ගන්න. ඉන්පසු බේකිං ට්‍රේ එකක අතුරා විනාඩි 10ක් බේක් කරගන්න.

 

------------------------

පෑන් කේක් මෙහෙම හදමු

පාන්පිටි කෝප්ප එකක්

කිරි කෝප්ප එකක්

බිත්තරයක්

බටර් තේ හැඳි දෙකක්

බේකිං පවුඩර් තේ හැන්දක් 

හොඳින් ඉදුණු අන්නාසි ගෙඩියක්

පැණි කෝප්ප භාගයක්

 

 

පළමුව අන්නාසි ගෙඩිය පොතු හැර කුඩාවට කපා පැණිත් සමඟ බඳුනකට දමා මඳගින්නේ විනාඩි 10ක් පිසගන්න. පාන්පිටි, කිරි, බිත්තර, බටර් සහ බේකිං පවුඩර් එකට මිශ්‍රකර බ්ලෙන්ඩ් කරගන්න. දැන් පෑන් එකක් ළිප තබා, සකසාගත් මේ බැටර් එකෙන් භාගය බැගින් දමා පෑන් කේක් දෙකක් සකසා ගන්න. ඉන්පසුව ස්ටූ කළ අන්නාසි මැද්දට දමා කෑලි කපාගන්න.

 

ඉඳහිට වෙලාවක පැණි රස කන්න හිතෙනවා නම් මේ විදිහට කෑමක් දෙකක් සකසා රස බලන්න ඔබට පුළුවනි. 

 

---------------------

පැණි රස පුඩිං හැබැයි සීනි නෑ

 

කිතුල් හකුරු හෝ කිතුල් පැණි ග්‍රෑම් 250ක්

බිත්තර 5ක්

කිරි කෝප්පයක්

වැනිලා තේ හැන්දක්

 

බඳුනක් ගෙන කිතුල් පැණි, බිත්තර, කිරි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මේ මිශ්‍රණය සුදුසු භාජනයක දමා විනාඩි 30ක් හුමාලයෙන් තම්බා ගන්න. ඉන්පසු ශීතකරණයේ තබා රස බලන්න.

 

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න