ගෙදර හදන රසම රස ජෑම් දැන් ඔබටත්

ජුනි 26, 2023

 

ජෑම් කඩෙන් ගේනවා වගේද ගෙදර හදලා කනකොට. අපේ රසයට අපිට ඔනෙ විදිහට රසකාරක, කෘත්‍රිම කල් තබාගන්න දේවල් නැතිව හදාගන්න තියෙනවනම් කොච්චර දෙයක්ද? තරුණී අපි ඔයාලට අද ජෑම් රෙසිපි ටිකක් අරගෙන ආවේ ඒ නිසාමයි. කඩේ රසයට වඩා වෙනස් ස්වාභාවික රසයක් එක්ක ජෑම් කන්න මෙන්න මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න. ජීවාණුහරණය කළ බෝතල්වල අසුරගෙන සති තුනත් මාස‍යත් අතර කාලයක් ශීතකරණයේ කල්තියාගන්න පුළුවන්. මේ ජෑම් වර්ග හදන්න ලොකු වියදමක් නම් යන එකක් නැහැ. මොකද පැණි වරකා, දූරියන් ගහක්, දිවුල්, අඹ, කාමරංගා වගේ ගෙවත්තේ වැවෙන  ගස්වලින් වැටිලා කුණුවෙලා යන පලතුරුවලින් ප්‍රයෝජනයක් ගන්න හොඳම අවස්ථාවක් තමයි මෙය.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

පැණි වරකා ජෑම්

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේවත් ගන්න නැති ජෑම් වර්ගයක් තමයි පැණි වරකා ජෑම්. දේශීය පලතුරක්නේ පැණි වරකා කියන්නෙ. දැන් පැණි වරකාවලිනුත් ජෑම් හදන්න පුළුවන්. මේ ජෑම් එක හදන්න ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගත් වරකා ග්‍රෑම් 500ක් අවශ්‍යයි. ඒ වගේම සීනි ග්‍රෑම් 350ක් සහ දෙහි යුෂ මේස හැඳි 1ක් ඕනෙ කරනවා.

 

දෑන් පෑන් එකකට බ්ලෙන්ඩ්කරගත් වරකා සහ සීනි දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ.

එය ළිප තියලා මඳ ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න. අවසානයට දෙහි යුෂත් එකතු කරගෙන මිශ්‍ර කරගන්න.

අවසානයේ නිවුණු ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තබන්න.

------------------------------

අන්නාසි ජෑම්

අන්නාසි ජෑම්වලට ආස කරන අයටයි මේ ජෑම් එක. හදන්නත් පහසුයි. හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

 

මේ සඳහා මැද නාරටිය ඉවත්කර කපාගත් අන්නාසි කෝප්ප 3ක්, සීනි කෝප්ප 2ක්,

කරාබු නැටි ස්වල්පයක් සහ දෙහි බෑයක යුෂ අවශ්‍යයි.

පළමුව අන්නාසි ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ පල්ප් එක  පෑන් එකකට දාලා සීනි ටිකත් දාගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න.

සීනි ටික දිය වේගෙන එනකොට මිශ්‍රණය තරමක දියාරු ගතියක් එනවා. එතකොට ගින්දර වැඩි කරගෙන මිශ්‍රණය උතුරනකම් හැඳිගාන්න.

නැවත ගින්දර අඩු කරගෙන මිශ්‍රණය උකු වේගෙන එනකොට දෙහි යුෂ සහ කරාබු නැටි කුඩු එකතු කරගන්න. 

හොඳින් උකු වුණ මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාලා ශීතකරණයේ තියාගන්න.

-------------------------

ඇඹරැල්ලා ජෑම්

ඇඹරැල්ලාවලින් අපේ අය නොහදන කෑමක් නෑනේ. වෑංජනය, චට්නි, ඇඹරැල්ලා බීම, අච්චාරු මේ කොයි දේත් හදනවා. හැබැයි ඉතිං මේ කොයි විදිහට හැදුවත් ඇඹරැල්ලා ජෑම් නම් තවමත් හදලා නැතුව ඇති. එහෙනම් මේ විදිහට ඇඹරැල්ලා ජෑම් එකත් හදලා බලමු.

 

මේ සඳහා ඇඹරැල්ලා ග්‍රෑම් 500ක්, සීනි ග්‍රෑම් 350ක්, වතුර කෝප්ප 2-3ක් සහ දෙහි යුෂ මේස හැඳි 1ක් ඕනෙ කරනවා.

පළමුව ඇඹරැල්ලා පොතු ඇරලා ග්‍රේට් කරගන්න. ඉන්පසු පෑන් එකකට දාලා ඒකට වතුර ටිකක් දාලා විනාඩි 15 -20ක් තම්බා ගන්න.

හොඳින් තම්බාගත් ඇඹරැල්ලා පොඩි කරලා පෙරා කෙඳි ඉවත් කරගන්න.

පෑන් එකකට සීනි මේස හැඳි 5 ක් පමණ දාලා කැරමල් කරගන්න.

කැරමල් කරගත් සීනි එකට වතුර ටිකක් එකතු කරලා දියවෙනතුරු හැඳි ගාන්න.

ඒකටම ඉතිරි සීනි ටිකත් දාන්න.

 

සීනි දියවෙනකොට පොඩි කරලා පෙරා ගත් ඇඹරැල්ලා ටික දමා ගන්න. මිශ්‍රණය උකු වෙනතෙක් හැඳි ගාන්න. ළිපෙන් බා හොඳින් නිවෙන්නට හැර විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.