ප්‍රතිශක්තිකරණය වැඩි කරන පලතුරු පාන

ජූලි 3, 2023

ආහාරයක හෝ පානයක රසට වඩා  වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන නිතරම කතා කළත් පාන වර්ග ගැන නම් කතා බහ කරනවා අඩුයි. ඒ නිසාම අපි හිතුවා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ඔබට කියලා දෙන්න.

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා

 

පිපිඤ්ඤා ලෙමනේඩ්

 

උණුකර නිවාගත් වතුර

චොප්කර ගත් පිපිඤ්ඤා ගෙඩි දෙකක්

ලෙමන් ගෙඩි දෙකක යුෂ

මී පැණි තේ හැඳි 4ක්

ග්‍රීන් ටී

අවශ්‍ය නම් අයිස් කැට

 

 

පළමුව චොප් කළ පිපිඤ්ඤාවලට වතුර එකතු කරන්න. ඉන්පසු ලෙමන් යුෂවලට මී පැණි සහ ග්‍රීන් ටී ස්වප්ලයක් එක්කර වෙනම මිශ්‍රණයක් සකසා ගන්න. දැන් පිපිඤ්ඤා වතුර සහ එම මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඔබට සෙම් අමාරු නැතිනම් පමණක් අයිස් කැට එකතුකර පානය කරන්න.

 

-------------------------------

 

පොල් වතුර සහ දොඩම් ස්මූති

 

 

 

පොල්වතුර හෝ තැඹිලි වතුර මිලි ලීටර් 100ක්

දොඩම් ගෙඩියක යුෂ

යෝගට් එකක්

කුඩාවට කපා ගත් රතු බෙල් පෙපර් කරලක්

ඉඟුරු ඉස්ම

ආමන්ඩ්

ලුණු ස්වල්පයක්

 

පොල් වතුර, දොඩම්, යෝගට්, බෙල් පෙපර්, ඉඟුරු, ආමන්ඩ් සහ ලුණු එකතුකර මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු මෙය හොඳින් පෙරා පානය කරන්න.

මෙය විටමින් වර්ග ගණනාවක් අඩංගු පානයක් නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නට බටහිර රටවල මේ දිනවල බහුලව පානය කරන පානයකි.

මීට අමතරව ඔබ දිනකට වතාවක් නෙල්ලි යුෂ, මී පැණි දැමූ දොඩම් යුෂ ආදිය පානය කිරීමත් සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න හේතුවකි.

-------------------------

දෙළුම් පානයක්

 

දෙළුම්

දෙහි යුෂ කෝප්පයක්

මී පැණි තේ හැන්දක්

ඉඟුරු ඉස්ම තේ හැන්දක්

මින්ට් කොළ

 

 

පළමුව දෙළුම් ටික යුෂ වන තෙක් බ්ලෙන්ඩ් කරගන්න.

එයට දෙහි හෝ දොඩම් යුෂ, ඉඟුරු ඉස්ම සහ මී පැණි එකතු කරන්න.

මින්ට් කොළ උඩින් ඉස ගන්න. අවශ්‍ය නම් අයිස් කැට එකතු කරන්න.