දූලා දෙන්නගේ උපන්දිනය එකටම සමරමු

ජූලි 10, 2023

ආදරණීය පුංචි දියණියන්ගේ, පුතාලගේ උපන්දින එකටම යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට දවස් කිහිපයක් එහාමෙහා වුණත් උපන්දිනය එකටම සමරන්න තමයි අම්මලා උනන්දු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දෙන්නටම එකතුවෙලා කපන්න පුළුවන් විදිහට කේක් එකක් හදන්නත් අම්මලා කැමතියි.

බලන්න වයස අවුරුද්දක සහ අවුරුදු තුනක අක්කා නගෝ වෙනුවෙන් සූදානම් කළ මේ හැඩකාර කේක් එක. මෙයින් අදහසක් අරන් ඔයාටත් දරුවන්ගේ උපන්දිනවලට අපූරු කේක් එකක් හදන්න පුළුවනි.

* ග්‍රෑම් 500 ප්‍රමාණයේ රවුම් හැඩයේ තැටියක

සාදාගත් රිබන් කේක් කිලෝ එකක්. (ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් දෙකක්)

* ග්‍රෑම් 500 ප්‍රමාණයේ රවුම් හැඩයේ තැටියක සාදාගත් රිබන් කේක් කිලෝ එකහමාරක්. (ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් තුනක්)

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං

* රෝයල් අයිසිං

* අවශ්‍ය වර්ණක කිහිපයක්

* අඟල් 16 ඝනකම සහිත කේක් බෝර්ඩ් එකක්

* පළමුව ග්‍රෑම් 500 තැටියේ සාදාගත් කේක් දෙක (කේක් කිලෝ එක) ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරන්න.

ඉන්පසුව කේක් එක වටේටත් අයිසිං ක‍රගන්න.

අනතුරුව ෆොන්ඩන්ට් අයිසිං එක හොඳින් තුනීකර එය කේක් එකට පරෙස්සමට එළා කේක් එක කවර් කරගන්න.

* දැන් වෙනම කේක් බෝර්ඩ් එකක් ගෙන බේක් කරගත් කිලෝ එකහමාරක කේක් තුන එක මත එක තබමින් සැන්ඩ්විච් කරගන්න.

ඒ කේක් එක වටා ද අයිසිංවලින් ආවරණය කරන්න.

අනතුරුව ෆොන්ඩන්ට් අයිසිං හොඳින් තුනීකර කේක් එකට එළා මේ කේක් එක ද ආවරණය කරගන්න.

* දැන් වෙන වෙනම ආවරණය කරගත් කේක් දෙක ලොකු ඝනකම් කේක් බෝර්ඩ් එක මත තබා එකිනෙකට ගෑවෙන සේ අලවා ගන්න.

* ඉන්පසුව රෝස පාට ෆොන්ඩන්ට් ගුලියක් රෝල්කර කේක් එක වටා බෝර්ඩර් එකක් ආකාරයට අලවා ගන්න.

* පයිපිං බෑග් එකකට රෝයල් අයිසිං දමා චොක්ලට් ඩ්‍රිප් එක දමන ආකාරයටම කේක් දෙකේම ඩිසයින් කරගන්න.

* අනතුරුව සුදු පාට ෆොන්ඩන්ට්වලින් මේ පින්තූරයේ දැක්වෙන ආකාරයට සකසාගත් හාවෝ දෙන්නව වෙන වෙනම සාදා අලවා ගන්න.

* අවශ්‍ය වර්ණයන්ගෙන් ෆොන්ඩන්ට් බෝල සාදා රටාවකට ඒවා අලවා ගන්න.

* පසුව දේදුන්නට අවශ්‍ය වර්ණ සාදාගෙන දේදුන්නක් හැඩයට කපා ගත් කාඩ්බෝර්ඩ් එකක් උඩ පිළිවෙලින් ෆොන්ඩන්ට් රෝල්කර හැඩකාර දේදුන්නක් සාදා ගන්න.

මෙය සාදනවිට දේදුන්නේ එක පැත්තක් උසට ගන්න.(උසට ගන්න පැත්ත සෙට් කරන්නේ පොඩි කේක් එකට)

මේ හැඩති දේදුන්න කේක් එක මත සවිකරගන්නට ඔබට කම්බි හෝ කෙබාබ් ස්ටික් යොදාගත හැකියි.

* ඉන්පසුව කහ පාට බටර් අයිසිං ටිකක් පයිපිං බෑග් එකකට දමා නොම්මර 01 නොසල් එකෙන් රටාවට කිසස් ඩිසයින් එක ආකාරයට අයිසිං කර ගන්න.

* අවසානයේ අවශ්‍ය නම සහ වයස කටර්වලින් කපා ඒවා කැමති හැඩයට අලවා ගන්න පුළුවන්.

* මෙම නිර්මාණ කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇත.

වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍රකර ගැනීමෙන් මේ එඩිබල් ගම් එක සාදාගත හැකියි.

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක