රස කිහිපයකට කුකුළු මස් හදමු

ජූලි 31, 2023

දවස ගානේ කෑවත් එපා නොවෙනා කුකුළු මස් කියන්නෙ වැඩි දෙනෙක් තමන්ගෙ ආහාර වේලට එකතු කරගන්නා ආහාරයකි. ඉතින් ඒ කුකුළු මස් අද අපි රස කිහිපයකටම හදලා බලමු.

තෙම්පරාදුව

 

*කුකුළු මස් ග්‍රෑම් 450ක්

*කහ කුඩු තේ හැඳි 1/8ක්

*ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්

*විනාකිරි තේ හැඳි 1/2ක්

*ලූනු ගෙඩි 03ක්

*අමුමිරිස් කරල් 02ක්

*සුදුලූනු බික් 02ක්

*සුදුරු තේ හැඳි 01ක්

*එනසාල් ඇට 03ක්

*කරාබු නැටි 03ක්

*කෑලි මිරිස් තේ හැඳි 1 1/2ක්

*කහ තේ හැඳි 1/4ක්

*ලූණු අවශ්‍ය පමණ

*රම්පෙ / කරපිංචා

*වතුර මේස හැඳි 03ක්

 

 

*පළමුව කුකුළු මස් හොඳින් සෝදා තරමක පොඩි කැබැලිවලට කපා භාජනයකට දමාගන්න.

*එයට කහ, ලුණු, ගම්මිරිස්, විනාකිරි, වතුර, රම්පෙ දමා කලවම් කර මඳගින්නේ තම්බා ගන්න.

*සූදුරු,එනසාල්, කරාබු නැටි භාජනයකට දමා මඳගින්නේ කබලේ රන්වන් පාට වනතෙක් බැද හොඳින් කුඩු කරගන්න.

*භාජනයක් ළිපේ තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වන විට කරපිංචා, රම්පෙ, තළාගත් සුදුලූනු, කපාගත් ලූනු දමා කලවම්කර මඳක් මැලවුණු පසු එයටම තම්බා ගත් කුකුළු මස් ද දමා හොඳින් මිශ්‍රකර පියනකින් වසාගන්න.

*විනාඩි 2 - 3කට පසු පියන ඇර එයට කෑලි මිරිස්, ගම්මිරිස්, කහ, විනාකිරි, කුකුළු මස් තැම්මූ වතුර ස්වල්පයක් ද එක්කර මිශ්‍ර කරන්න. රස අනුව ලුණු ද එක් කරන්න.

*එම මිශ්‍රණයට කුඩුකරගත් සූදුරු, කරාබු නැටි, එනසාල් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

*දැන් තෙම්පරාදු කරගත් කුකුළු මස් ළිපෙන් බා දීසියකට දමා පිළිගන්වන්න.

 

------------------------

ඩෙවල්

කුකුළු මස් ග්‍රෑම් 350ක්

මාළු මිරිස් කරල් 03ක්

ලූනු ගෙඩි 01ක්

අමු මිරිස් කරල් 02ක්

සුදු ලූනු බික් 02ක්

කෑලි මිරිස් මේස හැඳි 02ක්

ඉඟුරු කැබැල්ලක්

දෙහි බෑයක යුෂ

සෝයා සෝස් මේස හැඳි 02ක්

තක්්කාලි සෝස් මේස හැඳි 1 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 01ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්

ලුණු තේ හැඳි 01ක් (රස අනුව)

පොල්තෙල්

 

*පළමුව කුකුළු මස් හොඳින් සෝදා කැමැති ප්‍රමාණයේ කැබලිවලට කපාගන්න.

*කපාගත් කුකුළු මස්වලට මිරිස්, කහකුඩු,

ගම්මිරිස්, ලුණු, දෙහි යුෂ දමා හොඳින් කලවම් කරන්න.

*එම මිශ්‍රණය පියනකින් වසා පැය බාගයක් පමණ සීසන් වෙන්නට තබාගන්න.

*ඒ අතරතුරේ ලූනු ගෙඩිය කොටු හැඩයට ද මාළු මිරිස් හරස් අතට ද තක්කාලි කොටු ආකාරයට ද කපා ගන්න.

*භාජනයක් ළිපේ තබා එයට අවශ්‍ය පමණ තෙල් දමා සීසන් වීමට තැබූ කුකුළු මස් ටික රන්වන් පාට වනතෙක් බැදගන්න.

*වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දමා තළාගත් ඉඟුරු, සුදුලූනු දමා කලවම්කර එයටම කෑලි මිරිස්, සෝයා සෝස්, තක්කාලි සෝස් දමා කලවම් කරන්න.

*එයටම කපාගත් ලූනු, මාළු මිරිස්, තක්කාලි සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න.

*ඉන්පසු එම මිශ්‍රණයට බැදගත් කුකුළු මස් ද එකතුකර ළිප නිවා බඳුනකට දමා පිළිගන්වන්න.

 

-----------------------------

ස්ටු

*කුකුළු මස් ග්‍රෑම් 500ක්

*බී ලූනු ගෙඩි 03ක්

*අමු මිරිස් කරල් කිහිපයක්

*සුදුලූනු බික් 05ක්

*අබ තේ හැඳි 01ක්

*විනාකිරි මේස හැඳි 02ක්

*සියඹලා බික් 04ක්

*ගම්මිරිස් රස අනුව

*කරදමුංගු කරල් 02ක්

*කුරුඳු පොතු කැබැල්ලක්

*කරපිංචා ඉත්තක්

*ඉඟුරු කැබැල්ලක්

*රම්පෙ කුඩා කැබැල්ලක්

*පොල් තෙල්

*වතුර කෝප්ප 1/2ක්

 

 

*මුලින්ම කුකුළු මස් සෝදා කැබලිවලට

කපාගන්න. එයට කහ, ලුණු, ගම්මිරිස්, සියඹලා දියකර ගත් වතුර දමා හොඳින් වසා විනාඩි 15ක් පමණ තම්බා ගන්න.

*භාජනයක් ළිපේ තබා තෙල් ස්වල්පයක් දමා එයට කපාගත් ලූනු, සුදුලූනු, ඉඟුරු, කරපිංචා, කරදමුංගු, කුරුඳු පොතු, රම්පෙ ආදිය එකතු කරන්න. මඳක් මැල වූ පසු අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරන්න.

*මිශ්‍රණය මැලවුණු විට එයට තම්බා ගත් කුකුළු මස් ටික දමා විනාකිරෙන් අඹරා ගත් අබ මිශ්‍රණය ද, කුකුළු මස් තම්බා ගත් වතුර ස්වල්පයක් ද එකතුකර මිශ්‍ර කරන්න.

*එම මිශ්‍රණය විනාඩි 5ක් පමණ මඳ ගින්නේ තබා ළිප නිවා දීසියකට දමා කෑමට ගන්න.