උපන් දිනය හැඩ කරන්න 'The Wheels On The Bus'

ජූලි 31, 2023

 

'The Wheels on the bus

go round and round...'

බහ තෝරන වයසේ පසුවන පුංචි පැටවුන් නිරන්තරයෙන් රසවිඳින, ගායනා කරන අපූරු කවියකි මේ. ඉතින් ආදරණීය පොඩිත්තාගේ උපන්දින කේක් නිර්මාණය ලෙස මේ කවියේ සඳහන්වන අලංකාර බස් එක තිළිණ කළහොත් එය ඔහුට පුදුමාකාර සතුටක් වේවි. විශේෂයෙන්ම ලොකු කුඩා වාහනවලට දැඩි ලෙස රුචිකත්වයක් දක්වන පුංචි පුතුගේ දෙවැනි උපන්දිනයටයි මෙය නිර්මාණය කරගෙන ඇත්තේ.

 

1. ග්‍රෑම් 500 ප්‍රමාණයේ රවුම් කේක් තැටියේ බේක් කරගත් රිබන් කේක් 4ක්. (කේක් කිලෝ ග්‍රෑම් 02ක්)

2. කේක් එක සැන්ඩ්විච් කිරීමට හා එහි වටේ ආවරණයට (Crumb Coat) කරගැනීමට අවශ්‍ය ප්‍රමාණයට බටර් අයිසිං.

3. ෆොන්ඩන්ට් අයිසිං

4. අඟල් 3×3 × 5.5 ප්‍රමාණයේ රිජිෆෝම් කොටසක්

5. එඩිබල් ග්ලූ (Edible glue) (වෙ‍ළෙඳපොළෙන් මිලදී ගත හැකියි)

*බේක් කරගත් කේක් සියල්ල හොඳින් නිවෙන්නට හැර, අයිසිං කිරීමට සුදුසු පරිදි අනවශ්‍ය කොටස් කපා ඉවත්කර සුදානම් කරගන්න.

*ඉන්පසුව ට(ර්)නින් ටේබල් එක මත කේක් බෝඩ් එක තබා එහි බටර් අයිසිං ස්වල්පයක් තවරා කළින් සුදානම් කරගත් කේක් හතරෙන් එකක් තබා ගන්න. ඒ මත බටර් අයිසිං තුනී ස්ථරයක් තවරා කේක් එකක් තබන්න. එහි මතුපිට නැවතත් අයිසිං තුනීවට තවරා තවත් එකක් ආදී වශයෙන් කේක් තුනම සැන්ඩ්විච් කරන්න.

*සැන්ඩ්විච් කරගත් කේක් එක වටේට බටර් අයිසිං වලින් ආවරණය කරගන්න.

*ඉන්පසු කේක් නිර්මාණයට අවශ්‍ය පරිදි ෆොන්ඩන්ට් වර්ණ ගන්නවා ගන්න.

*පළමුව බටර් අයිසිංවලින් ආවරණය කරගත් කේක් එක මත තුනී කරගත් නිල් පැහැති ෆොන්ඩන්ට් එළා ආවරණය කරගන්න.

*ඉන්පසු ෆොන්ඩන්ට්වලින් ආවරණ කරගත් කේක් එකේ පහළ කොටසේ පළමුව තද කොළ වර්ණය හා ඒ මත ළා කොළ වර්ණය සිටින සේ ෆොන්ඩන්ට්වලින් හැඩ පටි අලවමින් අවශ්‍ය පරිදි අලංකාර කරගන්න.

*ෆොන්ඩන්ට්වලින් වලාකුළු හා අවශ්‍ය ඉලක්කම කපා කේක් එකට අලවා ගන්න. (අංක 01 සඳහන් රූප)

*ඉන්පසු අඟල් 3×3 × 5.5 ප්‍රමාණයේ රිජිෆෝම් කොටස බසයට සුදුසු පරිදි සකස් කරගන්න. රෝද සවි කරන ස්ථානය ද අවශ්‍ය පරිදි කපා ඉවත් කරන්න.

*පෙර සකස් කරගත් බසය හැඩයේ රිජිෆෝම් කොටස කහ පැහැති ෆොන්ඩන්ට්වලින් ආවරණයකර එහි අනෙකුත් කොටස් වෙන වෙනම සාදා එයට අලවා ගන්න. (02 රූපය)

*බසයේ රෝද සඳහා සුදුසු සිලිකන් මෝල්ඩ් එකක් භාවිතකර ෆොන්ඩන්ට්වලින් රෝද සකසා නිවැරැදි ස්ථානයේ සවි කරන්න. . (03 රූපය)

*ඉන්පසු බසය උඩ සිටින සිඟිත්තා නිර්මාණය කරගැනීමට අවශ්‍ය කොටස් අදාළ වර්ණවලින් සාදා එකට සවි කරගන්න. (04 රූපය)

*කළින් සාදාගත් බසය හා සිඟිත්තාව කේක් එකේ ඉදිරිපසට ලස්සනට පෙනෙන අයුරින් සවි කරන්න.(05 රූපය)

*කේක් එකට අවශ්‍ය ඔබේ පොඩිත්තන්ගේ නම සකස් කරගැනීමට, තරමක් ඝනකමට තුනී කරගත් වර්ණ කිහිපයකින් අවශ්‍ය අකුරු කපා හොඳින් වියළා ගන්න. වියළුණු පසු අවශ්‍ය පරිදි කේක් බෝඩ් එක මත රඳවා ගන්න. (06 රූපය)

*කේක් නිර්මාණකරණයේ දී කේක් එකට ගැළපෙන අයුරින් කේක් බෝඩ් එක සකස් කරගැනීම ඉතා වැදගත් මෙන්ම එමඟින් කේක් එකේ පෙනුම වඩාත් තීව්‍ර කරයි. මෙම කේක් එකට ගැළපෙන අයුරින් කේක් බෝඩ් එක මත තුනී කරගත් කොළ පැහැති ෆොන්ඩට් කොටස් හා කේක් බෝඩ් එක වටේට රතු පැහැති රිබන් පටියක් යොදා නිර්මාණය අලංකාර ලෙස අවසන්කර ඇත.

*කේක් එක හැඩවැඩ කරගැනීම සඳහා අලවන සියලුම ෆොන්ඩන්ට් කොටස් අලවා ගැනීමට එඩිබල් ගම් පමණක් භාවිත කරන්න.

මේ එඩිබල් ගම් වෙළෙඳපොළෙන් මිල දී ගත හැකියි. නැතිනම් වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍රකර නිවෙසේදීම එඩිබල් ගම් සාදාගන්න.

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නිසංසලා වීරක්කොඩි