චොකලට් චිප් කේක්

Chocolate chip cake
අගෝස්තු 21, 2023

විඩාබර දවසක අවසානයේ රසම රස කේක් කෑල්ලක් එක්ක උණුසුම් තේ කෝප්පයක් තියෙනවා නම් දවසේ විඩාව සැණෙකින් දුරු වෙනාව නේද? වැහිබර දවසක් නම් උණු කෝපි කෝප්පයක්, කිරි කෝපි බඳුනක් එහෙමත් නැතිනම් ඉඟුරු දාපු ප්ලේන්ටියක් තමයි හොඳටම ගැළපෙන්නේ.

ඉතින් ඒ විදිහට සවස තේ වෙලාවට කන්න බටර් කේක්, චොකලට් කේක්, රට ඉඳි කේක්, පොල් කේක් මේ ඕනෙම කේක් වර්ගයක් ඔබට නිවෙසේදීම සකසා ගත හැකියි. ඒ විතරක් නෙමෙයි මේ විදිහට චොකලට් චිප් කේක් එකකුත් හදන්න පුළුවනි.

 

* බටර් ග්‍රෑම් 125

* අයිසිං සීනි ග්‍රෑම්25ක් සහ ග්‍රෑම් 90ක්

* බිත්තර කහමද 3ක්

* බිත්තර සුදුමද 3ක්

* පාන් පිටි ග්‍රෑම් 63ක්

* තිරිඟු පිටි ග්‍රෑම් 30ක්

* බේකිං පවුඩර් තේ හැඳි 4/3ක්

* ඩාක් චොකලට් ග්‍රෑම් 125ක්

 

 

● පළමුව අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලින් මැන ගන්න.

● 8 ප්‍රමාණයේ රවුම් කේක් තැටියක් ගෙන එහි පතුලට බේකිං පේපර්වලින් කපා ගත් රවුමක් දමා තැටිය ඇතුල් පැත්ත වටේට බටර් ස්වල්පයක් ගාන්න.

● ඉන්පසු ඩාක් චොකලට් ටික සිහින්ව ගාගෙන ශීතකරණයේ තබන්න.

● පාන් පිටි සමඟ බේකිං පවුඩර්, තිරිඟු පිිටි තුන් සැරයක් පෙනේරයකින් හලාගන්න.

● දැන් හොඳින් වියළි භාජනයකට බිත්තර සුදුමද හා අයිසිං සීනි ග්‍රෑම් 90 දමා බීට් කරන්න. භාජනය අනෙක් පැත්ත හැර වූ විට නොවැටී සිටින තරමට මෙය හොඳින් බීට් විය යුතුයි.

● ඉන්පසු වෙනම භාජනයක් ගෙන බටර් සහ ඉතිරි අයිසිං සීනි ග්‍රෑම් 25ක් දමා බීට් කරන්න. එය ද හොඳින් බීට් වූ පසු බිත්තර කහමද එකින් එක එකතු කරමින් බීට් කරන්න.

● බිත්තර කහමද සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු හලාගත් පිටි මිශ්‍රණය එකතුකර මඳ වේගයෙන් බීට් කරන්න.

● ඉන්පසු කලින් බීට් කරගත් බිත්තර සුදුමද මිශ්‍රණය දමා මඳ වේලාවක් ඉක්මනින් අඩු ස්පීඩ් එකේ බීට් කරන්න.

● අවසානයට ශීතකරණයේ තැබූ ග්‍රේට් කරගත් චොකලට් දමා ස්පැචුලාවකින් කලවම්කර කලින් සූදානම් කරගත් තැටියට දමා ගන්න.

● දැන් කලින් රත් කරගත් අවන් එකක සෙල්සියස් අංශක 170°උෂ්ණත්වයෙන් විනාඩි 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට බේක් වීමට යන කාලය සුළු වශයෙන් වෙනස් විය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.)

● බේක්කර නිවාගත් කේක් එක මෘදු චොකලට් ෆොරස්ට් එකක් සමඟ සැදෑ තේ සාදයකට හරිම අපූරුයි.

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නිසංසලා වීරක්කොඩි