පුතාගේ උපන්දිනයට බාස්කට් බෝල් කේක් එකක්

අගෝස්තු 28, 2023

බාස්කට් බෝල් ක්‍රීඩාවේ නියැළෙන එහෙමත් නැතිනම් එම ක්‍රීඩාවට දැඩි රුචිකත්වයක් දක්වන පුංචි පුතු වෙනුවෙන් නිමවූ උපන්දින තිළිණයකි මේ. රසට, ගුණට වාගේම ඉතාමත් සිත් ඇදගන්නා ආකාරයටම ඔබේ අතින්ම නිර්මාණය කරගන්න නිසා පුංචි පුතු ලබනා හොඳම උපන්දින තිළිණය එය වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

*අඟල් 08 ප්‍රමාණයේ රවුම් කේක් තැටියේ බේක් කරගත් රිබන් හෝ චොකලට් කේක් එකක් (ග්‍රෑම් 500)

*කේක් එක සැන්ඩ්විච් කිරීමට හා එහි වටේ ආවරණයට (Crumb Coat) කරගැනීමට අවශ්‍ය තරම් බටර් අයිසිං

*ෆොන්ඩට් අයිසිං

*කුඩා රිජිෆෝම් බෝලයක්

*එඩිබල් ග්ලු (Edible glue)

*අඟල් 10ක රවුම් කේක් බෝඩ් එකක්

 

සකස් කරගන්නා ආකාරය

*පළමුව බේක් කරගත් කේක් එක හොඳින් නිවෙන්න හැර, අයිසිං කිරීමට සුදුසු පරිදි අනවශ්‍ය කොටස් ඉවත්කර සුදානම් කරගන්න.

*ඉන්පසු ටර්නින් ටේබල් එක මත කේක් එක තබා කේක් එකේ මැද සැන්ඩ්විච්කර කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

*ඉන්පසු කේක් නිර්මාණයට අවශ්‍ය පරිදි ෆොන්ඩන්ට් වර්ණ ගන්නවා ගන්න.

*පළමුව කේක් එක තබන බෝඩ් එක සාදා වියළා ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා දුඹුරු වර්ණයෙන් ආවරණය කොට ලී ස්වභාවය ඉස්මතු කිරීමට මෝල්ඩ් එකක් භාවිතා කළ හැකි අතර කුඩා පිහියකින් රේඛා ලකුණු කිරීම සිදු කළ හැක. පසුව ළා දුඹුරු, තද දුඹුරු වර්ණ බ්‍රෂ් එකක් ආධාරයෙන් පාටකර හොඳින් වියළා ගන්න.

*ඉන්පසු ආවරණය කරගත් කේක් එකේ උඩ කොටසට කේක් බෝඩ් එක මෙන් ලී ස්වභාවයෙන් යුතු ෆොන්ඩන්ට් රවුමක් කපා කේක් එක උඩ ආවරණය කරගන්න.

*කේක් එක වටේට ක්‍රීම් පැහැයෙන් යුතු ෆොන්ඩන්ට් පටියක් කපා වටේ ආවරණය කරන්න.

*ඉන්පසු කලින් සාදා වියලාගත් කේක් බෝඩ් එක මත ආවරණය කරගත් කේක් එක නියමිත ස්ථානයේ තබන්න.

*දැන් කුඩා රිජිෆෝම් බෝලය තැඹිලි වර්ණයෙන් ෆොන්ඩන්ට්වලින් ආවරණය කරන්න. පසුව කළු රේඛා තිබෙන ස්ථානය කුඩා පිහියකින් සලකුණුකර ඒ දිගේ සෙන්ටිමීටර් 02ක කුඩා පටියක් ඉවත් කර ඒ වෙනුවට කළු පැහැති ෆොන්ඩන්ට්වලින් සැකසූ පටියක් අලවා ගන්න.

*මෙලෙස සාදාගත් පැසිපන්දුව පින්තුරයේ පරිදි කේක් එක මත අලවා ගන්න.

*දැන් ටී ෂර්ට් එක සාදා ගැනීමට රතු වර්ණයේ ෆොන්ඩන්ට්වලින් ටී ෂර්ට් එකේ හැඩයට කොටසක් කපා, පින්තුරයේ පරිදි සුදු පැහැති පටි අලවා කේක් එක මත අලවා ගන්න.

*ඉන්පසුව දරුවාගේ නම සහ ඉලක්කම කළු පැහැ ෆොන්ඩන්ට්වලින් කටර් ආධාරයෙන් කපා නැවත එය සුදු ෆොන්ඩන්ට් මත අලවා සුදු පැහැය සෙන්ටිමීටර් 02ක් පෙනෙන අයුරින් කුඩා පිහියකින් කපා ගන්න.

*බෝඩ් එක මත Happy Brithday සුදු පැහැති ෆොන්ඩන්ට්වලින් අකුරු කපා අලවා කේක් නිර්මාණයේ සැරසිලි ටික අවසන් කරන්න.

 

උපදෙස් 
කේක් නිර්මාණ ශිල්පිනී
නිසංසලා වීරක්කොඩි