කොහිල අල සීනි සම්බෝලය

සැප්තැම්බර් 11, 2023

අද අපි ඔබට ගෙන එන්නේ ගමේ රසට සාදාගත හැකි බැදුම් වර්ග කිහිපයකි. මේවා ගමේ පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි ඒවාය. වැඩි කාලවේලාවක් නොයවා කල් තබා ගත හැකි පරිදි සාදා ගන්න පුළුවනි. ඔබ රැකියාවක් කරන යුවතියක් නම් සති අන්තයේ මේ සියල්ල සාදා තබා ගන්න. ඒ වගේම විදෙස් ගතව සිටින හිතවතුන්ට නෑදෑයන්ට යවන්නත් කදිමයි. මෙවර අප ඔබට ලබාදෙන මෙම ආහාර දැන් තරුණී රධභබභඡඥ නාළිකාව ඔස්සේ ද බලා ගත හැකි වීම විශේෂත්වයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල අල කිලෝග්‍රෑම් 1ක් (සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගත්)

රටලූනු ග්‍රෑම් 250ක් (සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගත්)

උම්බලකඩ ග්‍රෑම් 100ක්

කෑලි මිරිස් ග්‍රෑම් 25ක්

සෝයා සෝස් මේස හැඳි 2ක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

රස අනුව ලුණු

 

භාජනයක් ගෙන ළිපේ තබා එයට උම්බලකඩ දමා ටිකක් රත්කර ගන්න. ඉන්පසුව එයට රම්පෙ, කරපිංචා, එනසාල්, කරාඹු නැටි දමා කලවම් කරගන්න. දැන් එයටම කෑලි මිරිස් එකතුකර කලවම් කරගන්න. රස අනුව ලුණු එකතුකර ගන්න. සීනි සහ තක්කාලි සෝස් , සෝයා සෝස් එකතුකර හොඳින් කලවම්කර ගන්න. එයට බැදගත් කොහිල සහ රස අනුව ලුණු කුඩු එකතුකර හොඳින් කලවම්කර කෑමට ගන්න.

----------------------------

අළු කෙසෙල් බැදුම

 

අළු කෙසෙල් ග්‍රෑම් 500ක්

මිටිකිරි කෝප්ප 1ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

අමු තුනපහ තේ හැඳි 1/4ක්

මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

කළු කුඩු තේ හැඳි 1/4ක්

රස අනුව ලුණු කුඩු ස්වල්පයක්

රම්පේ, කරපිංචා මිටක්

අමු මිරිස් කරල් 2/3ක්

රතුලූනු ගෙඩි 4/5ක්

සුදුලූනූ බික් 6ක්

 

මේවා සිහින්ව කපා ගැඹුරු තෙලේ බැඳගන්න. භාජනයක් ගෙන එයට මිටිකිරි ටික එකතු කරන්න. ඉන්පසු එයට ලුණු හැර තුනපහ ටික දමන්න. මෙය හොඳින් කලවම්කර ළිපේ තබා උතුරා ගන්න. කිරි ටික උතුරන විට එයට බැදගත් අළු කෙසෙල් සහ රතලූනු, සුදුලූනූ, අමු මිරිස්, රම්පෙ කරපිංචා එකතුකරන්න. දැන් රස අනුව ලුණු දමා හොඳින් මිශ්‍රකර ළිප නිවා ගන්න.

---------------------

බණ්ඩක්කා බැදුම

 

කෑලි කපා ගත් බණ්ඩක්කා ග්‍රෑම් 250 යි (ගැඹුරු තෙලේ යාන්තමට බැඳගත් )

මිටි කිරි කෝප්ප 1/2යි

කහකුඩු තේ හැඳි 1/4යි

අමු මිරිස් තේ හැඳි 1/4යි

මිරිස් කුඩු තේ හැඳි 1/4යි

කළු කුඩු තේ හැඳි 1/4යි (බැදගත් තුනපහ කුඩු)

රස අනුව ලුණු

රම්පෙ, කරපිංචා

( රතුලූනූ, සුදුලූනූ සහ අමු මිරිස් ගැඹුරු තෙලේ බැදගත්)

 

භාජනයක් ගෙන එයට මිටිකිරි ටික දමා ලුණු හැර ඉතුරු තුනපහ දමා උතුරවා ගන්න. ඉන්පසු එයට බැදගත් රම්පෙ, කරපිංචා, රතුලූනූ, සුදුලූනූ, අමු මිරිස් එකතුකර ලුණු ද දමා ගන්න. දැන් මෙයට බැදගත් බණ්ඩක්කා දමා උතුරන විට ළිප නිවා කෑමට ගන්න.

 

ඡායාරූප - චතුර ගීතනාත් බණ්ඩාර