ග්‍රීන්පීස්වලින් රසම රස ආහාර

සැප්තැම්බර් 18, 2023

හැමෝටම වගේ ආර්ථික වශයෙන් අපහසු කාලයක් මේක. එදිනෙදා ආහාර වේලෙන් පවා අපිට පිරිමහන්න සිදු වෙලා.

පෝෂණයත්, රසත් එක්ක අඩු වියදමින් හදා ගන්න පුළුවන් ආහාර වට්ටෝරු කිහිපයක්  ඔබ වෙනුවෙන් ගෙන එන්න හිතුවේ ඒ නිසයි. ලංකාවේ බහුලවම වගා නොකෙරුණත් අපිට නිතර කන්න පුළුවන් කෑමක් තමා ග්‍රීන්පීස් කියන්නෙ. තම්බා ෆ්‍රීස් කළ හෝ වියළි ග්‍රීන්පීස් විදිහට වෙළෙඳ පොළෙන් ගන්න පුළුවන්.

ඉතින් ඔන්න අද ගෙනාවා ග්‍රීන්පීස්වලින් හදන කෑම කිහිපයක්. මැග්නීසියම්, පොටෑසියම් හා කැල්සියම් අඩංගු ධාන්‍ය වර්ගයක්වන මේ ග්‍රීන්පීස් ආහාරයට එකතුකර ගැනීම ගොඩක් වටිනවා.

 

ග්‍රීන්පීස් පරාතා

 

ග්‍රීන්පීස් කෝප්ප 1 1/2ක්

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ඉඟුරු කෑල්ලක්

අමුමිරිස් කරල් 2ක්

වතුර මේසහැඳි 2ක්

පාන්පිටි කෝප්ප 2ක්

සූදුරු තේහැඳි 1ක්

ගරම් මසාලා තේහැඳි 1/2ක්

ලුණු ස්වල්පයක්

තෙල් තේහැඳි 2ක්

 

බ්ලෙන්ඩර් එකට ග්‍රීන්පීස්, කොත්තමල්ලි කොළ, ඉඟුරු, අමුමිරිස් හා වතුර දාලා ස්මූත් පේස්ට් එකක් හදාගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි ටික දාලා ඒකට සූදුරු, ගරම් මසාලා, ලුණු හා තෙල් දාලා හොඳට කලවම් කරගන්න. මේකට බ්ලෙන්ඩ් කරගත් ග්‍රීන්පීස් පේස්ට් එකත් දාලා වතුර මේසහැඳි 2ක් වගේ දාලා හොඳට අනලා ස්මූත් ඩෝ එකක් හදාගන්න. දැන් මේකෙන් පොඩි බෝල හදලා තුනීකරලා පෑන් එකට දාලා දෙපැත්තෙම තෙල් ගාලා පුලුස්සා ගන්න.

--------------------------

ක්‍රීමි ග්‍රීන්පීස් සුප්

 

ග්‍රීන්පීස් ග්‍රෑම් 200ක්

තෙල් මේසහැඳි 2ක්

තළාගත් ලූනූ ගෙඩි 1ක්

තළාගත් සුදුලූනූ බික් 4-5ක්

වතුර කෝප්ප 1ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

තළාගත් කොත්තමල්ලි

හා මිංචි කොළ

 

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලූනූ හා සුදුලූනූ ටික දාගන්න. මේ ටික හොඳට තෙම්පරාදු වෙනකොට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. දැන් මේකට වතුර කෝප්පයක් දාලා ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න. කොත්තමල්ලි හා මිංචි කොළ එකතු කරන්න. ග්‍රීන්පීස් හොඳට තැම්බිලා වතුර ටිකක් හිඳෙන්න දෙන්න. දැන් ළිපෙන් වතුර පෙරළා ග්‍රීන්පීස් ටික බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් පේස්ට් එක පිරිසුදු රෙදි කෑල්ලකට දාලා පෙරා ගන්න. ඉන්පසුව මේ පෙරාගත් පේස්ට් එකට උණුවතුර කෝප්පයක් දාලා තළාගත් කොත්තමල්ලි කොළ ටිකත් දාලා නැවත ළිපේ තියන්න. උඩින් ෆ්‍රෙෂ්ක්‍රීම් ටිකක් දාගන්න. සුප් එක උතුරනකොට ළිපෙන් බාගන්න.

-------------------------------

ග්‍රීන්පීස් සැලඩ්

තළාගත් ග්‍රීන්පීස් කෝප්ප 1ක්

තළාගත් ලූනු ගෙඩි 1ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2ක්

ඔලිව්තෙල් මේසහැඳි 2ක්

චීස් මේසහැඳි 1ක්

තළාගත් සුදුලූනු බික් 2ක්

මිංචි කොළ ස්වල්පයක්

ලුණු හා ගම්මිරිස් කුඩු

ලෙමන් යුෂ ස්වල්පයක්

සීනි තේහැඳි 1ක්

 

මුලින්ම සැලඩ් ඩ්‍රෙසින් එක හදමු. බෝල් එකකට දෙහි යුෂ, ඔලිව්තෙල්, ලුණු, ගම්මිරිස් කුඩු, සුදුලූනු, මිංචි කොළ හා සීනි දාලා හොඳට කලවම් කරගන්න. වෙනම බෝල් එකකට ග්‍රීන්පීස්, තක්කාලි, බෙල්පෙපර් හා ලූනු දාලා සාදාගත් ඩ්‍රෙසින් එක දාලා කලවම් කරගන්න. උඩින් චීස් ටිකක් ඉසගන්න.

 

-------------------------------

 

ග්‍රීන්පීස් කරිය

ග්‍රීන්පීස් කෝප්ප 1ක්

කොටුවට කපාගත් කැරට් කෝප්ප 1ක්

අමු කජු කෝප්ප 1/4ක්

ලියාගත් ලූනු ස්වල්පයක්

අමු මිරිස් කරල් 2ක්

මිටිකිරි කෝප්ප 1ක්

දියකිරි කෝප්ප 1ක්

ලුණු ස්වල්පයක්

කහකුඩු තේහැඳි 1/4ක්

තුනපහ කුඩු තේහැඳි 1/2ක්

කරපිංචා ස්වල්පයක්

 

 

ග්‍රීන්පීස් ටික පැය බාගයක් පෙඟෙන්න තියලා ලුණු ටිකක් දාලා හොඳට තම්බාගන්න. ඊළඟට වෙනම භාජනයක් ළිපේ තියලා තම්බාගත් ග්‍රීන්පීස්, කැරට් හා ලූනු ටික දාලා කහ කුඩු, තුනපහ කුඩු, අමු මිරිස් හා කරපිංචා දාලා දියකිරෙන් ළිපේ තියන්න. කැරට් ටික තැම්බුණාම කජු ටික දාගන්න. ඉන්පසු මෙයට මිටිකිරි දාලා රස අනුව ලුණු දමා උතුරවලා ගන්න.

------------------------------

ග්‍රීන්පීස් පැටී

ග්‍රීන්පීස් කෝප්ප 2ක්

තළාගත් ඉඟුරු තේහැඳි 1ක්

තළාගත් සුදුලූනු තේහැඳි 1ක්

තළාගත් අමුමිරිස් කරල් 2ක්

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක්

තළාගත් ලොකු ලූනූ ගෙඩි 1ක්

සූදුරු තේහැඳි 1ක්

තල ඇට තේහැඳි 1ක්

මිරිස්කුඩු තේහැඳි 1ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

කහකුඩු තේහැඳි 1/2ක්

කඩලපිටි මේසහැඳි 2ක්

හාල්පිටි මේසහැඳි 1ක්

බැදීමට තෙල්

 

ග්‍රීන්පීස් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේකට තෙල් හැර අනෙක් සියල්ලම දාලා හොඳට අනාගන්න. වතුර මේසහැඳි 2ක් වගේ දාගන්න. හොඳට අනලා අතේ තෙල් ටිකක් ගාලා ඩෝ එකෙන් ටිකක් අරන් බෝල හදලා පැතලි කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ ටික දාලා බැදගන්න.

 

 

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා