සයිවර් කෑම ගෙදරදීම හදමු

ඔක්තෝබර් 16, 2023

සයිවර් කෑම ගැන කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ. අසල්වැසි ඉන්දියාව. ඉන්දියාවේ වීදි පුරාවට පිරිලා තියෙන සයිවර් කෑම අපි කොතෙක් නම් යූ ටියුබ් එකේ බලනව ද? ඒ හැම වෙලාවකදීම ඒ කෑම වර්ග කන්න තියෙනව නම් කොච්චර හොඳයි ද කියලා අපිට හිතෙනව ද? පසුතැවෙන්න දෙයක් නැහැ. අද අපි අරන් එන්නේ ඒ රසම රස සයිවර් කෑම කොහෙවත් නොගිහින් ගෙදරදිම හදාගන්න ආකාරය. එහෙනම් ඔයත් සූදානම් ද? සයිවර් කෑම මෙන්න ගෙදර ඉඳන්ම හදන්න පුළුවන්. ඉන්දියාවේ සුපර් සයිවර්.

 

උප්පුමා

රුලං කෝප්ප 2ක්

ග්‍රේට් කරගත් කැරට් අල 1ක්

ලියාගත් ලීක්ස් කෝප්ප 1/4ක්

තළාගත් ඉඟුරු සුදුලූනූ තේ හැඳි 1ක්

අබ ස්වල්පයක් 

ලුණු ස්වල්පයක් 

තෙල් ස්වල්පයක් 

 

 

රුලං ටික කබලෙ බැදගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට තළාගත් ඉඟුරු, සුදුලූනූ ටික දාලා බැදගන්න. ටිකකින් කැරට් හා ලීක්ස් දාලා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු දාගන්න. හොඳින් කලවම් කරලා රුලං ටික දාගන්න. වතුර ටික ටික දාලා හැඳි මිටෙන් කූරු ගාන්න. දැන් බෙරි නොවෙන ගාණට වතුර දාලා වහලා විනාඩි 5-7ක් වගේ පිසගන්න.

 

බටර් නාන්

 

පාන්පිටි ග්‍රෑම් 500ක්

බේකිං පවුඩර් තේහැඳි 1ක්

බේකිං සෝඩා තේහැඳි 1ක්

යෝගට්  1ක්

ලුණු ස්වල්පයක් 

බටර් මේස හැඳි 2ක්

මඳ උණුසුම් වතුර ස්වල්පයක්

 

 

පාන්පිටිවලට ලුණු , බේකිං පවුඩර්, බේකිං සෝඩා දාලා කලවම් කරගන්න. මේකට වතුර ටික ටික දාලා ඩෝ එක අනාගන්න. අතේ නොඇලෙන ගාණට අනලා හොඳට කවර් කරලා පැය 3 - 4ක් පිපෙන්න තියන්න.

ඊළඟට තව ටිකක් නීඩ් කරලා පොඩි බෝල හදලා තුනී කරගන්න. තැටියක් ළිපේ තියලා රොටි දාලා පුච්චගන්න.

උණුවෙන්ම බටර් ගාගන්න.

 

අල බොන්ඩා

තම්බාගත් අල කෝප්ප 2ක්

තෙල් ස්වල්පයක් 

අබ තේ හැඳි 1ක්

සූදුරු තේ හැඳි 1ක්

කොත්තමල්ලි තේ හැඳි 1ක්

සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්

කජු මේස හැඳි 1ක්

සිහින්ව කපාගත් ලූනූ ගෙඩි 1ක්

සිහින්ව කපාගත් ඉඟුරු තේ හැඳි 1ක්

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

ගරම් මසාලා තේ හැඳි 1/2ක්

ලුණු ස්වල්පයක් 

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් 

දෙහි බෑයක යුෂ

බැදීමට තෙල් 

 

කඩල පිටි කෝප්ප 1ක්

කෝන්ෆ්ලා කෝප්ප 1/4ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

ලුණු ස්වල්පයක් 

තෙල් මේස හැඳි 1ක්

බේකිං සෝඩා තේ හැඳි 1/4ක්

 

 

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ, සූදුරු හා කොත්තමල්ලි  ටික දාගන්න. කරපිංචා ටිකත් දාලා කලවම් කරගන්න. ඊළඟට මේකට කජු ටික දාගන්න.

ලූනූ ටික දාලා ෆ්‍රයි කරගන්න. ඉඟුරු හා අමුමිරිස් ටික දාලා කලවම් කරගන්න. මේකට කහ කුඩු ,මිරිස් කුඩු,ගරම් මසාලා හා ලුණු දාගන්න.

දැන් පොඩිකර ගත් අල ටික දාලා කලවම් කරගන්න. කොත්තමල්ලි කොළ ටික දාගන්න. ඉන්පසු දෙහි යුෂ ටික දාලා කලවම් කරගන්න. කඩල පිටිවලට කෝන්ෆ්ලා දාලා කහ කුඩු, මිරිස් කුඩු හා ලුණු දාලා වතුර ටිකක් දාලා ටිකක් වැඩිපුර උකු ගතියට බැටර් එකක් හදාගන්න. මේකට තෙල් හා බේකිං සෝඩා දාලා කලවම් කරගන්න. දැන් අල මිශ්‍රණයෙන් ටික ටික අරන් තරමක බෝල හදාගන්න. මේක කඩල පිටි බැටර් එකේ දාලා අඩු ගින්දරේ ගැඹුරු තෙලේ බැදගන්න.

 

පූරි

 

පාන්පිටි කෝප්ප 1 1/2ක්

ආටා පිටි කෝප්ප 1ක්

ලුණු ස්වල්පයක් 

උණුවතුර 

තළාගත් කරපිංචා ස්වල්පයක් 

බැදීමට තෙල්

 

පාන්පිටි හා ආටාපිටිවලට ලුණු දාලා කලවම් කරලා උණුවතුර හා තළාගත් කරපිංචා ටික දාලා අනාගන්න. දැන් මේක පැය භාගයක් පිපෙන්න තියන්න. දැන් ඩෝ එකෙන් ටික ටික අරන් තෙල් ගාගත් ලෑල්ලක දාලා තුනී කරලා පොඩි රවුම් කපාගන්න. දැන් ගැඹුරු තෙලේ බැදගන්න.

 

පරිප්පු වඩේ

 

කඩල පරිප්පු කෝප්ප 1ක්

ලියාගත් ලූනූ ගෙඩි 1/2ක්

ලියාගත් අමු මිරිස් කරල් 2ක්

ලියාගත් කරපිංචා ස්වල්පයක් 

ලියාගත් සුදුලූනු බික් 2ක්

කඩාගත් වියළි මිරිස් කරල් 3ක්

කෑලි මිරිස් තේ හැඳි 1ක්

ලුණු ස්වල්පයක් 

බැදීමට තෙල්

 

කඩල පරිප්පු ටික පැය 4ක් පෙඟෙන්න දාගන්න. දැන් මේකෙන් මිටක් අයින් කරලා ඉතුරු ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් පරිප්පුවලට අයින් කරගත් පරිප්පු ටික දාලා කපාගත් සියල්ලම දාලා කලවම් කරගන්න. එයටම කෑලිමිරිස් හා ලුණු දාලා හොඳට කලවම් කරගන්න. තෙල් ටික ළිපේ තියලා රත්වෙනකොට අතින් රවුමට හෝ බිත්තර හැඩේට වඩේ හදලා තෙලට දාලා අඩු ගින්දරේ බැදගන්න.

උළුදු වඩේ

උඳු ඇට කෝප්ප 1ක්

ලියාගත් අමුමිරිස් කරල් 2ක්

ලියාගත් ලූනූ ගෙඩියක්

කෑලි මිරිස් තේ හැඳි 1ක්

කපාගත් කරපිංචා කොළ ස්වල්පයක් 

සූදුරු තේ හැඳි 1ක්

ලුණු හා ගම්මිරිස්කුඩු 

බැදීමට තෙල් 

 

උඳු ටික පැය 8ක් පෙඟෙන්න තියන්න. ඊළඟට වතුර ටිකක් දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට කපාගත් සියල්ලම දාලා රස අනුව ලුණු , ගම්මිරිස් කුඩු දාලා සූදුරු දාගන්න. හොඳට කලවම් කරලා අනාගන්න. පැය භාගයක් වගේ පිපෙන්න තියලා තෙල් තාච්චිය රත් කරගන්න. දැන් අතේ වතුර ගාගෙන ඩෝ එකෙන් පොඩ්ඩක් අරන් අතින්  රවුම් හැඩයට හදලා මැද හිලක් හදලා එවෙලෙම තෙලට දාගන්න. අඩු ගින්දරේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා