රසට හැපෙන පේස්ට්‍රි ෆුඩ්ස්

නොවැම්බර් 27, 2023

 

පේස්ට්‍රි කියන්නෙ කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති රස කෑමක්. ක්‍රිස්පියට කරස් ගාලා හැපෙන බටර් රස මුසු පේස්ට්‍රිවලට නනප්‍රකාර ෆිලින්ග්ස් දාගෙන රස බලන්න පුළුවන්. ඒ වුණාට පේස්ට්‍රි ශීට්ස් ගෙදර හදනවා කියන්නෙ නම් කාලය ගතවෙන මහන්සි වැඩක්. එච්චර කරදර නොවී අඩු මුදලකට අපිට පේස්ට්‍රි ශීට්ස් දැන් ඕනෑම සුපිරි වෙළෙඳසැලකින් ලබා ගන්න පුළුවන්. අද මේ කියන්න යන්නෙ මිල දී ගත් පේස්ට්‍රි ශීට්ස්වලින් හදාගන්න පුළුවන් වෙනස්ම විදිහේ රසම රස පේස්ට්‍රි වර්ග කිහිපයක් ගැනයි. හැමදාම අලයි සැමනුයි දාලා කන පේස්ට්‍රියට මේ විදිහට වෙනස් ෆිලින්ග්ස් එකතු කරලා රස වෙනසක් කරලම බලන්න. ඒ රස රහස විඳින්න මෙන්න මේ විදිහට පේස්ට්‍රි ටික හදලා බලන්න. ළඟ ළඟම එන නත්තලේදී අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මේ පේස්ට්‍රි කදිමයි.

 

 

පේස්ට්‍රි සිනමන් රෝල්ස්

පේස්ට්‍රි ශීට් එකක්

දියකරගත් බටර් මේස හැඳි 1/2ක්

දුඹුරු සීනි කප් එකක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක්

අවශ්‍ය නම් කපාගත් කජු

 

ග්ලේස් එක සඳහා

කුඩු කරගත් සීනි කප් 1ක්

කිරි මේස හැන්දක්

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

 

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ සඳහන් ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් තුනී කරගන්න. තුනී කරගත් පේස්ට්‍රිශීට් එක මත දියකරගත් බටර් ආලේප කරගන්න.

දුඹුරු සීනි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගෙන, තවරාගත් බටර් මත ඉසගෙන, ස්විස් රෝල් එකක් ආකාරයට එක කෙළවරක සිට පරිස්සමෙන් ශීට් එක රෝල් කරගන්න.

මුවහත් පිහියකින් අඟලක පමණ ඝනකමට රවුම් කපාගෙන ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තියාගන්න.

සෙල්සියස් අංශක 170ට රත් කරගත් අවන් එකක විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.

ග්ලේස් එකට අවශ්‍ය සියලුම දේ බෝල් එකක දමා බීට් කරගෙන, උණුවෙන්ම ඇති සිනමන් රෝල් මත වත් කරන්න. උඩින් සිහින්ව කපාගත් කජු ටිකක් ඉසින්න.

***************

මින්ස්ඩ් මීට් වෙලින්ග්ටන්

 

පේස්ට්‍රි ශීට් එකක්

අඹරාගත් මස් ග්‍රෑම් 450ක් (කැමති කටු රහිත මස් වර්ගයක්)

සිහින්ව කපාගත් ලූනූ ගෙඩියක්

කුඩාවට කොටු කපාගත් කැරට් අලයක්

කුඩාවට කොටු කපාගත් අල ගෙඩියක්

තළාගත් සැල්දිරි දණ්ඩක්

තළාගත් සුදු ලූනූ බික් 2ක්

බිත්තරයක්

රස අනුව ලුණු

ගම්මිරිස්

 

 

තෙල් ස්වල්පයක් රත් වෙන්නට හැර අල, කැරට්, සැල්දිරි සහ ලූනූ එක්කර විනාඩි හත අටක් හොඳින් පිසගන්න. අන්තිමටම සුදු ලූනූ එක්කර විනාඩියක් තබා ළිපෙන් ඉවත්කර නිවෙන්නට හරින්න.

මස්වලට නිවාගත් එළවළු එක්කර එයටම රස අනුව ලුණු, ගම්මිරිස් එක්කර හොඳින් අනාගන්න. එයට ගසාගත් බිත්තරයෙන් බාගයක් එක්කර මිශ්‍ර කරගන්න.

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගෙන එහි එක් කෙළවරකින් මස් මිශ්‍රණය සොසේජ් එකක් හැඩයට තබාගෙන පරෙස්සමෙන් මස් මිශ්‍රණය මැදට හිටින ලෙස රෝල් කරගන්න.

ඉතිරි බිත්තර සාරු තවරා, කෙළවර අලවාගෙන, දෙකෙළවර හොඳින් තදකර පේස්ට්‍රි රෝල් එක වටේම බිත්තර තවරාගන්න.

සෙල්සියස් අංශක 160ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 50ත් පැයත් අතර කාලයක් බේක් කරගන්න.

***************

චීසි එග් පෆ් පේස්ට්‍රි

 

පේස්ට්‍රි ශීට් එකක්

බිත්තර

කපාගත් චෙඩාර් චීස්

සිහින්ව කපාගත් ලූනු කොළ

ලුණු, ගම්මිරිස් කුඩු

 

 

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ ඇති පරිදි තුනී කරගන්න. රවුම් කපාගෙන ඒ රවුම් තෙල් කඩදාසියක් දමාගත් ට්‍රේ එකක තරමක් ඈතින් අතුරාගන්න. එක් එක් රවුමෙන් අඟල් කාලක් පමණ ඇතුළට වෙන්න වෙන් නොවන සේ රවුමක් මාක් කරගෙන, ඒ මැද ගෑරප්පුවකින් යන්තම් සිදුරු කරගන්න.

සෙල්සියස් අංශක 200ට රත් කර ගත්ත අවන් එකක විනාඩි 8ක් පමණ වටේ රවුම පිම්බී ඉස්සෙන තුරු බේක් කරගන්න.

එය පිටතට ගෙන ඒ මැදට චීස් දමා එයට උඩින් කහමදය නොකැඩෙන ලෙස බිත්තරයක් දමා ලුණු, ගම්මිරිස් ඉසගන්න. නැවත විනාඩි 12ක් බේක් කරගන්න.

අවසානයේ ලූනූ කොළ ඉස පිළිගන්වන්න.

***************

පේස්ට්‍රි පීසා

 

පේස්ට්‍රි ශීට් එකක්

පෙති කපාගත් සොසේජස්

තක්කාලි සෝස් හෝ පීසා සෝස්

මොසරැල්ලා චීස්

පොඩියට කපාගත් ලූනු සහ මාළු මිරිස්

ඔරිගානෝ

ලුණු සහ ගම්මිරිස් කුඩු

 

 

පේස්ට්‍රි ශීට් එක රෝලින් පින් එකකින් හොඳින් තුනී කරගන්න. කැමති සයිස් එකට හතරැස් කොටු කපාගන්න. සෑම කොටුවකම පීසා සෝස් හෝ තක්කාලි සෝස් තවරාගන්න. එයට උඩින් ගාගත් මොසරැල්ලා, සොසේජස්, ලූනු සහ මාළු මිරිස් තට්ටු වශයෙන් අතුරාගෙන, එයට උඩින් ඔරිගානෝ මිශ්‍රණය ඉස නැවත මොසරැල්ලා උඩින් දමාගන්න.

මුළු දෙකකින් අල්ලා මැදට ගෙන, ඇඟිලි තුඩින් තදකර අලවාගෙන ඉදිරිපස බිත්තර සුදුමද තවරාගන්න.

සෙල්සියස් අංශක 200ට රත් කරගත් අවන් එකක විනාඩි 15-18ක් අතර කාලයක් බේක් කරගන්න.

***************

ග්ලේස්ඩ් ඩෝනට්ස්

 

පේස්ට්‍රි ශීට් එකක්

බැදගැනීමට තෙල්

කුඩු කරගත් සීනි කෝප්ප 1ක්

කිරි මේස හැන්දක්

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

 

පේස්ට්‍රි ශීට් එක තරමක් මහතට හිටින්න දිගඇරගන්න. ලොකු රවුමකින් සහ පොඩි රවුමකින් ඩෝනට්ස් කපාගන්න. කිරි, සීනි, ලුණු සහ වැනිලා එකට බීට්කර, ග්ලේස් එක සාදාගෙන පසෙකින් තියාගන්න.

කපාගත් ඩෝනට්ස් රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න. එක පැත්තක් විනාඩියත් තත්ත්පර 30ත් අතර කාලයක් බැදගැනීම ප්‍රමාණවත්.

ඩෝනට් එක උණුවෙන්ම තිබියදීම ග්ලේස් එකේ තවරාගන්න.

 

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න