ලොවම මවිත කරමින් තීක්ෂණී මෙවරත් හැඩ හැඩවැඩ කලාව රනින් බබළවයි

සැප්තැම්බර් 25, 2023

පසුගියදා ප්‍රංශයේ පැවැති 2023 ඕ. එම්. සී. හෙයාර් වර්ල්ඩ් රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු රූපලාවණ්‍ය ශිල්පිනී තීක්ෂණී කාරියවසම් රූපලාවණ්‍ය අංශයේ  ස්මෝකි අයි මේකප් අංශයේ රන් පදක්කම හිමිකර ගැනීම ශ්‍රී ලාංකික අපට අභිමානයකි .

එම තරගයේම ස්මෝකි අයි මේකප්  අංශයේ  පස්වැනි ස්ථානය ද ශ්‍රී ලංකාව නියෝජනය කළ කායල් විලී ජයප්‍රකාශ් විසින් හිමිකර ගෙන තිබිණි. ශ්‍රී ලාංකීය නාමය එකම වේදිකාවේ දෙවරක් රැව් පිළිරැව් දුන් දුර්ලභ අවස්ථාවක් උදාකර දීමට ඔවුන් දෙදෙනා එදා සමත් විය. මෙහිදී කායල් තවත් තරග ඉසව් දෙකක ජයග්‍රාහී ස්ථාන හිමිකර ගැනීමට ද සමත් වූවාය.

රටවල් 69ක සාමාජිකත්වයෙන් ගොඩනැඟුණ සංගමයක් හරහා පවත්වනු ලබන මෙම තරගාවලිය පසුගිය වසර පහ  තිස්සේ ප්‍රංශයේම පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ ද ලොව සෑම රටකටම මෙම තරගයට සහභාගී වීමේ පහසුව උදෙසාය. දැනට රූපලාවණ්‍ය හා කේශාලංකරණ අංශයන්හි පැවැත්වෙන එකම ලෝක ශූරතා තරගාවලියවන මෙය 2021 වසරේ පවත්වනු ලැබුවේ මාර්ගගත ක්‍රමයටය. ඒ ලොවම ග්‍රහණයට නතු කරගත් කොවිඩ් වසංගතය හේතුවෙනි.

2021 වසරේ මාර්ගගත ක්‍රමයට පැවැති ඕ.එම්. සී. හෙයාර් වර්ල්ඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තීක්ෂණී කාරියවසම් බ්‍රයිඩ්ල් මේක්අප් අංශයේ රන් පදක්කම හිමිකරගත් අතර මෙවර ස්මෝකි අයි මේක්අප් අංශයෙන් තරග වැද එම අංශයේ ද රන් පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය. එසේම ඕ. එම්. සී. හෙයාර් වර්ල්ඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් වූ අනෙක් තරගකාරිණිය කායල් ද නිර්මාණාත්මක වේශ නිරූපණ අංශයේ ලෝකඩ පදක්කම පමණක් නොව බ්‍රයිඩ්ල් මේක්අප් අංශයෙන් හතරවැනි ස්ථානය  මෙන්ම ස්මෝකි අයි මේක්අප් අංශයේ පස්වැනි ස්ථානය දිනා ගත්තාය.මේ තරග ජයග්‍රහණය පිළිබඳ තීක්ෂණී 'තරුණීට' සතුටින් කියා සටියේ මෙලෙසිනි.

"අපි දෙන්නා මේ ජයග්‍රහණය ලබන්න සෑහෙන කැපවීමක් කළා. විශේෂයෙන්ම අපගේ රූපලාවණ්‍ය සංගමෙය් සභාපතිනි නයනා කරුණාරත්න මහත්මිය දැක් වූ සහයෝගය අගය කළ යුතු යි.වසර දෙකක්ම මේ ජයග්‍රහණය මට ලබා ගැනීමට හැකිවීම ඇත්තටම භාග්‍යයක් ලෙසයි මම සලකන්නෙ. අප වැනි පුංචි රටක ශිල්පිනියකව මේ තරම් රටවල් ප්‍රමාණයක් සහභාගීවන තරගයකින් ජයග්‍රහණය ලැබීම අභියෝගයක්. නමුත් අපේ රටේ ඒ සඳහා නිසි ඇගයීමක් නොලැබීම තමා කනගාටුව"

පසුගිය සැප්තැම්බර් 10 සහ 11 දෙදින තුළ ප්‍රංශයේ පැවැති මෙම ජාත්‍යන්තර රූපලාවණ්‍ය තරගාවලිය නියෝජනය කළ තීක්ෂණී සහ කායල් ශ්‍රී ලංකා කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය හරහා  තරගයට අයදුම්කර අවශ්‍ය සියලු දේ තම වියදමින් සකසා ගෙන තිබීම  මෙම ජයග්‍රහණයන් ඔවුන්ගේ කැපවීම සහ උත්සාහය අගය කළ යුතු සිද්ධියකි. ශ්‍රී ලංකා කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ සමූහ සභාපති නයනා කරුණාරත්න මෙම ජයග්‍රහණ පසුපස සිටිමින් ඔවුන් දිරිමත් කළ බව සඳහන් කළේ ඉතාමත් ගෞරවයෙනි. ඩොමිනික්ස් රොබට්ස් නම් රූපලාවණ්‍ය පුහුණුකරු හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් තරගයට අවශ්‍ය නිසි පුහුණුව  ලබාදීමට කටයුතුකර තිබීම ද නිර්මාතෘවරිය ලෙස ඇයගේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටුකර ඇති බවට සාක්ෂි සපයයි.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා රාත්‍රියේ මෙරටින් පිටවන තරගකාරිනියන්ට තම සහායට සිටින නිරූපණ ශිල්පිනියන් දැක ගැනීමට හැකිවන්නේ ද තරගයට පෙර දිනය. එවන් අභියෝග හමුවේ තරගයට මුහුණ දී විනාඩි 35ක් තරම් කෙටි  කාලයක් තුළ තරගය නිම කරමින් ලබාගත් රන් පදක්කම ලාංකේය දියණියකගේ උත්සාහයේ හා කැපවීමේ තරම ශ්‍රී ලංකා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සැමටම ආදර්ශයකි.

මානෙල් කොටුවේගොඩගෙන් රූපලාවණ්‍ය සඳහා මූලික අඩිතාලම දමා ගත්  තීක්ෂණී, දයානන්ද ද සිල්වා වෙතින් කේශාලංකරණයට අත්පොත් තැබුවාය. නයනා කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් එක හරහා රූපලාවණ්‍ය ගැන මනා දැනුමක් සහ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත් ඇය විනයානුකූල ක්‍රමයට යමින් මෙතෙක් තම ජයග්‍රහණ හිමිකරගත් බව ද පැවසුවාය. ඇය ලද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිපුණත්වයට ඇති හොඳම ඉල්ලුම සහ වටිනාකම ලෙස ඇය සඳහන් කළේ පසුගියදා රටක් වසඟයට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා සහ කාවින්ද්‍යා දුල්ෂානි තම දෑතින් මනාලියන් ලෙස හැඩගැන්වීමට ඇය ලද අනගි අවස්ථාවයි.   ශ්‍රී ලංකා SLAHAB ඇසෝෂියේෂන් ආයතනයේ සම සභාපතීත්වය දරන ඇයගේ අරමුණ වන්නේ තම සංගමය වෙනුවෙන් ඉදිරියේ දී ද මෙවන් ජාත්‍යන්තර ජයග්‍රහණ උදෙසා  තම රට නියෝජනය කිරීමයි.