ලස්සන වෙන්න මොකටද ක්‍රීම්..

සැප්තැම්බර් 11, 2019

 

කාන්තාවකගේ වයස, නිරෝගී බව මෙන්ම සුන්දරත්වය ද පෙන්නුම් කරන ප්‍රධානම අංගය වන්නේ ඇගේ සමයි. නිරෝගී සමක් පවත්වාගෙන යන්නේ නම් එවන් කාන්තාවන්ගේ වයස ද පෙනෙන්නේ අඩුවෙනි. මේ නිසා සම රැක ගැනීමට සෑම කාන්තාවක් ම උත්සාහ ගැනීම රුව රැක ගැනීමේ ප්‍රධානතම ක්‍රමයයි.

 

අපේ සම වියළීමට, ළප, කැළැල් ඇතිවීමට මෙන්ම විවිධ හේතූන් නිසා සම දුර්වර්ණ වීමට ලක් වේ. මේ සෑම හේතුවක් නිසාම සමේ ඇති පැහැපත් බව නිරෝගී බව නැතිව යයි. අනෙකුත් අංග කොතරම් ලස්සනට පැවතිය ද නිරෝගී සමක් නොතිබුණ විට එහි සුන්දර බවක් දිස් නොවේ. එම නිසා අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ පැහැපත්, නිරෝගී සමක් ලබා ගැනීම උදෙසා නිවෙසේ දී ම සිදු කළ හැකි ප්‍රතිකර්ම කිහිපයකි.

* කෝමාරිකා ආලේප කිරීම මඟින් සමේ තෙතමනය ආරක්ෂා වන අතර වියළි බව නැතිකර ගත හැකියි. මෙහිදී කෝමාරිකාවලට වියළි කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර ආලේප කිරීමෙන් එය සමේ ආරක්ෂාවට මෙන්ම පැහැපත් බවක් ඇති කිරීමට ද උපකාරී වේ.

* කිරි හා පිපිඤ්ඤා සාමාන්‍යයෙන් භාවිත කරන්නේ සාමාන්‍ය සහ වියළි සමටයි. සාමාන්‍ය හා වියළි සමක් රැක ගැනීම සඳහා කෝමාරිකා, මී පැණි ආලේප කිරීම ද සුදුසු වේ. එහෙත් තෙල් සහිත සමකට කිරි සුදුසු නොවේ.

* බ්ලීච් කිරීම නිසා හෝ යම් කිසි රසායනික ද්‍රව්‍යයක් සඳහා හෝ පළුදු වූ සමක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මී කිරි හෝ යෝගට් ස්වල්පයක් ගෙන එයට මී පැණි බින්දු දෙක තුනක් දමා ගසා ගත් බිත්තර සුදු මදය එක්කර මුහුණේ ආලේප කළ හැකියි. මෙය සමට කන්ඩිෂනර් එකක් ලෙසින් ක්‍රියා කරයි.

 

2019/09/11 තරුණි බලන්න

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්විනීතා කොතලාවල