වසර 21 ට පසු නැවතත් ඉන්දියාවට මිස් යුනිවර්ස් කිරුළ

දෙසැම්බර් 20, 2021

මේ දස්කම කළ තෙවැනි ඉන්දියානු සුරූපිනිය ඇයයි

හර්නාස් කවුර් සන්ධු

ඈ හර්නාස් කවුර් සන්ධු. 2021 මිස් යුනිවර්ස් කිරුළෙහි හිමිකාරිනිය ඇයයි. 1994 දී ප්‍රථම වරට සුෂ්මිතා සෙන් ද 2000 දී ලාරා දත්තා ද ඉන්දියාව මත මිස් යුනිවර්ස් කිරුළ රැඳවූ අතර හරියටම ඉන් වසර 21 ට පසු 21 හැවිරිදි හර්නාස් මිස් යුනිවර්ස් කිරුළ දිනූ තෙවැනි ඉන්දියානු සුරූපිනිය වීමට වාසනාව හිමිකර ගත්තීය.

එදා 22 වැනි වියේදී ලාරා දත්තා මිස් යුනිවර්ස් කිරුළ හිමිකර ගනිද්දී හර්නාස් මාස දෙකයි දින නවයක බිලිඳියකි. ඒ බිලිඳිය ඉන්දියාව මිස් යුනිවර්ස් කිරුළක් හිමිකරගැනීම සැබෑ ලෙසම අත්විඳින්නේ තම හිස මත කිරුළ රඳවා ගනිමිනි.

රටවල් 80 ක තරගකාරිනියන් අතරින් අවසන් 16 දෙනා ප්‍රකාශයට පත්විය. ඉන්අනතුරව අවසන් දහදෙනා, අවසන් පස් දෙනා, සහ අවසන් තිදෙනා පිළිවෙළින් ප්‍රකාශයට පත්විය. මේ කඩඉම් තරණය කරමින් ඉදිරියට ආ හර්නාස්ගේ නෙතු මත නැඟි සිනහව ජයග්‍රහණයක සෙවණැලි කීයා පෑවාය.

දෙසැම්බර් 12 වැනිදා ඊශ්‍රායලයේ අයිලට් හි යුනිවර්ස් ඩූම් හි දී 70 වැනි වරට පැවැති මිස් යුනිවර්ස් තරගයේ කිරුළ හර්නාස් හිස මත රඳවද්දී ඉන්දියාවට 13 වැනි දිනට හිරු පායා තිබිණ. 69 වැනි විශ්ව රූ රැජන වූ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා රටවල් 80ක තරගකාරිනියන් අතරින් හර්නාස් ගේ හිස මත කිරුළ රඳවමින් කෝවිඩ් වසංගතයෙන් බැටකන ඉන්දියානුවන්ට පාන්දර ජාමයේ මේ සුබ පණිවුඩය අසන්නට සැලස්වීය.

2000 වසරේ මාර්තු තුන්වැනි දින චන්දිගාර්හි සික් පවුලක උපන් හර්නාස් සින්ධු ශිවාලික් පොදු පාසලෙන් මූලික අධපනය ලබා චන්දිගාර්හි රජයේ කාන්තා විදුහලින් උපාධිය හිමිකරගෙන ඇත. ඉංග්‍රීසි, පන්ජාබ් හා හින්දි භාෂා හොඳින් කතා කිරීමට ඈ දක්ෂය.

හර්නාස් චන්දිගාර් ප්‍රදේශයේ නිරූපිකාවක් වන අතර ඇය දැනට වසර කිහිපයක සිට විලාසිතා ක්ෂේත්‍රයේ රැඳී සිටියි. එමෙන්ම ඈ පන්ජාබි චිත්‍රපට දෙකක රංගනයට දායක වී ඇත. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇයගේ විවේක කාලයේ දී යෝග, නැටුම්, ඉවුම් පිහුම්, අශ්වයන් පැදීම සහ චෙස් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.

යොවුන් වයසේ සිටම විවිධ රූ රැජන තරග සඳහා සහභාගී වූ ඇය ඒවායින් ජයග්‍රහණ හිමිකර ගැනීමෙන් පසු 2019 වසරේ දී ෆෙමිනා මිස් පන්ජාබ් ලෙස කිරුළු පැලඳීය. එහෙත් 2019 ෆෙමිනා මිස් ඉන්දියා තරගයේ දී ඇයට හිමිකර ගැනීමට හැකි වූයේ 12 වැනි ස්ථානයයි. පසුව ඇය 2021 සැප්තැම්බර් 30 වැනි දින මුම්බායි හි පැවති මිස් දිවා 2021 තරගයේ ජයග්‍රාහිකාව වෙමින් 2021 මිස් යුනිවර්ස් අපේක්ෂිකාව ලෙසින් ඉන්දියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවාය.

පුරුෂාධිපත්‍යයේ විලංගුවලින් මිදී තම පවුල මෙහෙයවීමටත් සාර්ථක නාරිවේද වෛද්‍යවරියක් බවටත් පත්වූ ඇගේ මවගේ ආභාෂය ඇගේ ජයග්‍රහණය සඳහා මඟපෙන්වූ බව හර්නාස් පැවසීය. කාන්තා අරමුණු සඳහා සහය වීමට සහ කාන්තා සවිබල ගැන්වීමට උපකාර කිරීමට හර්නාස් හට මෙය ආශ්වාදයක් වී ඇත. ඇය අධ්‍යාපනය, වෘත්තීන් තේරීමේ නිදහස හා කාන්තා ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සඳහා සහය දෙන ප්‍රබල ආධාරකරුවකු ද වේ. විශ්ව රූ රැජන වේදිකාවේ දී ඇය පවසා සිටියේ "අද තාරුණ්‍යය මුහුණ දෙන ලොකුම පීඩනය වන්නේ තමන් ගැන විශ්වාස නොකිරීමයි. ඔබ ඔබව විශ්වාස කරන්න, ඔබ අද්විතීය බවත් එය ඔබව ලස්සන කරන බවත් දැන ගන්න, ඔබ අන් අය සමඟ සංසන්දනය කිරීම නවත්වන්න. මම මා ගැන විශ්වාස කළා, ඒ නිසයි මම අද මෙහි සිටගෙන සිටින්නේ," යනුවෙනි.

විශ්ව රූ රැජන පළමු අනුශූරතාව පැරගුවේ රූ රැජින නාඩියා ෆෙරේරා ද දෙවැනි අනුශූරතාව දකුණු අප්‍රිකානු රූ රැජින ලලෙලා මස්වානේ ද හිමිකර ගත්තාය.

අන්තර්ජාලයෙනි

සටහන පාලිකා දිල්රුක්ෂි