Frame එක අවුල් නම් Personality ඩවුන්

ජුනි 6, 2022

 

දෘෂ්ඨි දෝෂ සඳහා කණ්ණාඩි මිල දී ගැනීම ඔබ සිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඔබ තෝරා ගන්නා කණ්ණාඩියෙන් ඔබේ පෙනුමට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. එය පෞරුෂයට කෙළින්ම සම්බන්ධ වන අතර මුහුණේ හැඩය, සමේ වර්ණය, හිසකෙස් මෙන්ම ජීවන රටාවට අදාළ විවිධ නිර්ණායක අනුව තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 

ඒ නිසා ඇස්වල දුර්වලතාවක් තිබෙනවා යැයි කියූ පමණින් අක්ෂි දෝෂය ගැන පමණක් සිතා කණ්ණාඩියක් මිලදී ගනී නම් එය පෞරුෂයට බලපෑමක් ඇති කරාවි.

එබැවින් සුදුසුම කණ්ණාඩි යුගල තෝරා ගැනීම ඔබට තරමක අපහසුවක් විය හැකියි. මේ උපදෙස් ඔබේ කණ්ණාඩි යුගල තෝරා ගැනීමට පහසුවක් වේවි.

 

මුහුණේ හැඩය සොයා ගන්න

 

මේ සඳහා ඔබ මුලින්ම හොඳින් පෙනෙන දර්පණයක් වෙත යන්න. ඔබේ නළලට කෙස් රොද වැටී ඇත්නම් ඒවා ඉවත් කරන්න. දර්පණය වෙත සමීප වී අවධානයෙන් බැලීමෙන් ඔබේ මුහුණේ හැඩය ඔබට වටහා ගත හැකි වේවි.

එහිදී මුහුණුවල හැඩයන් 5ක්, එනම් හතරැස්, ඕවලාකාර, ත්‍රිකෝණ, රවුම් සහ හෘද හැඩැති ලෙස හඳුනාගත හැකියි. මුහුණේ හැඩය නිවැරැදිව හඳුනාගැනීමට කණ්ණාඩිය මිල දී ගන්නා ආයතනයේ සේවා සහයකුගේ සහය ලබා ගැනීමට ද හැකියාව තිබෙනවා.

 

ඕවලාකාර හැඩයේ මුහුණකට

 

ඕවලාකාර මුහුණක හැඩය සමබරව දිස්වේ. එය බිත්තරයක හැඩයට සමානය. මේ හැඩය සහිත මුහුණක් නම් ඔබට තිබෙන්නේ ඔබ වාසනාවන්තයි. ඔබට ඕනෑම ආකාරයක කණ්ණාඩි විලාසිතාවකට යොමු වෙන්න පුළුවන්.

 

රවුම් හැඩයේ මුහුණකට

 

රවුම් හැඩයේ මුහුණකට සිහින් බවක් ලබා දීමට නම් පටු කෝණාකාර කණ්ණාඩි යුගලක් තෝරා ගත යුතු වෙනවා. සෘජුකෝණාශ්‍රාකාර හැඩයේ ෆ්‍රේම් එකක් සහිත කණ්ණාඩි යුගලක් නම් හොඳින්ම ගැළපෙනවා.

 

හදවත් හැඩයේ මුහුණකට

 

මේ මුහුණේ හැඩය හරියටම හදවතක හැඩය ගන්නවා. ඉහළින් මඳ පුළුල් බවකුත්, යටින් මඳ පටු බවකුත් මේ මුහුණුවලින් දැක ගත හැකියි. මුහුණේ ඉහළ පෙදෙසේ ඇති පළල් බව සැඟවීම සඳහා රවුම් හැඩැති කණ්ණාඩි යුගලක් ගැළපේ.

 

ත්‍රිකෝණාකාර මුහුණකට

 

ත්‍රිකෝණාකාර මුහුණක් ඇති අයගේ නළල පටුය. නමුත් කම්මුල් සහ නිකට ප්‍රදේශයේ පළල වැඩිය. සෘජුකෝණාස්‍රාකාර කණ්ණාඩි යුගලක් මෙවන් මුහුණකට හොඳින් ගැළපේ.

 

චතුරස්‍රාකාර හැඩයකට

 

ඔබට ඇත්තේ චතුරස්‍රාකාර හැඩැති මුහුණක් නම් රවුම් ආකාරයේ රාමුවක් සහිත කණ්ණාඩියක් තෝරා ගන්න. සෘජුකෝණාස්‍රාකාර රාමු සහිත කණ්ණාඩි මඟින් මුහුණේ හැඩය වඩාත් කොටු ආකාරයට පෙන්නාවි. ඒ නිසා එවන් රාමු මෙවන් අයට එතරම් සුදුසු නොවේ.

 

සමේ වර්ණය

 

කණ්ණාඩි රාමුවක් තෝරා ගැනීමේ දී සමේ වර්ණය බලගතු කාර්යභාරයක් ඉටු කරයි. කළු සහ බේජ් වර්ණ සියලුම සමේ වර්ණ සඳහා සුදුසුයි. තද පැහැති වර්ණ සහිත රාමු දුඹුරු පැහැ සමකට සුදුසුයි. එමෙන්ම Cooling glass පාවිච්චි කරනවා නම්, තලෙළු, දුඹුරු වැනි සම සහිත ආසියාතික රටවල අයට සුදුසු වන්නේ අළු සහ කළු පැහැති Cooling glass වර්ගයි.

වර්තමානයේ පවතින කණ්ණාඩි විලාසිතා අතරින් මේ දිනවල වඩාත් ජනප්‍රිය විශාල රාමු සහිත කණ්ණාඩිය. ඒ වගේම ෆ්‍රේම් රහිත සහ ෆ්‍රේම් සහිත යනුවෙන් ද කණ්ණාඩිය තෝරා ගන්න පුළුවන්.

ඒ වගේම ෆ්‍රේම් size එක මුහුණේ ප්‍රමාණයට අනුව වෙනස් වෙනවා. ෆ්‍රේම් කලර් එකත් ඒ විදිහට කැමැති ආකාරයට තෝරා ගත හැකියි. කණ්ණාඩියේ Arm එක තරමක් සිහින් හෝ මහත එකක් වුවත් ඔබේ අභිමතයට අනුව ගළපා ගත හැකියි.

කාන්තාවන් සඳහා Arm එකෙහි විවිධ මෝස්තර සහිත ෆ්‍රේම් වර්ගත් තිබෙන නිසා සුදුසු මෝස්තරයක් තෝරා ගන්න පුළුවන්. ෆ්‍රේම් එකේ ගුණාත්මක බව වැඩි වෙන්න, වැඩිවෙන්න මිලත් ඉහළයි.

 

උපදෙස්

ශාන්ත මධුශංක

ශාඛා කළමනාකරු

Vision Care Optical Services (Pvt) Ltd.

යූනියන් පෙදෙස