ඩැමේජ් හෙයාර්වලට නෝ චාන්ස් ක්‍රම ‍8කින්

ඔබටත් නීරෝගි කෙස් කළඹක්
අගෝස්තු 21, 2023

නීරෝගි මෙන්ම දිදුලන කෙස් කළඹක හිමිකාරියක් වීම කාන්තා ඔබ කොයි කාගෙත් සිහිනයකි. නමුත් එම සිහිනයට බාධා කරමින් අධික ලෙස රසායන ද්‍රව්‍ය භාවිතය, හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම යන විවිධ සාධක හේතු කරගෙන බොහෝ දෙනෙක්ගේ හිසකෙස්වලට විවිධ හානි සිදුව තිබේ. මෙය අප සාමාන්‍ය වහරේදී “ඩැමේජ් හෙයාර් “, එසේත් නොමැති නම් හානි වූ කෙස් කළඹක් යනුවෙන් හඳුන්වනු ලබයි.

 

ඩැමේජ් හෙයාර් එකක් යනු,

 

අපේ කෙස් කළඹ ලේයර් කිහිපයකින් සමන්විතවන බව ඔබ දන්නා කරුණකි. එම ලේයර් අතරින්, ඇම්නෝ ඇසිඩ්වලින් නිර්මාණය වී ඇති කෙරටින් ලේයරය පමණක් බාහිර පරිසරයට නිරාවරණය වේ. එවිට මෙම කෙරටින් ලේයරයට විවිධ හානි සිදු වේ. මෙලෙස කෙරටින් ලේයරයට හානි සිදු වීම ඩැමේජ් වුණු කොණ්ඩයක් හෙවත් හානි වූ කෙස් කළඹක් වශයෙන් හඳුන්වනු ලබයි.

 

ලක්ෂණ

• ඉතා වියළි බව

• හිසකෙස්වල දිදුලන පෙනුම නොමැති වීම.

• හිසකෙස් කැඩී යාම

• ගොරෝසු බව

• හිසකෙස්වල අගිස් පැළීම

 

ඉතින් මෙම ගැටලු සමනයකර ගනිමින් හානි වූ හිසකෙස් යළි ගොඩනැගීමට සහ තවදුරටත් හානි වීමෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එමඟින් ඔබට නීරෝගි මෙන්ම දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් ඒ සඳහා උපකාරීවන සරල පිළියම් කිහිපයක් අද අපි ඔබට හඳුන්වා දෙන්නෙමු.

 

ජොජෝබා තෙල් සත්කාරය.

ජොජෝබා තෙල් හානියට පත් වූ හිසකෙස් නැවත සජලනය කිරීමට හා ශක්තිමත් කිරීමට උපකාරී වේ. එබැවින් ඔබේ හිසකෙස් දුර්වර්ණ වී ඇත්නම් මෙම පිළියම අනුගමනය කිරීමට කටයුතු කරන්න.

 

• ඔබේ හිසකෙස් කෙටි නම් ජොජෝබා තෙල් මේස හැඳි 1ක් ද ඔබේ හිසකෙස් දිගු නම් ජොජෝබා තෙල් මේස හැඳි 2ක් ද ගෙන හොඳින් රත්කර ගන්න.

• දැන් රත්කර ගත් ජොජෝබා ඔබේ හිසකෙස්වල මුල්වල සිට අග දක්වා ඒකාකාරීව ආලේපකර විනාඩි 20ක් තබන්න.

• ඉන්පසු ඔබේ හිසකෙස් ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතයෙන් හොඳින් සෝදා හරින්න.

ඔබ හිසකෙස්වල වියළි බව නිසා හෝ හිස්හොරි නිසා පීඩා විඳිනවා නම්, ඔබේ හිස් කබල මත ජොජෝබා තෙල් බින්දු 1-2ක් සමට සෘජුවම ආලේප කරන්න.

 

බිත්තර සහ ලෙමන් සත්කාරය.

ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ල වැනි ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ රැසක් බිත්තරවල අඩංගු වේ. එසේම වියළි හිස්කබලට ප්‍රතිකාර කිරීමට සහ දිදුලන කෙස් කළඹක් පවත්වා ගැනීමට සහායවන ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ රැසක් දෙහිවල අඩංගු වේ. එබැවින් මෙම අමුද්‍රව්‍ය දෙකම භාවිතයෙන් ඔබේ දුර්වර්ණ සහ හානියට පත් වූ හිසකෙස්වලට විසඳුමක් ලබා ගත හැකිය. මේ සඳහා,

 

• බිත්තර සුදු මදයක් සහ මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක යුෂ ගෙන එකට මිශ්‍ර කරන්න.

• දැන් මෙම මිශ්‍රණය ඔබේ කොණ්ඩයට ඒකාකාරව ආලේප කරන්න.

• දැන් ඔබේ කොණ්ඩය ෂවර් කැප් එකකින් ආවරණයකර විනාඩි 30ක් ඉන්න.

• මීළඟට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් ඔබේ කොණ්ඩය හොඳින් සෝදා ගන්න.

හොඳම ප්‍රතිඵල සඳහා නිතර මෙම පිළියම භාවිත කරන්න.

 

 

ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය.

ඇපල් සයිඩර් විනාකිරි බිඳෙනසුලු, නොහික්මුණු සහ දුර්වර්ණ හිසකෙස් කළමනාකරණය කිරීමට උපකාරී වේ. එසේම එහි ආම්ලිකතාව සමේ PH අගය සමබර කිරීමට ද දායක වේ. එපමණක් නොව ඇපල් සයිඩර් විනාකිරි විටමින් C සහ B වලින් පොහොසත්වන බැවින් එය ඔබේ හිසකෙස් නීරෝගි කිරීමට ද කටයුතු කරනු ලබයි. මේ සඳහා,

 

• ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2ක් සහ වතුර ලීටර් 1ක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.

• හිසකෙස් ෂැම්පුකර කන්ඩිෂනර් කිරීමෙන් පසු මෙම මිශ්‍රණය ඒකාකාරව ඔබේ හිසකෙස් මත ආලේපකර හිස සම්බාහනය කරන්න.

• දැන් මිනිත්තු 2ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

හොඳම ප්‍රතිඵල සඳහා සතියකට දෙවරක් මෙම සත්කාරය සිදු කරන්න. ඔබ ඇපල් සයිඩර් විනාකිරිවල සුවඳට අකමැති නම් මිශ්‍රණයට ඔබ බාවිත කරන තෙල් බින්දු කිහිපයක් එකතු කිරීමට කටයුතු කරන්න.

 

ජලය සහ හිසකෙස් මෙවලම්වල උෂ්ණත්වය අඩු කරන්න.

ඔබේ හිසකෙස් දුර්වර්ණ හා වියළි ස්වභාවයක් ගනී නම් එය උණු වතුරෙන් සේදීමෙන් වැළකීම වැදගත්ය. මන්දයත් අධික උෂ්ණත්වය නිසා කෙස් කෙඳිවල ඇති ස්වාභාවික තෙල් ඉවත් වී හිසකෙස්වල තත්ත්වය නරක අතට හැරේ.

එසේම ඔබ භාවිත කරන කර්ලිං අය(ර්)න් හෝ කෙස් වියළන යන්ත්‍ර වැනි උපාංග සඳහා උෂ්ණත්වය අඩු කිරීමට නිර්දේශ කරනු ලැබේ. කෙසේ වෙතත්, ඔබේ කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවී ඇත්නම්, එම තත්ත්වය ඉවත්ව යනතුරු මෙම මෙවලම් භාවිතය මුළුමනින්ම නැවැත්වීම ඉතාමත් සුදුසු වේ.

 

 

පැපොල් සත්කාරය.

පැපොල්වල අඩංගු විටමින් A, ඔබේ හිසකෙස් පෝෂණය කිරීමට, ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබයි. එබැවින් ඒ සඳහා ඔබට පහත පියවර අනුගමනය කළ හැකිය.

• පැපොල් ගෙඩි 1/2 ක්, පොල්තෙල් කෝප්ප 1/2 ක් සහ මී පැණි මේස හැන්දක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.

• දැන් එම මිශ්‍රණය ඔබේ තෙත කෙස්වල ආලේපකර විනාඩි 30-40 අතර කාලයක් තබන්න.

• අවසානයේදී එය සුපුරුදු පරිදි ෂැම්පු සහ කන්ඩිෂනර් මඟින් හොඳින් සෝදා හරින්න.

 

හොඳම ප්‍රතිඵල සඳහා සතියකට දෙවරක් මෙම පිළියම භාවිත කරන්න.

නිවැරුදි නිෂ්පාදන භාවිත කරන්න.

ඔබේ කොණ්ඩයට හානි වී ඇති බවක් පෙනේ නම්, එම තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා සකස්කර ඇති ස්වභාවික ද්‍රව්‍ය අඩංගු සල්ෆේට් රහිත ෂැම්පු තෝරා ගන්න.

 

ජෙලටින් සත්කාරය.

මෙම සත්කාරය උදෙසා ඔබ රස රහිත ජෙලටින් වර්ගයක් භාවිත කළ යුතුය. රස රහිත ජෙලටින්වල ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එය හිසකෙස්වල අධික දුර්වර්ණ බව සහ වියළි බව ඉවත් කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ. මේ සඳහා,

• රස රහිත ජෙලටින් කුඩු මේස හැඳි 1ක් උණු වතුර කෝප්ප 1ක් සමඟ මිශ්‍රකර මිනිත්තු 5ක් පමණ තබන්න.

• දැන් එම මිශ්‍රණයට ජැස්මින්, ලැවෙන්ඩර් හෝ රෝස්මරී සුවඳැති තෙල් බින්දු 6ක් එක් කරන්න. එයටම ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ක් එක් කරන්න. දැන් මේ සියල්ල හොඳින් මිශ්‍ර වනතුරු බීට් කරන්න.

• දැන් මෙම මිශ්‍රණය හිසකෙස්වල ගල්වා විනාඩි 10ක් තබන්න.

• ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

හොඳම ප්‍රතිඵල සඳහා සතියකට වරක් භාවිත කරන්න.