දෙපාවලටත් ආදරේ දෙන්න

ඔක්තෝබර් 16, 2023

ලස්සන වෙන්න කැමති හුඟක් කාන්තාවන්ට තමන්ගේ මුහුණට, කොණ්ඩයට, සමට, ඇස්වලට ලබාදෙන අවධානය තමන්ගෙ දෙපා වෙනුවෙන් ලබාදෙන්න අමතක වෙනවා. දණහිස මට්ටමට, කෙටි ඇඳුමක් අඳින වෙලාවට තමයි තමන්ගෙ දෙපා සම්බන්ධව බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ. ඒ වෙලාවට තාවකාලිකව ආලේප කරගන්නා ක්‍රීම් වර්ගයකින් දෙපාවල අවලස්සන තුරන් කරගන්නට අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ දෙපාවලට අවධානය යොමු නොකරන විට සිදුවන්නේ සම වියළී ගොස්, කොරල මතුවීම, නියපොතු අවලස්සන වීම, අනවශ්‍ය අයුරින් රෝමකූප වර්ධනය වීම,  නිරන්තරව දූවිලි සහ කුණු තැවරීම නිසා ඒවා නිසිපරිදි ඉවත් නොවීමෙන් සම අවපැහැයට ලක්වීම වැනි අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවීමයි. මේ නිසා ඔබේ සිරුරේ අන් තැන්වලට වගේ ම ඔබේ දෙපාවලටත් ආදරය කරන්න. හොඳින් රැකබලාගන්න. ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. ඒ වෙනුවෙන් මේ උපදෙස් ඔබට වැදගත් වේවි.

 

දිනපතා දෙපා හොඳින් පිරිසුදු කරන්න

 

දවසේ නිමාවේ දී සිරුර පිරිසුදුකරගෙන නින්දට යන්නට හුරුව සිටියත් දෙපාවලට මෙතෙක් විශේෂ අවධානය යොමු කරන්නට ඔබට මගහැරෙන්නට ඇති. දවස පුරා වැඩියෙන් ම දුහුවිල්ලට නිරාවරණය වන්නේ ඔබේ දෙපතුල්. පාවහන් පැලඳ සිටියත් දෙපාවලට දුහුවිලි  ඇතුළු වෙනවා වැඩියි. මේ නිසා ‍‍සබන් , බොඩිවොෂ් හෝ පාවහන් සඳහාම විශේෂයෙන් සකස් කළ සේදීම් කාරකයක් යොදාගෙන දෙපා පිරිසුදු කරන්න. මඳ උණුසුම් ජලයෙහි මිනිත්තු 20ක් පමණ දිනපතා දෙපා රඳවාගෙන සිටින්න. බුරුසුවක ආධාරයෙන් නියපොතු හොඳින් පිරිසුදුකරන්න. යටිපතුල් අතුල්ලා කුණු ඉවත්කරගන්න. දෙපා පැළී ඇත්නම් ඒ දාර අතර ඇති කුණු දුහුවිලි උණුවතුරේ දෙපා රැඳවීමෙන් බොහෝ දුරට ඉවත් වේවි.

 

නිය ආලේපන භාවිතය සැලකිල්ලෙන් සිදුකරන්න.

 

නියපොතුවල ඇති නිය ආලේපන කල් ඉකුත් වනතුරු නොසිට ඉවත් කරගන්න.  ඒ වගේම නිය ආලේපන භාවිතයේ දී ප්‍රමිතියෙන් අඩු ආලේපන වර්ග භාවිතය සුදුසු වන්නේ නැහැ.

 

ස්ක්‍රබ් භාවිතයෙන් දෙපාවල සම අලුත් කරගන්න

 

ෆුට් ස්ක්‍රබ් භාවිතයෙන් දෙපාවල මැරුණු සම ඉවත් කරගන්න. මේ සඳහා නිවෙසේදීම හදාගන්නට පහසු ස්ක්‍රබ් එකක් තමයි කෝපි ස්ක්‍රබ්. කෝපි කුඩු ටිකක්, පොඩි කැට තියෙන සීනි ටිකක් සහ ඔලිව් තෙල් ස්වල්පයක් එකට මිශ්‍රකරලා මේ ස්ක්‍රබ් එක හදාගන්න. ඇඟිලි තුඩුවලින් ඉතා සෙමින් ස්ක්‍රබ් කිරීම සිදුකර, ඉන්පසු පිරිසුදු සිසිල් වතුරෙන් සෝදා හැර හොඳින් තෙතමාත්තු කර මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

 

අනවශ්‍ය රෝම නිවැරදිව ඉවත් කරගන්න.

 

දෙපාවල හැදෙන අනවශ්‍ය රෝම කැලැල් නොසිටින අයුරින් ඉවත් කරගන්න. කකුල්වල යටිපතුල් පැලෙන අයට කෝමාරිකා යුෂ හෝ ඔලිව් තෙල් කදිම සත්කාරයක්. දෙපාවලට මෙතෙක් කුඩම්මාගේ සැලකිලි ලබාදුන් අයටත්, තමන්ගේ දෙපා අලංකාර ලෙස පවත්වා ගන්නට උනන්දුව ඇති තවමත් ඒ සඳහා යොමු නොවුණු අයටත් මේ උපදෙස් වැදගත්වන බව නිසැකයි.

 

සරල ප්‍රතිකාරයක්

 

මඳ රස්නය සහිත උණුවතුර ස්වල්පයක් ගන්න. එයට Spa Solt හෝ නිවෙසේදී භාවිත කරන ලුණු ස්වල්පයක් දමන්න. එයින් ඔබේ යටිපතුල්වල විසබීජ ඉවත් කරයි. නැතිනම් ෂැම්පු ස්වල්පයක් භාවිත කළ හැකිය. එයට හේතුව සම සැහැල්ලු කිරිමයි. ඔබේ දෙපා විනාඩි විස්සක් පමණ උණුවතුර බේසමෙහි දමාගෙන සිටින්න. ෂැම්පු එකක් හෝ ක්‍රීම් එකක් හෝ මෙයට භාවිත කිරීමේදී එහි අන්තර්ගතය විමසා බැලිය යුතුය. හේතුව එය අපගේ සමට අහිතකර විය හැකි නිසාවෙනි. පසුව සෝදාගත් දෙපා Quentin stone යනුවෙන් වෙ‍ෙළඳපොළේ තිබෙන ගල රැගෙන එයින් යටිපතුල් ස්ක්‍රබ් කරන්න. පසුව දෙපා ජලයෙන් සෝදා හොඳින් වියළා ගන්න. අනතුරුව අප මුහුණට ආලේප කරන පැක් එකක් මේ සඳහා ද භාවිත කළ හැකියි. සුදු පොල්තෙල් ආදිය පසුව භාවිත කරන්න. එසේත් නැතිනම් මී පැණි ආලේප කළ හැකියි. මී පැණි යනු ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වළකා ඔබට ආරක්ෂාවක් ලබාදෙන දෙයකි. එසේම මී පැණි හොඳ බැක්ටීරියා නාශකයකි.

ඊළඟට යටිපතුළෙහි තෙතමනය රඳවා තබා ගැනීමට අපට කළ හැකි දේවල් පිළිබඳ ව විමසිය යුතුයි. මෙහිදී ඔබට වැස්ලින් වැනි ක්‍රීම් වර්ගයක් භාවිත කළ හැකිය. පසුව යටිපතුළෙහි ආලේප කළ ක්‍රීම් වර්ගය විවිධ ස්ථානවල නොගෑවෙන පරිදි පවත්වා ගැනීමට මේස් එකක් පලඳින්න. එය සැහැල්ලු මේස් එකක් විය යුතුය. ඊළඟ කාරණය අපගේ යටිපතුල්වලට කරන ට්‍රීට්මන්ට් හරිම අවධානයෙන් කළ යුතුයි. හේතුව හරිම සංවේදි සෛල යටිපතුල්වල තිබෙන නිසාය.

අනෙක් කාරණය නම් යටිපතුල් සඳහා මසාජ් එකක් කරගැනීමට උනන්දු වීමයි. හේතුව ලේ ගමනාගමනය පහසු වීම උදෙසා ය. ඊට අමතරව නිය ආලේපන භාවිත කරන විට සැලකිලිමත් වන්න. සමහර වෙලාවට නිතරම නිය ආලේපන නියපොත්තෙහි තිබෙන බැවින් නියපොත්තට අවශ්‍ය ඔක්සිජන් ලැබීම සිදුවන්නේ අඩුවෙන් විය හැකිය. ඒ හේතුවෙන් නියපොතු නරක් වීම සහ අපිරිසුදු වීම සිදුවේ. නිය ආලේපන භාවිත කරනවා වුවත් නිතරම නිය ආලේපන භාවිත නොකළ යුතුය. පාදවලට ආභරණ පලැඳින්නේ නම් විශේෂයෙන් පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් වන්න. නැතිනම් ඔබ පලඳින ආභරණයත් සමඟ ක්ෂණිකව දෑස් දෙපාවලට ගිය විට අපිරිසුදු නම් ඔබට ලැජ්ජාවට පත්වන්නට සිදු වෙයි. ඔබ දෙපා ලස්සනට තබා ගන්නේ නම් නිය ආලේපනත් අවශ්‍ය නොවේ. ඒ නිසා මුහුණ වගේම දෙපා පිළිබඳවත් නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.

 

උපදෙස් -

රූපලාවණ්‍ය ශිල්පිනී තක්ෂි වනිගසේකර