ස්කින් එක ඔයිලි ද?

ඔක්තෝබර් 23, 2023

ගමනක් යනකොට, වැඩට යනකොට පොඩියට මේකප් එකක් කරන්න ගෑනු ළමයි ආසයිනෙ. හැබැයි ඔයිලි ස්කින් එකක් නැත්නම් තෙල් සහිත හමක් තියෙන යුවතියකට නම් මේකප් කිරිල්ල එපා වෙන්නෙ මේකප් එකෙන් පස්සෙ මුහුණේ තෙල් ගතිය ඉස්මතු වෙන නිසා.

සාමාන්‍ය සමකට හරි වියළි සමකට හරි කරන විදියේ මේකප් එකක් තෙල් සහිත සමකට හරි යන්නෙ නෑ. එහෙම සමක් තියෙන යුවතියකට ලස්සනට මේකප් එක කරගන්න පහසු වෙන ටිප්ස් ටිකක් තමයි තරුණී වෙතින් අපි මේ අරගෙන ආවෙ. 

 

මුලින්ම පිරිසුදු වෙන්න

 

තෙල් සහිත සමක් ඇති යුවතියන් මද රස්නෙ වතුරෙන් මුහුණ සෝදන එක තමා සුදුසු. විශේෂයෙන් මේකප් එකකට කලින්. මද රස්නෙ වතුරෙන් මුහුණ සෝදගෙන තෙල් සහිත සමකට ගැළපෙන ක්ලෙන්සර් එකකින් සම පිරිසුදු කරගන්න. සාමාන්‍ය වතුරෙන් නැවත මුහුණ සෝදලා සම තෙත මාත්තු කරගන්න. හොඳින් සම වියැළුම ඇල්කොහොල්වලින් තොර ටෝනර් එකක් ගාගෙන ඒක විය ළෙන්න හරින්න.

 

සමේ තෙතමනයට මොයිස්චරයිසර්

 

ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන් මූණට ක්‍රීම් ආලේප කරන්න කැමතිම නැහැ. ඒත් සමේ තෙතමනය කියන්නෙ සම වයසට යන එක වළක්වන ප්‍රධානම සාධකයක්. ඒ නිසා තෙල් සහිත සමකට ගැලපෙන ඔයිල් ෆ්‍රී මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ටෝනර් එක වියළුණාම මොයිස්චරයිසර් ටිකක් අතට අරන් මුහුණේ හොඳින් පැතිරෙන්න තවරගන්න. 

 

ප්‍රයිමර් එකක් අනිවාර්යයි

 

ගොඩක් අය ප්‍රයිමර් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් ප්‍රයිමර් භාවිත කරන්නම ඕන. ඔයිල් ෆ්‍රී ප්‍රයිමර් එකක් මිලදී ගන්න. මේකෙ වාසිය තමයි සමේ තෙල් ගතිය මතුවෙන්නෙ නැතුව වැඩි කාලයක් මේකප් එක රඳවගන්න පුළුවන්කම. ඇහිපිල්ලම් ඇතුළු සම්පූර්ණ මුහුණේම ප්‍රයිමර් තවරන්න. 

 

ෆවුන්ඩේෂන් සහ කන්සීලර්  

 

ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන්ට ගැලපෙන්නෙ මැට් ෆිනිෂ් ෆවුන්ඩේෂන් එකක්. කන්සීලර් එක ලික්විඩ් එක තෝරගන්න. මේ දෙකම තෝරනකොට ඔයිලි ස්කින් එකකට ගැලපෙන නිෂ්පාදන තෝරගන්න අමතක කරන්න එපා. සමේ තද පැල්ලම් සහිත තැන් කන්සීලර් එකෙන් වහගන්න. ප්‍රයිමර් එක ඇස්පිල්ලම්වලත් තවරගත්ත නිසා ඇස්පිල්ලම්වලට නැවත කන්සීලර් අවශ්‍ය නැහැ. ඊළඟට ෆවුන්ඩේෂන් එක තවරගන්න එකෙන් පවතින සමේ පැහැයම ලබාගන්න පුළුවන්. 

මුහුණේ ටී සෝන් එක නැත්නම් නළල සහ නහය මතත්, තෙල් ගතිය වැඩිපුරම මතුවෙන කම්මුල් දෙපසත් ෆවුන්ඩේෂන් ගාන්න ඕන හුඟක් තුනියට. ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියක් මේ ක්‍රමය අනුගමනය කරන්නම ඕන. තුනියට ෆවුන්ඩේෂන් ගාපු තැන් උඩින් පවුඩර් ආලේප කරාම තෙල් ගතිය ඉස්මතු වෙන එක අඩු වෙනව. ෆවුන්ඩේෂන් ආලේප කරපු සම තමා අපේ මේකප් කැන්වස් එක.

 

පවුඩර් සහ බ්ලශ්

 

මේකප් එකට අවශ්‍ය සියලුම දේ ඔයිලි ස්කින් එකකට ගැළපෙන නිෂ්පාදන වෙන්න ඕන. පවුඩර් සහ බ්ලශ් එකත් එහෙමයි. 

පවුඩර් තවරනකොට ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන් කරන වරදක් තමයි ඝනකම පවුඩර් තට්ටුවක් ආලේප කරන එක. ඒකෙන් වෙන්නෙ සමේ සිදුරු අවහිර වෙලා පමණටත් වඩා වැඩිපුර තෙල් ගතිය ඉස්මතුවෙන එක. ඒ නිසා හැමවෙලේම තුනී පවුඩර් තට්ටුවක් ගාන්න. 

සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ ශිමරින් බ්ලශ් එකක් වුණාට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ගැළපෙන්නෙ මැට් බ්ලශ් එකක්. ස්වභාවයෙන්ම මතුවෙන සමේ දිලිසීමට ශිමරින් බ්ලශ් ගැළපෙන්නෙ නැහැ. 

 

අයි ලයිනර් සහ මස්කාරා

 

වෝටර් පෲෆ් අයි ලයිනර් සහ මස්කාරා මිලදී ගන්න. සමේ තෙල් ගතිය ස්වභාවයෙන්ම මතුවෙන කෙනෙක්ට වඩාත්ම ගැළපෙන්නෙ වෝටර් පෲෆ් මස්කාරා සහ අයිලයිනර්. ඒකෙන් තෙල් ගතිය නිසා මේකප් එක බොඳවෙලා යන එක වළක්වනව.

 

මේකප් එකෙන් පස්සෙ ඒක ලස්සනට තියාගන්න මේ දේවලුත් වැදගත්

 

පවුඩර් එක ළඟම තියාගන්න. පැය දෙක තුනකට සැරයක් ටී සෝන් එක සහ කම්මුල් දෙපැත්ත යන්තමින් පවුඩර් කරගන්න. මුලදිම පවුඩර් ලොකු තට්ටුවක් ආලේප කළොත් දාන පවුඩර් වැඩි වෙලා මේකප් එක ඉරිතලපු ස්වභාවයක් ගන්නව. මුලින්ම පවුඩර් ගොඩක් ගාන්න එපා කිව්ව එකට ඒකත් හේතුවක්.  

ටිෂූ වෙනුවට බ්ලොටින් පේපර්ස් ටිකක් තියාගන්න. මුහුණ පිහදාන්නෙ නැතුව බ්ලොටින් පේපර් එකෙන් ටී සෝන් එක සහ කම්මුල් වගේ තෙල් මතුවෙන තැන් යන්තම් තද කරල තෙල් ගතිය අඩු කරගන්න. මේකප් නොකරන තෙල් සහිත සමක් තියෙන යුවතියකට වුණත් ටිෂූ වෙනුවට බ්ලොටින් පේපර් ප්‍රයෝජනවත්.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර