කෙල්ලො ලස්සන කරවන කැරලි රැල්ල

නොවැම්බර් 13, 2023

 

කැරලි කොණ්ඩයක් කියන්නේ හැමෝටම හීනයක්. ස්වාභාවිකවම කැරළි කොණ්ඩයක හිමිකාරියක් වීම කියන්නෙම වාසනාවක් කියලයි හැමෝම කියන්නේ. ඒත් කැරලි කොණ්ඩයකට හීන දකින අයටත් ඒ වාසනාවන්තියන් අතරට එකතු වෙන්න පුළුවන් කියලා කිවුවොත් ඔබ පුදුම වෙනව ද? ඇත්තටම දැන් ඒ හීනය සැබෑවක් කරගන්න පුළුවන්. හැබැයි කර්ලි හෙයාර් එකක් නඩත්තු කරන්න ලේසි නැහැ. එයා ටිකක් හිතුවක්කාරයි. ගොඩක් පරිස්සම් කරන්න වෙනවා.

කොණ්ඩයක් රීබොංඩිං, ස්ට්‍රේටිං, ෆර්මිං කරනවා වගේ නම් නෙවෙයි කර්ලි කරද්දි හිතන්න ඕනේ දේවල් ගොඩාක් තියෙනවා. කෙස් කලඹ කර්ලි කරන්න කලින් පවතින කෙස් කලඹේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කෙස් කලඹේ ගනකම, වියළිබව, ඔයිලි ගතිය විතරක් නෙවෙයි හිස් කබල ගැනත් බලන්න ඕනේ. හිස් කබලේ තුවාල, හිස් හොරි තියෙනවා නම් කර්ලි කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම දැනට පාවිච්චි කරන ෂැම්පු, කන්ඩිෂනර්, හෙයා ඔයිල් මොනවද කියලත් බලන්න ඕනේ. ඒ වගේ ඇය ගර්භිණියක් ද, කිරිදෙන මවක් ද එහෙමත් නැත්නම් කිසියම් හෝ රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද කියලා බලලයි කර්ලි හෙයා එකක් සුදුසු ද නැද්ද කියලා තීරණය කරන්නේ.

ඉතින් එහෙම හදන කර්ලි කොණ්ඩය හරි විදිහට පරිස්සම් කළේ නැත්තම් දිගු කාලයක් කොණ්ඩය ඒ විදිහටම පවත්වා ගන්නට නොහැකි වේවි. නිසි ලෙස සාත්තු කරන්නේ නම් ආකර්ෂණීය කැරලි කේශ කලාපයන් පවත්වා ගැනීම එතරම් අපහසු නැත. සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරළි කේශ කලාපයන් වෙනස්වීම නිසා සාමාන්‍ය හිස කෙස්වලට සාත්තු කරන ආකාරය කැරලි සහිත කොණ්ඩයකට නුසුදුසු වේ.

පනාව තෝරාගැනීමේදී සැලකිලිමත් වන්න

කැරලි කේශ කලාපයක් තිබේ නම් සාමාන්‍ය පනාවක් හෝ බ්‍රෂ් එකක් එදිනෙදා කොණ්ඩයක් පීරන්න භාවිත කිරීම නුසුදුසු වන අතර දැනට එවැන්නක් භාවිත කරනවා නම් එය නවතා දැමිය යුතුය. එයට හේතුව වන්නේ සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරලි කේශ කලාපයන්හි අවුල් සෑදෙන ප්‍රමාණය වැඩි නිසා දැති එක ළඟ පිහිටා ඇති පනාවක් හෝ බ්‍රෂ් එකක් මඟින් හිසකෙස් විශාල ප්‍රමාණයක් කැඩීයාම සිදු වීමයි. කැරලි සහිත හිසකෙස් සඳහා භාවිත කළ යුතු වන්නේ දැති ඈතින් පිහිටා ඇති පනාවකි (Wide Toothed Comb). එමෙන්ම කොණ්ඩය පිරීමේදී ඉහළ සිට එකවරම පීරා දැමීමට උත්සාහ නොකර පහළ සිට ඉහළට කුඩා කොටස් වශයෙන් පීරීම සිදු කළ යුතුය.

ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම

කැරලි කොණ්ඩයක් ස්වාභාවිකවම වියළි නිසා දිනපතා ෂැම්පු කිරීම මඟින් හිසකෙස් දුර්වල වේ. හිසකෙස් අපිරිසුදු බව දැනුණු විට පමණක් හිසකෙස් ෂැම්පු කිරීම කළ යුතුය. එමෙන්ම කැරලි කොණ්ඩයට ගැළපෙන ආකාරයේ ෂැම්පු විශේෂයක් හෝ පළුදු සහ වියළි හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පු වර්ගයක් භාවිත කිරීමට සැළකිලිමත් විය යුතුය.

කන්ඩිෂනර් කිරීම

කැරලි කොණ්ඩයක් සඳහා වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැකිය. කැරලි කොණ්ඩයකට සාමාන්‍ය හිසකෙස්වලට වඩා තෙතමනය අවශ්‍ය වීම හේතුවෙන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම භාවිත කරන කන්ඩිෂනර් වර්ගය කැරලි හිසකෙස් සඳහාම හෝ වියළි හෝ පළුදු හිසකෙස් සඳහා භාවිත කරනු ලබන වර්ගයක් විය යුතුය. කන්ඩිෂනර්, ෂැම්පු කිරීම දිනපතා නොකළත් සතියට දින හතරක් ස්නානය කිරීම වැදගත් අතර, ෂැම්පු භාවිත නොකර හිසකෙස් මතට කන්ඩිෂනර් පමණක් ආලේප කළ යුතුය (Co-Washing).

කැරලි කොණ්ඩය කොටස් කිහිපයකට වෙන්කරගෙන කොටසින් කොටසට කන්ඩිෂනර් ආලේපකර ඇඟිලි මඟින් පිරීම සතියට හතර වතාවක් පමණ සිදු කිරීම අවශ්‍ය වේ. සාමාන්‍ය තුවායක් හිසකෙස් පිස දැමීම සඳහා භාවිත නොකළ යුතු අතර, ඒ සඳහා ටී ෂර්ට් එකක් වැනි දෙයක් යොදා ගැනීම වඩා සුදුසු වේ. සාමාන්‍ය තුවායක් මඟින් ඔබේ හිසකෙස් කැඩී යාමට වැඩි ඉඩක් ඇති නිසා ඔබේ හිසකෙස් මනාව පවත්වාගෙන යාම එවැනි තත්ත්ව මඟහැර ගැනීම වැදගත් වේ. හිසකෙස් පිස දැමීමේදී අනවශ්‍ය ආයාසයක් නොදිය යුතු අතර, තෙත ඉවත් කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් ය.

එමඟින් ඔබේ කොණ්ඩය වියළීමෙන් පසුව පිම්බෙන ස්වභාවය අවම වන අතර, කොණ්ඩයේ තෙතමනය ආරක්ෂා වේ. එමෙන්ම ස්නානයෙන් පසුව තෙත කොණ්ඩය පීරීමෙන් වළකින්න, එසේ කිරීමෙන් ඔබේ හිසකෙස් අනවශ්‍ය ලෙස කැඩීයාමක් සිදු විය හැකියි.

තෙල් සාත්තුව

හිසකෙස් සඳහා තෙල් සාත්තුවක් කිරීම ඉතාම වැදගත් වේ. සතියට හතර වතාවක් පමණ හිස මතට ඔලිව්, පොල් තෙල් වැනි තෙතමනය ආරක්ෂා වන තෙල් වර්ගයක් යොදා හිස් කබල හොඳින් සම්බාහනය කරන්න. ස්නානයට පෙර මෙවැනි තෙල් වර්ගයක් හිස මත මෙන්ම හිසකෙස් මත ද හොඳින් ගල්වන්න. මෙහිදී ඔබගේ හිසකෙස් අගත් තෙල් ආලේප කිරීමට පරික්ෂාකාරී වන්න. හිසකෙස් අගිස්ස කේශ කලාපයේ මුල සහ මැදට වඩා වියළි ස්වාභාවයක් ගන්නා නිසා හිසකෙස් අගිස්ස පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. හිසකෙස් අග ඔලිව් තෙල් හෝ සේරම් ස්වල්පයක් ආලේප කිරීම මඟින් හිසකෙස් අගිස්ස දුර්වල වී පැළී යාම වළක්වා ගත හැකිය.හිසකෙස් අග පැළී ඇත්නම් එය නිවැරදි ලෙස කැපීම වැදගත් ය. නමුත් නිරන්තරයෙන් කොණ්ඩය කැපීමෙන් කේශ කලාපය කොට වී යාමට ඉඩ තිබෙන බැවින් නිසි සාත්තුවක් මඟින් එය රැක ගැනීමට උත්සාහ කිරීම වඩා සුදුසු වේ.

ස්නානයෙන් පසු

ස්නානයෙන් පසු කොණ්ඩයේ තෙතමනය ඉවත් කරගැනීම සඳහා වියළනයක් භාවිත කිරීමට හුරු නොවිය යුතුය, ඒ හරහා අනවශ්‍ය ලෙස හිසකෙස් වියළි වේ. ස්වාභාවිකව හිසකෙස් වියළීමට හරින්න. විදුලි උපකරණ හිසකෙස් මතට භාවිත කිරීමත් හිසකෙස්වලට අහිතකර වේ. කැරලි සහිත හිසකෙස් ස්වභාවිකවම දුර්වල සහ පහසුවෙන් කැඩීයාම සිදු වන නිසා මෙවැනි උපකරණ යොදා ගැනීමෙන් හිස්කෙස් පළුදු වේ.

මෙවැනි කොණ්ඩයක් කරදරයක් හෝ පවත්වා ගෙන යාමට අපහසුවන්නේ නිවැරදි ලෙස සාත්තු නොකිරීම හේතුවෙනි. මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ කැරලි කොණ්ඩය නීරෝගීව තබාගැනීමට හැකි වෙවී