මම නටන්නේ ඒ දරුවන් වෙනුවෙන්

හඬක් නැති දරුවන්ට හඬක් නඟන වෛද්‍යවරිය සුලීශා පෙරේරා
දෙසැම්බර් 9, 2024

 

මම මේ නටන්නේ ශ්‍රවණාබාධ දරුවන් වෙනුවෙන්. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය කියලා කියන්නේ ඒ ක්‍රමවේදයට.

 

හඳ ලස්සනයි, ඒත් එහි ආවාට ගොඩයි. මුහුද ඇදහිය නොහැකි තරම් ලස්සනයි. ඒත් එය ලුණු රසයි, ගැඹුර අන්ධකාරයි. අහස අසීමාන්තිකයි, ඒත්...වලාකුළින් බරයි. ඉතින් ලස්සන හැමදෙයක්ම පරිපූර්ණ නැහැ, නමුත්, සුවිශේෂයි. මිනිස් ජීවිතත් ඒවගේමයි. මොකද මිනිසුන්ව නිර්මාණය කරන්නෙත් මේ සොබාදහමමයි.

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියන්නෙත් ඒ වගේම පිරිසක්. අඩුපාඩුකම් තිබුණත් ඔවුන් සුවිශේෂයි. ඒ අතරේ ඉන්න හඬක් නැති දරුවන් වෙනුවෙන් හඬක් නඟන වෛද්‍යවරියක් ගැන අපට අහන්න ලැබුණා. ඇය ශ්‍රවණාබාධ සහිත දරුවන් වෙනුවෙන් සංඥා භාෂාවෙන් වෙනස්ම ක්‍රමවේදයක් ලංකාවට ගෙන ආ වෛද්‍යවරියක්. ඇය වෛද්‍ය සුලීශා පෙරේරා. හැබැයි වෛද්‍යවරියකට වඩා නර්තන ශිල්පිනියක් ලෙසයි බොහෝ අය ඇයව හඳුන්වන්නේ. ඒ ඇගේ tik tok වීඩියෝ නිසයි. ඒ ටික් ටොක් වීඩියෝවලින් ඉදිරිපත් කරන්නේ නිකම්ම නිකං නැටුමක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඒ සැඟවුණු කතාව ඇය කියන්න පටන් ගත්තේ මේ විදිහට.

 

මෑතකදී මේ විදිහට මගේ ටික් ටොක් වයිරල් වුණාට මම ඒක අවුරුදු 6ක විතර ඉඳලා කරන දෙයක්. මගේ ටික් ටොක් බලන ගොඩක් අයට මගේ වෘත්තිමය පසුබිම සහ මගේ නර්තන ජීවිතය ගැන ලොකු අවබෝධයක් නැහැ. සමහර අය හිතනවා කොහෙන්දෝ අාපූ ඩොක්ටර් කෙනෙක් ටික් ටොක් එකේ නටන වීඩියෝ ටිකක් තමයි මේ දාන්නේ කියලා. ලංකාවෙ මිනිස්සුන්, විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ රෝගී තත්ත්වයේ ස්වභාවය ගැන දැනුම්වත් නැහැ. ඉතින් මම මේ නටන්නේ ශ්‍රවණාබාධ දරුවන් වෙනුවෙන්. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය කියලා කියන්නේ ඒ ක්‍රමවේදයට.

මේ තරම් ලස්සනට නටන්න ඉගෙන ගත්තේ කොහොම ද?

රැජිනි සෙල්වනායගම් මහත්මියගෙන් තමයි මම නර්තනය ඉගෙන ගත්තේ. එතකොට මට වයස අවුරුදු 4යි. ඒ කාලේ රූපවාහිනී සංස්ථාවේ ළමා වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මගේ ළමා කාලය ගත වුණේ ඒ විදිහට. ළමා වැඩසටහන්, නාට්‍ය හා රංග කලාව, නර්තනය මේ හැමදෙයක්ම මම විධිමත්ව ඉගෙන ගත්තා.

 

විශේෂ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍යය වගේ විෂයයක් තෝරගන්න හිතුවේ ඇයි?

මගේ උපන් ගම කෝට්ටේ. මගේ අම්මා පිටකෝට්ටේ සෙවණ විශේෂ අධ්‍යාපන පාසලේ ගුරුවරියක් විදිහට කටයුතු කළා. එතකොට මට පුංචි කාලේ ඉඳලම ලැබුණේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවොත් එක්ක වැඩකරන්න. මම පාසල් යන්න කලින් අම්මා මාව ඒ පාසලේ තියාගෙන ඉන්නවා අම්මාගෙ වැඩ ඉවර වෙනකම්. ඉතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මට හරි සාමාන්‍ය දෙයක් වුණා.

මගේ ආචාර්ය උපාධිය සඳහා විශේෂ අධ්‍යපනය සහ මානසික සෞඛ්‍යය විෂයය තෝරගන්න හේතුවක් වුණේ මගේ කුඩා කාලයේ අත්දැකීම.

 

වෘත්තීය ජීවිතයේදී වෘත්තීන් කිහිපයකම නියැලෙන්න ඔබට අවස්ථාව ලැබුණා.

ආචාර්ය උපාධියෙන් පසු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක සේවාවේ මනෝ චිකිත්සකවරියක් විදිහට වැඩ කළා. මම දැන් අවුරුදු 2ක විතර ඉඳන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් මනෝ චිකිත්සකවරියක්. එහිදී ආබාධයන් සම්බන්ධයෙන් විශේෂඥවරියක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මාතර, කුරුණෑගල සහ අනුරාධපුරය ප්‍රදේශවල අබිමංසල කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ශ්‍රී ලංකා යුද හමුදාවේ රණක්ෂිතයෝ වෙනුවෙනුත් මනෝ චිකිත්සකවරියක් විදිහට කටයුතු කරනවා.

ඒ වගේම ලංකාව පුරාම දිළිඳු පවුල්වල ඉන්න සංඥා ආබාධ සහිත දරුවන් වෙනුවෙන් නොමිලේ සායන පවත්වනවා. යුද හමුදාවටත් මම කිසිදු මුදලක් අය නොකර සේවය ලබා දෙනවා. මගේ වෘත්තීය ජීවිතය ගත්තොත් මම විශේෂ අධ්‍යාපන ගුරුවරියක්, ෂැඩෝ ගුරුවරියක්, චර්යා කළමනාකරණ චිකිත්සකවරියක්, රංග චිකිත්සකවරියක්, නර්තන චලන චිකිත්සකවරියක්, මනෝ වෛද්‍යවරියක්.

 

සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය කියන ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්නේ ඔබ?

ලංකාව ඇතුළේ සංඥා භාෂාව සඳහා පරිවර්තකවරු ඕනෙතරම් ඉන්නවා. හැබැයි කලාව පැත්තෙන් ගත්තොත් ගීත රසවින්දනය, රසාස්වාදය, භාව ප්‍රකාශය වගේ කලාත්මක දේවල් සංඥා භාෂාවෙන් පරිවර්තනය වීමක් සිදු වෙන්නේ නැහැ. “මනමේ, සිංහබාහු වගේ නාට්‍ය තියෙනවා. ඒවගේ ලස්සන ගීත තියෙනවා. ඒ දේවල් බිහිරි දරුවෝ දන්නෙවත් නැහැ. ඕනෑම විශේෂ පාසලකට ගියොත් වන්නම් දහ අට නටන දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි නටන්නේ අර්ථයවත් දන්නේ නැතුව. ගුරුවරයා ඉස්සරහ නටනවා. ඒ දිහා බලාගෙන මේ බිහිරි දරුවෝ නටනවා. මගේ ගවේෂණයේදී බිහිරි දරුවන් විතරක් නෙවෙයි සෑම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ම අවධානයට යොමු කළා. ඔටිසම් දරුවන් පවා. එහිදී මම තේරුම් ගත්ත දෙයක් තමයි කලාව පරිවර්තනය කිරීමෙන් ඒ සෑම දරුවෙකුටම සතුටක් සහ දැනුමක් ගේන්න පුළුවන් කියලා. උඩරට, පහතරට, භරත නාට්‍යම්, සබරගමු කියන නර්තන ශෛලීන් විධිමත්ව ඉගෙන ගත් කෙනෙක් නිසා මට පුළුවන් වුණා අත් දෙකෙන් හස්ත සංඥා ඉදිරිපත් කරමින්, මුහුණේ ඉරියව් පැහැදිලිව පෙන්වමින්, එතකොට ශරීරයේ ලාලිත්‍යයද මුසු කරමින් පාද හසුරුවා නර්තනයේ යෙදීමෙන් ගීත පරිවර්තනය කරන්න. ඒකෙන් පුළුවන් වුණා ප්‍රථම වතාවට සංඥා භාෂාවෙන් නර්තන අර්ථ නිරූපණය කියන ක්‍රමවේදය ගෙන එන්න. ඒකේ තියෙන්නේ මගේම නර්තන ශෛලියක්. ඒකෙන් විශේෂ අවශ්‍යතා දරුවෝ, බිහිරි ප්‍රජාව, පන්ති කාමරයේ චිත්තවේගවලින් පීඩිතව ඉන්න දරුවෝ, කාංසාමය තත්ත්වයන්ගෙන් පීඩා විඳින දරුවෝ, ශාරීරික සංකූලතා සහිත දරුවෝ වගේ අයට ප්‍රතිකාරක සැලසුමක් විදිහට මනස සුවපත් වෙන්න මේ ක්‍රමය නර්තන චලන චිකිත්සාවක් විදිහට මම යොදා ගන්නවා.

 

[email protected]