බයික් එකෙන් වැඩදාන ලංකාවේ පුංචිම කෙල්ල

මෙතුලි
ජුනි 9, 2025

කොළඹට මේ දවස්වල තද වැස්ස. වැස්ස මදිවට වරින්වර හමන සුළඟ. ඒ අස්සේ එකපාරම පාත් වෙන හෙණ ගෙඩි. මේ කිසිම දෙයක ගාණක් නැතිව බයිසිකලයක තනි රෝදයෙන් දස්කම් පාන පුංචිම පුංචි කෙල්ලෙක්. එකපාරටම රෝද දෙකට අහුවෙන වතුර පාරවලින් වතුර මල් හදනකොට එයා තමන්ගේ පාඩුවේ ඔල්වරසන් අත්පොළසන් මැද දස්කම් පානවා හරි අපූරුවට. මේ පුංචි කෙල්ල අපිට හම්බවුණේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු මෝටර් ෂෝ එකේදි. එයා තමයි අපේ රටේ ඉන්න ළාබාලතම මෝටර් බයිසිකල් පිමි සූරිය. එයාලගේ භාෂාවෙන් කිව්වොත් ලංකාවේ ඉන්න පොඩිම ස්ටන්ටර්.

 

ස්ටන්ටර් කෙනෙක් කිව්වට පස්සේ ඔයාට ටිකක් නුහුරුයි, නුපුරුදුයි නේද? ස්ටන්ටර් කෙනෙක් කියන්නේ මෝටර් බයිසිකල්වලින් වික්‍රමාන්විත, විශ්මිත වැඩ දාන චරිත. ඇත්තටම මේ පුංචි කෙල්ල ප්‍රදර්ශන භූමියේ හිටිය කිසිම කෙනකුට ඇස් පියවෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. ඒ තරමටම එය වේගවත්. ඔල්වරසන් මැද්දෙන් පුංචි මෙතුලි ප්‍රදර්ශන ධාවන පථයට පිවිසුණා.

 

නිවේදකයාගේ හඬ - මේ තමයි ශ්‍රී ලංකාවේ ළාබාලතම මෝටර් බයිසිකල් ස්ටන්ටර් ක්‍රීඩිකාව. මීට අවුරුදු 4කට ඉස්සර පුංචිම පුංචි බයිසිකලයකින් දස්කම් දක්වපු මේ ක්‍රීඩිකාව ලොකු අයටත් මෙල්ල කිරීමට අපහසු බයිසිකලයකින් ඔබ හමුවේ දස්කම් විස්කම් දක්වනු ඇති....

 

පුංචි මෙතුලි එහෙම ක්‍රීඩා පිටියට ආවා. මෙතුලි දක්වපු දස්කම් නිසාම වගේම ලංකාවේ ළාබාලතම ස්ටන්ටර් ශූරිය වීම නිසාම අපි ඇයව තරුණී පිටු අතරට අරගෙන ආවා. පුංචි මෙතුලිගේ වයස අවුරුදු අටයි. ඇගේ ගම බෙන්තර. එයාගේ තාත්තා මෝටර් ධාවන ක්ෂේත්‍රයට ප්‍රේම කරන වගේම කාර්මික අධ්‍යයනය ගැන හොඳින්ම දන්න කෙනෙක්. මෙතුලිගේ මේ ගමනට උදව් කළේ තාත්තා. ඒ නිසාම මෙතුලි නොදන්න ඉතිහාස කතාව අපි ආරම්භ කළේ තාත්තාගෙන්. ඔහු ඉරේෂ් චේතන.

 

"හැමෝම දුවට චියර් කරද්දි තාත්තෙක් විදිහට මට ලොකු සතුටක් දැනෙනවා.

මමත් ඉස්සර බයිසිකල් පැද්දා. කාලෙත් එක්ක බයිසිකල් පැදිල්ල අඩු වුණා. හැබැයි ආසාව නම් අඩු වුණේ නැහැ. ඒ ආසාව නිසාම මම නිතර ෆෝන් එකෙන් මෝටර් බයික් ස්ටන්ට් වීඩියෝ බලනවා. එහෙම බලද්දී දුවත් මගේ ළඟට ඇවිත් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. දුවත් මගේ ආසාවට ආස වුණා. මගේ ආසාව එයාගේ ආසාවක් කර ගත්තා. දුවටත් ඕනේ වුණා බයික් පදින්න. ඒ විදිහටයි දුව බයික් පදින්න පටන් ගත්තේ.

 

දුව මුලින්ම බයික් එකක් පදින්න පුරුදු වෙද්දි දුවට වයස අවුරුදු 5යි. මගේ බයිසිකලයේ ටැංකිය උඩ දුවව වාඩිකරවගෙන තමයි මම මුලින්ම දුවට පුරුදු කළේ. ඊට පස්සේ එයාට තනියම බයික් එක ගෙනියන තරමට මම එයාට පුරුදු කළා. සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් මේ වගේ බයික් එකක් ළඟින් යද්දිත් පොඩ්ඩක් ගැස්සෙනවනේ. හැබැයි දුවට බය කියලා දෙයක් ගෑවිලාවත් තිබුණේ නැහැ.

 

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ යතුරුපැදි ක්‍රියාදාම පුහුණුකරු ජූඩ් ඇලෙක්ස් මගේ මිත්‍රයෙක්. ඔහු දුවගේ වීඩියෝ දැකලා එයා තමයි කිව්වේ දුවව ස්ටන්ට්වලට දාලා මෝටර් ෂෝවලට ගේමු කියලා.

 

මෙතුලි දැන් වැඩ දාන්නේ එසේ මෙසේ බයිසිකලයකින් නෙවෙයි.....

 

එයා දැනට බයිසිකල් තුනකින් ස්ටන්ට් කරලා තියෙනවා. මුලින්ම එයාට මම අරන් දීපු බයික් එක හරි සරලයි. ඒක අතින් ඇදලා ස්ටාර්ට් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක තණකොළ කපන මැෂින් එකක ක්‍රියාවලියට සමානයි. ඒක ඇත්තටම සෙල්ලම් බඩුවක් වගේ. ඊට පස්සේ එයා පදින්න ගත්තේ සෙමි ඔටෝ ට්‍රේල් බයික් එකක්. දැන් එයා පදින්නේ හොන්ඩා MSR 50 කියන බයික් එක. රේසින් සඳහායි මේ බයික් වර්ගය පාවිච්චි කරන්නේ. ඇත්තටම ඒ බයික් එක පොඩි අය පදින එකක් නෙවෙයි. වැඩිහිටි පිරිමි පදින බයික් එකක්. ඒ වගේ බයිසිකලයකින් මේ වයසේ දැරියක් ස්ටන්ටින් කරන එක ගැන හැමෝම පුදුම වෙනවා.

 

පොඩි වයසෙන් වැඩ දාන මෙතුලි දැන් ඕන බයිසිකලයකට ඔට්ටුයි. ඇගේ වැඩ දකින ඕන කෙනෙක්ට එහෙම නොහිතෙන් නම් හේතුවක් නැති තරම්. දුවටයි මටයි බයික්වලින් තොර ලෝකයක් නැහැ. මම ඕනතරම් මෝටර් ෂෝවලට ගිහින් තියෙනවා. මගේ දුවගේ වයසේ බයික් රේස් පදින දුවලා හිටියට ස්ටන්ටින් කරන කවුරුත් නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ස්ටන්ත්ටින් කරන ළාබාලතම දුව තමයි මගේ දුව.”

 

බයික් පදිනවා කියන්නේ අනතුරු වෙන්න තියන ඉඩකඩත් වැඩියි කියන එක නේද?

 

පදින කෙනාට වගේම බයික් එක පෙරළුණොත් හානි නොවෙන්න ආරක්ෂක බයික් ක්‍රෑෂ් බාර් සහ ක්‍රෑෂ් බොබින් හයි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අනෙක් බයික්වලට නවීකරණය කරන ලද අමතර කොටස් ගන්න තියෙනවා. නමුත් ස්ටන්ට් බයික්වලට ඒවා කොහෙවත් ගන්න නැහැ. ඒ නිසා අමතරව එකතු කරපු ක්‍රෑෂ් බාර් සහ ක්‍රෑෂ් බොබින් මම ම හැදුවා.

එයාගේ ආරක්ෂාව පැත්තෙන් චෙස් ගාර්ඩ්, එල්බෝ ගාර්ඩ්, ග්ලවුස්, ෆුල් ෆේස් හෙල්මට් වගේ ඒ හැමදේම පාවිච්චි කරනවා. පුහුණුවීම්වලදීත් තරගවලදීත් ඒ දේවල් පාවිච්චි කරනවා.

 

බයික් පැද්දා කියලා දුව අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කරගන්නේ නැහැ.

දුව ඉගෙන ගන්නේ ගෝනගල ජාතික පාසලෙන්. එයා ඉන්නේ 4 වැනි ශ්‍රේණියේ. ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවා. තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා අපිට. පුතා ඔනෙල්, දුව දිනලි එයාලත් බයික් පදින්න හරි ආසයි. බිරිය සුදර්මා ප්‍රියදර්ශනී. මම දුවගේ ආරක්ෂාවන් ගැන හරියම බලන නිසා බිරිය, දුව බයික් පදිනවට අකමැත්තක් නැහැ. “ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරස්න් මැද මෙතුලි ඉන්නේ කියාගන්න බැරි සතුටකින්. ඇය ඒ සතුට වචනවලට පෙරළන්න අමතක කළේ නැහැ.

 

“මම අවුරුදු 6 ඉඳලා BMICH එකේ තිබුණ හැම මෝටර් ෂෝ එකකටම සම්බන්ධ වුණා. පහුගිය දවස්වල පානදුරේ සහ කළුතර මෝටර් ෂෝවලදිත් මගේ හැකියාවන් පෙන්නුවා. මගේ ලෝකෙම වෙලා තියෙන්නේ මේ ක්‍රීඩාව. මෝටර් ෂෝවලට ස්ටන්ටින් කරන්න එන පොඩිම කෙනා මම නිසා මට කවුරුත් ආදරෙයි. ප්‍රංශයේ ඉන්නවා බයික් ස්ටන්ටින් කරන නැන්දා කෙනෙක්. එයා ගැන මුළු ලෝකෙම කතා කරනවා. එයා සාරා ලෙසිටෝ. ඉතින් මටත් ඕනේ එයා වගේ ලෝකෙම දන්න බයික් ස්ටන්ටර් කෙනෙක් වෙන්න.”

 

ඉතින් ලෝකයක් ඉදිරියේ ලොකු වැඩ පෙන්වන්න පුංචි මෙතුලිගේ අධිෂ්ඨාන බලාපොරොත්තුවට තරුණී අපෙන් ද සුබපැතුම්!