ගැබිනි මව කෝවිඩ් හමුවේ අනාරක්ෂිත ද?

මැයි 31, 2021

 

පෙරුම් පුරා කුසට පැමිණි බිලිඳා පිළිබඳ මවුවරුන්ට ඇත්තේ අසීමිත බලාපොරොත්තුවකි. නව මාසයක් පුරාවට ඇය පේවී සිටිනුයේ නුදුටු බිලිඳා වෙනුවෙනි.

මේ එක්තරා ලෙසකට ගැබිනි මව අනාරක්ෂිතව ඇති වකවානුවකි. කෝවිඩ් පළමු හා දෙවැනි රැල්ල අභිබවා යමින් තෙවැනි රැල්ල ගැබිනි මව්වරුන් කිහිපදෙනෙකුම බිල්ලට ගෙන තිබුණි. ‍ඊට අමතරව අසාධ්‍ය වූ ගැබිනි මවුවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකවල පවා ප්‍රතිකාර සඳහා යොමු විණි.

මෙවැනි වකවානුවක ගැබිනි මවුවරුන් මානසික ආතතියකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ඔවුන් බොහොමයක් කෝවිඩ් නියුමෝනියාව නිසා පීඩා විඳින්නට විය. තුන්වැනි රැල්ලේ ඇති රෝග ලක්ෂණවල යම් යම් වෙනස්කම් ඇති නිසා දෝ ගැබිනි මව්වරුන්ගෙ තත්ත්වය තරමක් අවධානම් අතට හැරෙමින් පවතී.

 

මෙවන් වකවානුවක ගැබිනි මව්වරුන් මාරාන්තික වන තත්ත්වය නිසා සමස්තයක් ලෙස ගර්භණී මව්වරුන් සියලුම දෙනා පාහේ දැඩි සේ බියට පත්ව සිටියි. ඒ නිසාම ඔවුන් යම් ආතතියකට ද පත්ව සිටියි. මේ නිසා මානසික වෛද්‍ය උපදේශනයන් ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ.

 

මේ වන විට ගර්භණී මව්වරු තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමඟ සෘජු සබඳතාවක් පැවැත්වීම අත්‍යවශය කරුණකි. ඔබ යම් හෙයකින් කෝවිඩ් ආසාදිතයකු හෝ පළමු පෙළ දෙවැනි පෙළ ආශ්‍රිතයකු වූයේ නම් රෝග ලක්ෂණ පිළිබඳ සැලකිල්ලෙන් සිටීම ඒ පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කර සිටීම වැදගත් වේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සේවා නිලධාරියා ද ඒ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුවේ.

යම් හෙයකින් ගැබිනි මවක් කෝවිඩ් සම්බන්ධයෙන් හෝ ගර්භණීභාවය සම්බන්ධයෙන් කිසියම් අසීරුතාවක් දැනේ නම් සුවසැරිය ගිලන් රථය අමතන්න. ඊටත් වඩා පහසුවෙන් සහ ඉක්මනින් නිවෙසේ වාහනයකින් ඒමට හැකිනම් කඩිනමින් රෝහල කරා පැමිණෙන්න.

 

ගැබිනියන් සායන කරා ගෙන්වන්නේ අත්‍යවශ්‍ය කාරණාවලදී පමණි. සති 32 න් පසු ප්‍රසූතිය සිදුකරන රෝහලේ සායන වෙත වෛද්‍ය උපදෙස් අනුව ඒමට පුළුවන. එහෙත් ඔවුන් සහභාගි විය යුතු වන්නේ ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙහෙයවන ගැබිනි සායන සඳහා යි. මේ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ද පැමිණෙන නිසා ඔබට වඩාත් සමීප ව ගැටලු ඉදිරිපත් කළහැකියි. එතැනින් නිරීක්ෂණය වන ගැබිනි මව්වරුන් යම් ගැටලුවක් ඇත්නම් රෝහල වෙත යැවේ. හැකිතාක් රෝහල්වල රෝගීන් අතර ගැවසීම අවම කිරීම මෙයට හේතුවයි.

 

ගැබිනි මවක් මාස 9 පුරාවට කරගත යුතු මුත්‍රා, රුධිර පරීක්ෂණ.... ඇතුළු වෙනත් පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ආදිය සිදු කර ගැනීම සඳහා රෝහල් වෙත යොමු වීමට සිදුවේ. මේවා මඟහැර සිටීම සුදුසු නැත.

 

කෝවිඩ් වැලඳුණ පමණින් ප්‍රසූතිය සිදු කරන නාරි හා ප්‍රසව ක්‍රමවේදයේ වෙනසක් සිදුවන්නේ නැහැ. එහෙත් ගැබිනි මවට කෝවිඩ් නිසා තවදුරටත් ගර්භණීබව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇත්නම් සීසර් සැත්කමක් ඔස්සේ ප්‍රසවය සිදුවේ.

 

දරුවාගේ ප්‍රසූතිය සිදුකරන කාලය තීරණය කරනුයේ නාරි හා ප්‍රසව ක්‍රමවේදයන්ට අනුවයි. එය ද කෝවිඩ් නිසා ඉක්මන්වීමක් නොවේ.

අපි හිතමු අධි රුධිර පීඩනය නිසා සති 38 න් දරුවා ප්‍රසූත කිරීමට සැලසුම් කළා යැයි කියා. මෙවැනි මවකට කෝවිඩ් උග්‍ර වුවහොත් එම තත්ත්වය යම් තරමකට පහව යනතුරු සිට ප්‍රසූතිය සිදුකරයි. ඒ කෝවිඩ් උත්සන්න වූ විට ප්‍රසූතිය කරා යෑම අවධානම් වන බැවිනි. ඒ පිළිබඳව මව වද වියයුතු නැත. රෝහල්ගත වූ පසු ඔබට සිදුකරනුයේ සුදුසුම දෙයයි.

ගැබිනි මවක් වන ඔබ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළේ නම් මද උණ, පපුවේ වේදනාව, හුස්ම ගනිද්දී පපුව හිරවනවා මෙන් දැනීම, උගුර දැවිල්ල, කෙටි දුරක් ඇවිදගෙන යෑමේ දී හෝ පඩිපෙළ නැඟීමේ දී අපහසුතා ඇත්නම් වහාම ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරි කාර්යාලය හරහා රෝහල්ගතවීමට කටයුතු කළ යුතුයි.

කෝවිඩ් ආසාදනය වීමෙන් කුසේ සිටින දරුවාගේ වැඩීමේ වෙනසක් වේවිද? ගබ්සාවක් වේවිද? මේ ආදි ගැටලු රැසකට මැදිවීමට ගර්භණි මව්වරුන්ට සිදුව ඇත. එහෙත් වෙනදා සිදුවන ගබ්සාවක් හැරුණු විට ගබ්සාවල සංඛ්‍යාත්මක වැඩිවීමක් හෝ කලල විකසනයේ වෙනස්කම් දරුවන්ගේ අසාමාන්‍යතා කෝවිඩ්වල බලපෑමෙන් සිදුව ඇතැයි වාර්තා නොවන තරම්ය. එබැවින් කෝවිඩ් වැලඳුණ ගැබිණි මව්වරුන් ඒ පිළිබඳ වදවිය යුතු නැත.

නමුත් එක්තරා කරුණක් පැහැදිලිවම දැකගත හැකිව තිබේ. එනම් සති 40 ට පෙර දරු ප්‍රසූතිය සිදු කිරීම් වැඩි වී තිබේ.

ගර්භණී භාවයත් කෝවිඩ්වල බලපෑමත් මෙලෙස එකට ඈඳෙනුයේ කොහොමත් ගර්භණී සමයේ පෙනහලු ඉහළට එසවී, එහි ධාරිතාව වැඩිවීම ආදිය සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ මව දරුවා වෙනුවෙන් ද මේ ක්‍රියාවේ නිරත විය යුතු නිසාය. කෝවිඩ් යනු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයකි. ගර්භණී මවකගේ කෝවිඩ් සමඟින් පෙනහලු ආතතියට ලක්වීම සිදුවන්නේ නිරායාසයෙනි.

 

 

 

 

කෝවිඩ් වැලඳෙන බහුතරයක් ගර්භණී මව්වරුන් රෝග ලක්ෂණ රහිත අයයි. ඉතා සුළු කොටසක් සුළු වශයෙන් රෝග ලක්ෂණ පෙන්වයි. සියයට අනූවක පිරිසක් මෙම කාණ්ඩ යටතේ සිටියි. සියයට දහයක පමණ පිරිසක් සාමාන්‍ය රෝග ලක්ෂණ යටතේ රෝහල්ගත කරයි. ඒ අතරිනුත් දරුණු නියුමෝනියා තත්ත්වයට පත්ව ඇත්තේ සියයට එකක් හෝ දෙකක් පමණ මව්වරුන්ය. එසේ වූ මව්වරුන් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම අසීරු කරුණකි. ඒ ගර්භණී භාවය කොහොමත් ස්වසන පද්ධතියට අමතර බලපෑමක් එල්ල කරන තත්ත්වයක් නිසාවෙනි.

ගර්භණී මව්වරුන් අතරේ අවධානම් සහිත මව්වරුන් පිරිසක් සිටියි. අධි රුධිර පීඩනය ඇති අය ප්‍රීඑක්ලැම්සියා තත්ත්වය (ගර්භ වලිප්පුව) ඇති මව්වරුන් ඉතාම අවධානම් අයයි. මේ නිසා ගර්භණීභාවයත් සමඟ අධි රුධිර පීඩනය තිබීම පැහැදිලිවම අවධානම් වූවකි.

හෘදයේ ගැටලු ඇති අධි රුධිර පීඩනය ඇති, ඇදුම රෝගය ඇති සියලු මව්වරුන් කෝවිඩ් තත්ත්වය හමුවේ අවධානමේ සිටියි. එවැනි රෝගියකුට කෝවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් අනිවාර්යයෙන් ම රෝහල්ගත විය යුතුවේ. මීට අමතරව දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇති අය, ස්ථුල මව්වරුන්, වයසින් වැඩි මව්වරුන් අධි අවදානම් අයයි.

සාමාන්‍ය රෝග ලක්ෂණ ඇති කෝවිඩ් රෝගීන් නිවෙසේ සිටීමට නිර්දේශ කළත් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සංගමය ගර්භණී මවුවරුන් වෙනුවෙන් එම පිළිවෙත අනුගමනය නොකරයි. මුල් මාස තුනේ කෝවිඩ් වැලඳුණු ගැබිනි මවකට වඩා අවසන් මාස තුනේ කෝවිඩ් වැලඳෙන මවක් ගත කරනුයේ අවධානම් කාලසීමාවකි.

පළමු මාස තුනේ කෝවිඩ් වැලඳී සුවවන මවකට සති 26 න් පසු සති දෙකකට වරක් රෝහලට පැමිණ ස්කෑන්

පරීක්ෂණයකට ලක් වෙමින් දරුවාගේ වර්ධනය පිළිබඳ සැලකිල්ලෙන් සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබේ. දරුවාගේ වර්ධනයේ වෙනසක් ඇත්නම් සති 37 න් දරුවා බිහිකිරීමට කටයුතු සලස්වයි.

කෝවිඩ් සම්බන්ධයෙන් රෝහල් ගත වන සියලුමදෙනා ඇතුළුකර ගන්නේ කෝවිඩ් යැයි සැක කරන (Isolation) වාට්ටුවකටයි. මෙතැනට එන සියලුම මව්වරුන්ට රැපිඩ් ඇන්ටිජන් හෝ පී. සී. ආර්. පරීක්ෂණය සිදු කරයි. කෝව්ඩ් නැතිනම් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි. කෝවිඩ් නොමැති නම් රෝහලේ නැවතී සිටිය යුතු නොවේ නම් නිවෙස වෙත යවයි. කෝවිඩ් පොසිටිව් වූයේ නම් කෝවිඩ් මධ්‍යස්ථාන වෙත නොව පහසුකම් ඇති රෝහල් වෙත යවයි.

කෝවිඩ් පොසිටිව් වූ මවක් රෝහල් ගත කර දින 10 කින් පමණ පී. සී. ආර්. වාර්තා නෙගටිව් වූ පසු නිවෙස කරා යවයි. තවත් දින 4 ක් නිවෙසේ දී ස්වයං නිරෝධායනය විය යුතුවේ. එයින් පසු තවත් දින 14 ක් නිරෝධායනයේ යෙදෙන්නට උපදෙස් ලැබේ.

 

ප්‍රසූතියේදී දරුවාටත් කෝවිඩ් වැලඳේද?

අම්මට කෝවිඩ් වැලඳුණ පලියට ම දරුවාට කෝවිඩ් වැලඳේ යැයි කිව නොහැකියි. අලුත උපන් දරුවන්ට බොහෝවිට කෝව්ඩ් වැලඳී ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසුවයි.

 

කිරි දීම

කෝවිඩ් අවධානමට වඩා අලුත උපන් දරුවකුට මව්කිරි දීමේ වාසි වැඩියි. මේ නිසා මව කෝවිඩ් වැලඳුණත් හොඳ

සෞඛ්‍ය තත්ත්වයෙන් සිටී නම් මව්කිරි දීම කළ යුතුමයි. එය දෙවීමකින් තොරව සෘජුවම පියයුර හරහා දිය හැකියි.

 

මව්කිරි

නිසා දරුවාට කෝවිඩ් ආසාදනය වූ බවක් පෙනෙන්ට නැත. මෙහිදී මව අත් සෝදා, මුඛ ආවරණයක් පැලඳ, අම්මා කිවිසුම් ආදිය දරුවාගේ පැත්තට මඟහැර යැවිය යුතුයි. මවගේ ප්‍රතිදේහ හරහා දරුවාට යම් ප්‍රතිශක්තියක් ඇති නිසා කෝවිඩ් වැලඳුණු අලුත උපන් දරුවන් වුව අමාරු වී නැත. මව අසනීප තත්ත්වයේ පසු වේ නම් මවුකිරි දොවා දරුවාට

ලබා දිය යුතුවේ.

 

ගැබිනි මව්වරුන්ට එන්නත්

ගැබිනි මව්වරුන්ට කෝව්ඩ් එන්නත ලබාදීමේ නිශ්චිත තීරණයක් තවමත් අපේ රටේ ගෙන නැත. ලෝකයේ බොහෝ රටවල් ගැබිනි මව්වරුන් සඳහා ලබාදුන් එන්නත් වර්ග කිහිපයක්ම ඇතත් ඒවා තවමත් මෙරටට ලැබී නැත. ගැබිනි කාලයේ අවධානම් සහගත මව්වරුන්ට කෝවිඩ් එන්නත ලබාදීම සුදුසු බව නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සංගමයේ තීරණයයි. එවිට කෝවිඩ් වැලඳීමේ ප්‍රවණතාව අඩුවීමට සහ එයින් සංකූලතා ඇතිවීමේ අවධානම අඩුවේ. එබැවින් එන්නත ලබා ගැනීම වඩාත් සුදුසුයි. නුදුරු දිනකදීම MOH හරහා ගැබිනි මව්වරුන්ට මෙම ක්‍රියාවලිය සිදුකරනු ඇත.

කිරිදෙන මව්වරුන්, ගැබිනි මව්වරුන්, මද සරු බව සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමන්ගේ කැමැත්ත අනුව මෙම එන්නත ලබා ගැනීමට හැකියාව තිබේ.

කෝව්ඩ් ගැන සිතමින්ම ඉන්නා නිසා අනෙක් රෝග අමතක කර සිටියි. මේ නිසා ඩෙංගු වැනි තත්ත්ව ඇති ගැබිනි මව්වරුන් වඩාත් ප්‍රවේශම් විය යුතුවේ. මන්ද ගැබිනි මවකට කෝවිඩ්වලටත් වඩා ඩෙංගු රෝගය වඩාත් ව්‍යාකූල තත්ත්වයක් ගෙන දෙන්නකි.

ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය

දිලුක් සේනාධීර