වසංගතයට ඇති හිතේ බිය නැති කර ගන්නේ කොහොමද?

මැයි 31, 2021

 

ඉන්දියාව අපේ අසල් වැසියයි. එනිසාම විසාලා නුවරක් බවට පත්වී ඇති ඉන්දියාවෙන් ඇසෙන පුවත් ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවතේ බියක් ඇති වීම අරුමයක් නො වෙයි. එහෙත් මේ අප සිත සවිමත් කර ගත යුතු කාලයක්.

භීතිකා අතරට අලුතින්ම එක්වී ඇති භීතිකාව වසංගතය අතරේ තවත් වසංගතයක් බවට පත්කර ගතයුතු නැහැ.

ඉන්දියාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය තම සමීපතමයන්ගේ මළ සිරුරු පවා භාර ගැනීමට බියක් දක්වන්නන් සිටිනවා.

වසංගතයට බියක් ඇති වීම ස්වාභාවිකයි. එහෙත් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම මානසික සංකුලතා ඇති වීමට හේතුවක්. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ ඌනා මැක්කෑම් පවසන්නේ කෝවිඩ් - 19 දක්වා පවතින අනියත බිය කොරෝනා භීතිකාව ලෙසින් හඳුන්වන බවයි.

ලෙඩකට සාමාන්‍ය බියක් ඇති වීම ස්වාභාවික වුණත් කොරෝනා වසංගතයට ඇතිවන බිය සමඟ කාංසා තත්ත්වයක් ඇතිවී එය දිගු කලක් පවතින්නේ නම් සුපුරුදු ක්‍රියා මඟ හරින්නේ නම් එය කොරෝනා භීතිකාවක් ලෙසින් හඳුන්වයි. කාංසා තත්ත්වය නිසා හදවත වේගයෙන් ගැහෙන්නට ගන්නවා. ආහාර අරුචිය, කරකැවිල්ල, දිගින් දිගටම කොරෝනා ගැන ඇති බිය, ජනතාව ගැවසෙන තැන්වලට යාමට ඇති බිය වැනි ලකුණු ඇති වෙනවා.

රෝගයෙන් ආරක්ෂා වීම භීතිකාව නො වෙයි. රෝගියකු වාර්තාවූ කාර්යාලයට දින දෙකක් තුනක් නො යා සිටීම භීතිකාවක් නො වෙයි. එය සාමාන්‍ය බියක්. එලෙසම එය ආරක්ෂාකාරී පියවරක්. එහෙත් තමන් සේවය කරන කාර්යාලයේ ආසාදිතයකු සිටින බව අසා දිගටම රැකියාවට නො ගොස් සිටීම කොරෝනා භීතිකාවේ සංකූලතාවක්. කොරෝනා භිතිකාවට දිළිදු , ධනවත් කියා වෙනසක් නැතිව සෑම රටකම පුද්ගලයන් ගොදුරුවී සිටිනවා. කැනඩාව වැනි ධනවත් රටවල පවා තුන් දෙනකුගෙන් එක් අයකු කොරෝනා භීතිකාවට ගොදුරුවී සිටිනවා. ඔවුන්ගෙන් සමහරු පොදු තැන්වලට යාම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා.

කොරෝනා වෛරසය ගැන සමාජ මාධ්‍ය අසීමිතව ලබා දෙන තොරතුරු ඇතැම්විට හානිකර ලෙස බලපානවා. සමහරු කොරෝනාවටත් වඩා කොරෝනා භීතිකාවට බියක් දක්වනවා. භීතිකාව පහසුවෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කිරීමට පුළුවන්. එහෙත් කොරෝනා ගැන එසේ කියන්න බැහැ.

වැඩිපුරම කොරෝනා භීතිකාවට ගොදුරු වන්නේ අපේ කාන්තා පක්ෂයයි.

කෝවිඩ් - 19 වසංගතය පිළිබඳ පුවත් අසීමිත ලෙස ඇසීම දැකීම ඒවාට පමණට වඩා සංවේදී වීම හානිකරයි. මෙවැනි කාලයක සතිමත් බව, භාවනාව ඉතා වැදගත්. භාවනාවෙන් සිතේ බිය තුරන් බව පෙන්වා දෙන්නේ අමෙරිකානු මනෝ විද්‍යා මහාචාර්යවරියක වන නැවා සිල්ටන්. බෞද්ධයන් වූ අපට භාවනාව පන්සිල් ගැනීම හා සමානවම හුරු පුරුදු දෙයක් නිසා පහසුවෙන්ම කොරෝනා භීතිකාව පලවා හරින්න පුළුවන්. භාවනාව, ශාරීරික අභ්‍යාස ආතතිය පලවා හැරීමට උදවි වෙනවා. සමාජ දුරස්ථභාවය රැක ගෙන මිත්‍ර සබඳතා පවත්වා ගැනීමත් වැදගත්. හිතවතුන් සමඟ දුරස්වීමෙන් භීතිකාව තවත් බරපතළ වෙනවා. සිරුරේ ඔක්සිජන් මට්ටම වැඩි කරන හෘද ස්පන්දනය වේගවත් කරන ව්‍යායාම මේ කාලයට වඩාත් සුදුසුයි. සෙමෙන් දිවීම කොරෝනා භීතිකාව නැති කළ හැකි හොඳම ව්‍යායාමයක්.

තමන්ට ඇතිවන කොරෝනා භීතිකාව පොතක ලියා පොත වසා දැමීමත් හොඳ පිළියමක් බව අමෙරිකානු මනෝවෛද්‍ය සංගමයේ අධ්‍යක්ෂ ලින් බුෆ්කා පෙන්වා දෙනවා.

වසංගතයකට ඇතිවන ස්වාභාවික බිය මානසික රෝගයක් දක්වා දුරදිග යැවිය යුතු නැහැ. නිරෝගී මනසකින් අප කෝවිඩ් තෙවැනි රැල්ලට මුහුණ දිය යුතුයි. ඒ සඳහා

‍ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, රාජ්‍ය සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙන විශ්වාසවන්ත තොරතුරුවලට පමණක් සවන් දෙන්න.

යාවත්කාලීන තොරතුරු සෙවීම සීමා කරන්න. සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සෙවීම සීමා කරන්න. සීමාව කුමක්දැයි තීරණය කිරීම පහසුයි. තමන්ට දරා ගත නොහැකි මට්ටමට පැමිණීම සීමාව ඉක්මවා යාමක්.

දිනපතා තොරතුරු බැලීම සඳහා වෙනම කාලයක් වෙන් කර ගන්න. අනවශ්‍ය බියක් ඇති කරන පුවත් අනුන් හා බෙදා නොගන්න.

අනවශ්‍ය ලෙස හුදෙකලා නොවී නූතන තාක්ෂණය යොදාගෙන සමීපතමයන් සමඟ සබඳතා පවත්වා ගෙන යන්න. කතා බහේ ප්‍රධාන මාතෘකාව බවට කෝවිඩ් - 19 පත්කර නො ගන්න.

සුපුරුදු පරිදි දෛනික ජීවිතය පවත්වා ගෙන යන්න.

සොබා දහම සමඟ කල් ගෙවීමට අමතක නො කරන්න. හොඳ වාතාශ්‍රයක් ලැබීම මෙවැනි කාලයක ඉතා වටිනවා. යෝගා වැනි ව්‍යායාමවල යෙදීමෙන් සිත සන්සුන් කර ගැනීමට පුළුවන්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.