අපිරිසුදු මුහුණු ආවරණ කළු දිලීර වැඩෙන්න හේතුවක්

ජුනි 2, 2021

 

දහයකට එක් කෙනෙක් එන්නත් කටුවලට බියයි

 

 කළු දිලීර රෝගය කෝවිඩ්වලට වඩා භයානකයි

 

කෝවිඩ් මාරයා හතර වටේම දත් විළිස්සා ගත් යකෙක් වගේ මිනිස් සත්වයා බිලි ගැනීමට බලා සිටින කාලයක අප දැනුවත් විය යුතු කරුණු බොහොමයි. නව ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය නිසා තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ.

දන්ත වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් දත් බුරුසු, මුඛ සෝදන, දත් බෙහෙත් ආදිය මාරුකළ යුතු බවය. එය නැවත රෝගය ආසාදනය වීම වැළැක්වීමට ගත හැකි පියවරක් ලෙස ඔවුන් පෙන්වා දෙනු ලබයි. තුවා, දත් බෙහෙත්, මුඛ සෝදන හුවමාරු කරගෙන භාවිත නො කිරීම මේ කාලයේදී අන් කවර කාලයේදීටත් වඩා වැදගත්ය.

 

නීඩ්ල්ෆෝබියා දහයෙන් එකකට

දරුණු කෝවිඩ් වසංගතයට එරෙහි එකම විසඳුම වී තිබෙන්නේ එන්නත්කරණයයි. එහෙත් සමහර පුද්ගලයන් එන්නතින් මඟ හරින්නේ එන්නත් කටුවට ඇති බිය නිසාය. ලොව දස දෙනකුගෙන් එක් අයකුට මේ බිය පවතියි. නීඩ්ල්ෆෝබියා ( trypanophobia ) ඇති අයට ඉදිකටුවක් ගැන සිතුව ද අනව්‍ය්‍ය බියක් උපදියි. කාංසාවක් ඇතිවෙයි. රුධිර පීඩනය අඩුවී ක්ලාන්ත ගතියක් ද දැනෙයි. මෙය සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කරන තත්ත්වයකි. මෙවැනි අය රුධිර පරීක්ෂණ කිරීම, දන්ත වෛද්‍යවරුන් වෙත යාම, රුධිරය දන් දීම, එන්නත් කිරීම වැනි ක්‍රියාවන්ගෙන් ඈත් වී සිටීමට වගබලා ගනියි. ළමා වියේදී තමන් හෝ තම සමීපතමයකු ලද අත්දැකීමක් මෙවැනි භීතිකාවතට මුල පිරිය හැකිය. ජානමය හෝ පාරිසරික හේතු ද මීට වගකිව යුතුය.

කෝවිඩ් - 19 වසංගතයෙන් ආරක්ෂාවීමේ දී එන්නත ලබා ගැනීම ඉතා වැදගත්ය. ඒ නිසා කටුවලට ඇති බිය තුරන්කර ගැනීම ඉතා වැදගත්ය. මේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩෙබොරා ලී ඉදිරිපත් කර ඇති නීඩ්ල්ෆෝබියා නැතිකර ගත හැකි ක්‍රම කිහිපයකි. සිරින්ජයක් සහ එන්නත් කටුවක් දෙස බලන්න. අතට එන්නත් කටුව සහිත සිරින්ජය අරගන්න. එයට වතුර ගෙන දෙහි ගෙඩියකට හෝ එවැනි වෙනත් දෙයකට විදින්න. එන්නත්කරණ වැඩසටහන් නරඹන්න. වෙනත් කෙනකුට විදිනු බලා සිටින්න.

 

කළු දිලීරයට මුල අපිරිසුදුකම

ලොව මිලියන ගණනක් දියවැඩියා රෝගයෙන් පීඩා වින්දත් කෝවිඩ් - 19 ට ස්ටීරොයිඩ ලබා දුන්නත්, ප්‍රතිශක්තිය දුබල වුණත් කළු දිලීරය හෙවත් මියුකොමයිකොසිස් ගැන වැඩිපුරම වාර්තා වෙන්නේ ඉන්දියාවෙනි. ඊට හේතු ගණනාවක් බලපා තිබෙයි.

මේ හේතූන් අතර සෞඛ්‍ය අංශවලින් සිදුවන සිසිල් ඔක්සිජන් සිලින්ඩර මඟින් කෙලින්ම රෝගියාට ලබා දීම වැනි වැරැදි සෞඛ්‍යමය පිළිවෙත් ද තිබෙයි. එවැනි දේට අමතරව පුද්ගලයන් විසින් සිදුකරන වැරැදි ද තිබෙන බව ඉන්දියානු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සරත් චන්ද්‍ර පවසයි. ඔහු පවසන්නේ දිගු කාලීනව මුහුණු ආවරණ භාවිත කිරීම නුසුදුසු බවයි. N-95 මුහුණු ආවරණ පස් වරකට වඩා භාවිත කිරීම නුසුදුසුය. රෙදි මුහුණු ආවරණ දිනපතා සේදිය යුතුය. මාරුවෙන් මාරුවට මුහුණු ආවරණ භාවිත කිරීම ද සුදුසුය. එහිදී එක් මුහුණු ආවරණයක් සතියකට වරක් පමණක් භාවිත කිරීමට වගබලා ගත යුතුයි.

සති දෙකක් අපවිත්‍ර මුහුණු ආවරණ භාවිත කිරීම කළු දිලීරය වර්ධනය වීමේ අවදානම ඉහළ නංවයි.

කළු දිලීරයට පසු ඉන්දියාවෙන් සුදු දිලීරයක් වාර්තාවී තිබෙනවා. කළු දිලීරය කෝවිඩ්වලට වඩා භයානක වන අතර සුදු දිලීරය කළු දිලීරයටත් වඩා භයානක බව පැවසෙයි. සුදු දිලීරය වැලඳුන විට කෝවිඩ් - 19 ලකුණු පෙන්නුවත් පරීක්ෂණවලින් සොයා ගැනීමට නො හැකිය. වෛද්‍ය රන්දීප් ගුලේරියා පවසන අන්දමට සුදු දිලීරය පෙණහලුවලට වගේම නියපොතු, සම, උදරය, වකුගඩු, මොළය ආදී සියලු තැන්වලට බලපායි. දිගු කාලයක් ස්ටීරොයිඩ් ඖෂධ ගැනීම, දියවැඩියාව කළු දිලීරයට මෙන්ම සුදු දිලීරයට ද බලපාන හේතූන් අතර තිබෙයි.

දිලීර ආසාදනවලින් වළකින්න නම් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීම, ස්ටීරොයිඩ වෛද්‍ය අධීක්ෂණය යටතේ භාවිත කිරීම, ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස වෛද්‍ය උපදෙස්වලින් තොරව නො ගැනීම වැදගත්ය.  

 

 

 

අන්තර්ජාලයෙනි