සුරතල් සතුන්ගෙන් දරුවන්ට බෝ වෙන දරුණු රෝගයක් ගැනයි මේ

පුංචි දරුවන් සිටින මව්පියන් මේ ලිපිය අනිවාර්යයෙන් ම කියවන්න
ජුනි 23, 2021

 

ටොක්සෝකාරා ආසාදනය වන්නේ පූසන් සහ බල්ලන්ගේ සමෙහි සිටින පණුවකුගෙන්

 

අත් නිසි ලෙස නොසෝදා කෑම ගැනීමෙන් දරුවන්ගේ සිරුරට මේ පණු බිත්තර සෘජුවම යාවි

 

මොළයට, ඇස්වලට, පෙනහලුවලට, අක්මාවට, වකුගඩුවලට... ආදී වශයෙන් විවිධ අවයවවලට බලපෑම් එල්ල කළ හැකියි

 

කොරෝනා වසංගතයත් සමඟින් අපගේ දෛනික ජීවිතවලට මොකද වුණේ කියා සිතාගන්නවත් බැරි තරම්. මේ තත්ත්වය නිසා වැඩිපුරම අසරණ වුණේ ළමා පරපුර. අපේ පුංචි දරු දැරියෝ.

 

කෝවිඩ්වලට අමතරව තවත් නොයෙකුත් රෝග තත්ත්වයන් නිසාත් මේ අයට පීඩා විඳින්න සිදුවෙලා. නිවෙසටම වෙලා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට පමණක් සීමාවෙමින් ඉන්න නිසා මේ අය නිවෙසේ, වත්තේ පිටියේ දුව පැන සෙල්ලම් කරනවත් වැඩියි. ඇයි සුරතල් සතුන් සමඟ. වෙනදා පාසල් වැඩකටයුතු, ටියුෂන් පංති, බාහිර වැඩකටයුතු නිසා කාර්යබහුල වුණු දරුවන් දැන් නිවෙසට ම වී සිටින නිසා නිවෙසේ සිටින පූස් සුරතලා, බලු සුරතලා ඇතුළු සුරතල් සතුන් සමඟ වෙනදාට වඩා වැඩි කාලයක් ගත කරනවා. මේ අයගේ කාංසිය නිවාගන්න, මානසික ආතතිය මඟහරවා ගන්න මෙයත් හොඳ විකල්පයක් කියා සිතමින් මාපියනුත් දරුවන්ට සුරතල් සතුන් සමඟ කාලය ගතකරන්න අවස්ථාව ලබා දෙනවා. මෙතෙක් නිවෙසේ සුරතලකු නො සිටියේ නම් දරුවාගේ මානසික මට්ටම පිළිබඳව සිතා සුරතල් සතකු ගෙනැවිත් දෙන අවස්ථාත් තිබෙනවා. එහෙත් අද අප මේ කියන කතාවෙන් පස්සේ සුරතල් සතුන් නිවෙසක ඇති කරන්නට ගෙන එනවාද කියන දේ ගැන වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතන්නට ඔබට සිතේවි.

 

රිජ්වේ රෝහලෙන් toxocara ආසාදිත දරුවන්

රිජ්වේ ආර්යා රෝහලට දිනපතා රැගෙන එන රෝගී දරුවන් අතරින් නිවෙසේ සිටින සුරතල් සතාගෙන් ටොක්සෝකාරා (toxocara) නම් වූ තත්ත්වය ආසාදනය වූ දරුවන් වැඩිවශයෙන් වාර්තා වෙන්න පටන් අරන්. සුරතල් සතුන්ගෙන් මේ දරුවන්ට රෝග බෝවීම කවදටත් තිබුණු දෙයක්. ඒත් දරුවෝ මේ සුරතලුන් සමඟ මේ දිනවල වැඩිපුර කාලය ගතකරන නිසා දෝ මේ රෝගය වැඩිපුර ම වාර්තාවීමට පටන් අරන්. මේ තත්ත්වය වැඩිපුරම ඇති වන්නේ පූස් පැටවු සහ බලුපැටවුන්ගෙන් වීම තමයි මෙහි භයානකත්වය.

 

සුරතල් සතුන්ගේ පණු බිත්තර

මේ toxocara ආසාදනය වන්නේ පූසන් සහ බල්ලන්ගේ සමෙහි සිටින පණුවකුගෙනුයි. මේ පණුවා පස්වල බිත්තර දමයි. පුංචි දරුවෝ නිවෙසට ම වී සිටින නිසා වත්තේ, පිටියේ පස් අතගාමින් සෙල්ලම් කරනවත් වැඩියි. මේ පස් අතගාලා ඇඟිලි කටේ දැමීමෙන්, බිම වැටුණු දේවල් කෑමට ගැනීමෙන් සතුන්ගේ සිරුරේ සිටින පණුවන් හෝ පණු බිත්තර දරුවන්ගේ සිරුරුවලට ගොස් උන් දරුවන්ගේ සිරුරවල වර්ධනය වෙයි.

මෙය සමේ ඇතිවන තත්ත්වයක්. (cutaneous larva) සහ අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්වල ඇතිවන තත්ත්වයක් ලෙස කොටස් 2ක් යටතේ දැකගත හැකියි. සමේ ඇතිවන තත්ත්වය එකතැනක තිබෙන ඉරක් තව තැනකට යනවා මෙන් පෙනේ. මෙහිදී සම රතුවේවි. කැසීමට ගනීවි. සමේ ඉරක් මෙන් පවතින ආසාදනයක් වේවි. සිරුරේ එක්තැනක පමණක් වුවත් හටගන්නට පුළුවන්. මේ ඉරක් මෙන් පෙනෙන්නේ පණු කීටයන් එහා මෙහා යන අන්දමයි.

 

අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් සඳහා බලපෑම්

අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් සඳහා බලපාන තත්ත්වය තරමක් බරපතළ එකක් විය හැකියි. මොළයට, ඇස්වලට, පෙනහලුවලට, අක්මාවට, වකුගඩුවලට... ආදී වශයෙන් විවිධ අවයවවලට බලපෑම් එල්ල කරාවි.

මොළයට යෑමෙන් වලිප්පු වැනි තත්ත්වයන් ඇතිවීම, මෙනින්ජයිටීස් වැනි තත්ත්ව දක්වාම යාවි. ඇස්වලට යෑමෙන් ඇස් දුර්වල වේවි. රිජ්වේ ළමා රෝහලට ආ දරුවකුගේ ඇස් ඇතුළෙන් පණුවෙක් ගැනීම ඉතාම ආසන්න දිනකදී සිදුවිය.

පෙනහලුවලට යෑමෙන් කාලයක් පුරාවට පවතින අමුතුම කැස්ස, හතිය ඇතිවේ. අක්මාවට යෑමෙන් උදරය පිම්බේවි. අක්මාව ඉදිමී ඒමට පුළුවන්.

 

පිළියම් මොනවාද?

බලු පැටව්, පූස් පැටවුන් ගෙන් වැඩිපුරම මේ පණුවන් දැකගත හැකි නිසා මේ සුරතල් සතුන්ට පණු බෙහෙත් දීම අනිවාර්යයෙන් කළ යුතුයි.

අවට සිටින පූසන් ද නිවෙස්වලට පැමිණීම, මිදුලේ මලපහ කිරීම නිසා ඒවා පසට එක්වී එහි බිත්තර ද පසට එක්වීමෙන්, දරුවන් සෙරෙප්පු නැතිව මිදුලේ සෙල්ලම් කිරීම, පස් අත ගා අත කටේ දැමීම නිසා ශීඝ්‍රයෙන් බෝවන තත්ත්වයක් වී තිබේ. අත් නිසි ලෙස නොසෝදා කෑම ගැනීමෙන් දරුවන්ගේ සිරුරට මේ පණු බිත්තර සෘජුවම යාවි.

 

එළවළු පලතුරු හොඳින් සේදීම

නිවෙසේ අමුවෙන් වේවා, පිසගෙන කෑමට ගන්නා ආහාර වේවා එළවළු පලතුරු ආදිය හොඳින් සෝදා කෑමට ගත යුතුයි. විශේෂයෙන් ම බිමට වැටෙන පලතුරු ආදිය හොඳින් සෝදා කෑමට ගැනීම වැදගත්.

මස්, මාළු ආදිය නිසි ලෙස පිසුවේ නැතිනම් ඒ ඔස්සේ ද මෙවැනි තත්ත්වයක් හට ගත හැකියි.

නිවෙසේ සිටින මෙන්ම වටපිටාවේ සිටින පූසන්ට, බල්ලන්ට වුවත් පණු බෙහෙත් දීමට හැකි නම් ටොක්සෝකාරා තත්ත්වය තරමක් මඟහරවා ගත හැකියි.

මේ තත්ත්වය නිසා දරුවාගේ සිරුරේ කොතැනකින් හෝ ගෙඩියක් ලෙස මතුවන්නටත් පුළුවන්. මෙහිදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) කළ විට මෙම තත්ත්වය හඳුනාගත හැකියි. එහිදී Eosinophils වැඩිවී තිබේවි. මේ සඳහාම වූ ටොක්සෝකාරා ඇන්ටි බොඩිස් රුධිර පරීක්ෂාවත් කළ හැකියි.

විදෙස් රටවල නම් නරින්ගේ සිරුරුවලත් මේ පණුවන් සිටියි. මීට අමතරව මුගටියන්, උගුඩුවන් වැනි සතුන් තුළත් මෙවැනි පණුවන් දක්නට ලැබේ.

ඔබේ දරුවාත් නිතර සුරතල් සතුන් සමඟ සිටියි නම් ගෙවත්තේ දුව පැන සෙල්ලම් කරන්නේ නම් දරුවා පිළිබඳ සැලකිලිමත් වන්න. අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් සඳහා බලපෑම් කරන තත්ත්වය දරුණු නිසා සැලකිල්ලෙන් සිටින්න. එසේ වී නම් වෛද්‍ය උපදෙස් පතන්න. බොහෝ විට දරුවන් සඳහා දින කිහිපයක් එක දිගට පණු බෙහෙත් හෝ වෛද්‍ය නිර්දේශය මත දෙන ඖෂධ වර්ග දෙන්නට වේවි.

 

 

 

 

උපදෙස්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා