කෝවිඩ් රෝගියකු නිවෙසේ සිට රැක බලා ගන්නේ කෙසේද?

සුවිශේෂී අතිරේකය
සැප්තැම්බර් 1, 2021

 

අභියෝගය ජයගන්නට ඔබත් සූදානම් වන්න

 

කෝවිඩ් ආසාදිත කුඩා දරුවකු රැක බලා ගැනීම

n ආසාදිත වෙනත් රෝගියකු රැක බලා ගැනීමට වඩා ආසාදිත කුඩා දරුවකු රැක බලා ගැනීම වෙනස් ම වූවක් . කුඩා දරුවකුට උපදෙස් නියමාකාරයෙන් පිළිපැදිය නොහැකිවේවි. මේ නිසා ඔබ මුඛ ආවරණ දෙකක් පලඳීම අනිවාර්යය වේ. මෙහිදී පළමුව සර්ජිකල් මාස්ක් එකකුත් දෙවනුව KN 95 මාස්ක් එකක් පැලඳීමට පුළුවන.

 

n මුව ආවරණයක් (face sheld) ද පලඳින්න.

 

n සෙම තත්ත්වය නිසා දිනකට වරක් උණුසුම් වතුරින් රෙදි කෑල්ලක් තෙමා දරුවාගේ සිරුර පිසදමන්න.

 

n දරුවාගේ මලපහ වැසිකිළිය ඇතුළට දමා හොඳින් වතුර ගසන්න.

 

n කෝවිඩ් ආසාදනය වීම දරුවාට මව්කිරි බීමට කොහෙත් ම බාධාවක් නොවේ. මවට මුඛ ආවරණ සහ මුව ආවරණ පැලඳ කිරි දීම කළ හැකියි. එසේ ම මව කෝවිඩ් ආසාදිත වී සිටීම ද මව් කිරි දීමට බාධාවක් නොවේ. තනපුඩුව හොඳින් සෝදා දරුවාට කිරි දිය හැකියි. මෙහිදී මුඛ ආවරණ, මුව ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය වේ.

 

n දරුවා තොටිල්ලක නම් සිටින්නේ හැකි තරම් තොටිල්ලේ ම තබන්න. අතට ගැනීම සීමා කරන්න.

n ගුඩුස් යැවීම උකුළ මත තබා ගෙන කරන්න.

-----------------------------------------

නිවෙසේ සිට ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව පනස්දහස ඉක්මවයි

ගෝලීය වසංගත තත්ත්වයේ වැඩි වීමක් මිස අඩු වීමක් පේනතෙක් මානයක නොමැති තරම්. අදවන විට අපේ රෝහල් පද්ධතියට දරා ගත නොහැකි අන්දමින් කෝවිඩ් රෝගීන් රැකබලා ගන්නට සිදු වෙලා.

කෝවිඩ් පළමු රැල්ලේදී ආසාදිතයකුවන පරක්කුවට රෝහල්ගත කළා පමණක් නොව පළමු පෙළ, දෙවැනි පෙළ ආශ්‍රිතයන් පවා නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවුණා.

අදවන විට එවැනි ක්‍රියා පිළිවෙතක් අප රටේ අනුගමනය කළා දෝ යැයි සිතෙන තරමට ම තත්ත්වය උඩු යටිකුරු වෙලා. එදා අපට එංගලන්තය ඇතුළු විදෙස් රටවලින් අසන්න දකින්න ලැබුණේ කෝවිඩ් රෝගීන් නිවෙස්වල ම නිරෝධායනය වන අන්දමත්, ස්වසන අපහසුතා ඇති අසාධ්‍ය මට්ටමේ රෝගීන් පමණක් රෝහල්ගත කරන අන්දමත්. අවාසනාවක මහත කෙසේද යත් අද අප අපගේ රටේ ඇස්පනාපිට දකින්නේත් එම තත්ත්වයමයි.එතරම් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ් රෝගීන් නිවෙසේ සිටම රැක බලා ගන්නට අද අපට සිදුවෙලා.

ශීඝ්‍රයෙන් බෝවන කෝවිඩ් වෛරසය වැලඳුණු රෝගියකු නිවෙසේ සිට ම රැක බලා ගැනීම එක්තරා ලෙසක අභියෝගයක්. රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා අද එය කළ යුතු ම වී තිබේ.

එසේ නම් ඒ සඳහා සූදානම කෙසේ විය යුතු ද?

මෙතෙක් ආසාදිතයකු නොවන ඔබ ආසාදිතයකුට සාත්තු සප්පායම් කිරීමෙන් අපමණ කුසලයක් ලබයි. එයම ඇති ඔබව ආසාදිතයකු නොකරවන්නට.

----------------------------------------

රෝගය බෝවීම

 

රෝගය බෝවනුයේ දෙවැනි දිනයේ සිට දොළොස්වන දිනය දක්වා බව අවධාරණයෙන් මතක තබා ගන්න. මෙහිදී දෙවැනි දිනය හඳුනා ගන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් මතු වේවි.

වෛරසය ශරීරගත වූයේ හරියටම කවදාදැයි ඔබට අදහසක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් උණ ගතිය හට ගත්තේ කවදා පටන් ද නැතිනම් එවැනි රෝග ලක්ෂණ ආරම්භ වූයේ කවදා පටන් ද එතැන් පටන් දෙවැනි දවසේ සිට මේ ගණනය කිරීම කළහැකියි. රෝග ලක්ෂණ හට නොගන්නා අයට මෙම කර්තව්‍යය අසීරු එකක් වේවි.

 

රෝග ලක්ෂණ

 

කෝවිඩ් රෝග ලක්ෂණ එක් අයකුගෙන් තවත් අයකුට වෙනස් වන්නට පුළුවන්. ඒ ඒ අයගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය අනුවයි රෝග ලක්ෂණ පහළ වීම සිදුවන්නේ. මේ නිසාම කෙනකුට රෝග ලක්ෂණ ඇත්තේ ම නැති වෙන්න පුළුවන්. සමහරුන්ට කෝවිඩ් වැලඳිලා සුව වෙලා. ඒත් දන්නෙම නැහැ.

n උගුර රිදීම

n වියළි කැස්ස

n හෙම්බිරිස්සාව

n ඇඟපත රිදීම

n ඇඟට පණ නැති ගතිය

 

 

n කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව

n දණහිස් වේදනාව

n හිසරදය

n කෑම අරුචිය

n කෑමවල ගඳ සුවඳ නොදැනීම

n හතිය ගතිය

n දින කිහිපයකට පසු වියළි කැස්ස සෙම

කැස්සක් බවට පත්වීම

n මල බුරුලට යෑම...

මෙවැනි රෝග ලක්ෂණ පහළ වේවි.

එක් අයකුට මේ රෝග ලක්ෂණ සියල්ලම පහළ වන්නේ නැතිවන්න පුළුවන්.

 

දින 14 කට පසු

 

දින 14 කට පසුව වුවත් නිවෙසෙන් පිටතට යන්න හිතන්න එපා. ඔබේ ප්‍රතිශක්තිකරණය දුර්වලව ඇති නිසා වෙනත් රෝග විශේෂයෙන් බැක්ටීරියා ආසාදන පවා ඇති වීමට පුළුවන. ඇතැම්විට තවමත් වෛරසය තිබී ඒ කෙනාගෙන් තවත් කෙනකුට කෝවිඩ් වෛරසය ශරීරගත වන්නටත් පුළුවන්. මීට පෙර කෝවිඩ් වැලඳුණු අය රෝහලේ දින 14ක් සිට නිවෙසේ දී තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයේ සිටියා මතකද? එයම අනුගමනය කරමින් දින 30 ක් පමණ නිවෙසේ ම සිටින්න.

-------------------------------------

කෝවිඩ් වෛරසය ශරීරගතව තිබිය දී එන්නත ලබා ගැනීම

 

මෑතකදී බොහෝ පිරිස් මුහුණ දුන් කාරණය නම් කෝවිඩ් ශරීරගත ව තිබියදී නෙදැනුවත්ව ම එන්නත ලබා ගැනීමයි. මේ පිළිබඳ සැකසංකාවක් ඇති කරගන්න එපා. එයින් ඔබට කිසිදු හානියක් වන්නේ නැහැ.

ඒ නිසාම කෝවිඩ් තත්ත්වය දරුණු වන්නේත් නැහැ.

අපි හිතමු ඔබට කෝවිඩ් වැලඳිලා. ඒ සඳහා වන දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට තිබෙන දිනයත් උදා වෙනවා. දැන් ඔබ කලබල විය යුතු නැහැ. කෝවිඩ් ලක්ෂණ පහළ වී මාසයකට පසු ගොස් එම මාත්‍රාව ලබා ගන්න. කෝවිඩ් වැලඳ සිටි නිසා අදාළ දිනය මඟ හැරුණු බව පවසන්න. කිසිදු ගැටලුවකින් තොරව අදාළ මාත්‍රාව ලබා ගත හැකිවේවි.

----------------------------

හුමාලය ඇල්ලීම

මේ කෝවිඩ් කාලයේ කළ යුතු ම දෙයකි. විවිධාකාර අන්දමින් හුමාලය ඇල්ලීම පිළිබඳ නොයෙකුත් පොස්ටු සමාජමාධ්‍ය ජාලාවල හුවමාරුවනවා ඔබ අනන්තවත් දැක ඇති.

දෙහි, දොඩම්, නාරං, යකි නාරං වැනි පැඟිරි කුලයේ කොළ එක වර්ගයකින් දෙක, තුනක් එක වරකට මුට්ටියකට දමා පියනකින් වසා තම්බා ගත් වතුර හුමාලය ඇල්ලීමට ගන්න. පියනකින් නොවසා තැබීමෙන් කොළවල ඇති ස්වාභාවික මෙන්තෝල් පිටතට යාවී. ඔබට දුම් අල්ලන්න වන්නේ නිකම්ම වතුර පමණි. බටහිර ක්‍රමයට මෙන්තෝල් දමා දුම් ඇල්ලීමෙන් කාලයක් ගිය පසු ස්නායු දුර්වල වේවි. ගඳ, සුවඳ පවා නොදැනී යාවී.වැදගත් ම දේ වන්නේ මේ මුට්ටිය බිම තබා දැල් හෝ වේවැල් පුටුවක් ඒ මතින් තබා දුම් අල්ලන්න. හිසේ සිට මුහුණ වැසෙන පරිදි රෙද්දක් දමා ගෙන හොඳින් හුස්ම ඉහළට ගෙන තත්ත්පර කිහිපයකින් කට ඇර පිටතට හරින්න. මෙය වරකට විනාඩි පහක් පමණ කිරීම සෑහේ.

එම දුම් මුට්ටියේ කොළ නැවත භාවිත කිරීමෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැත. දිනකට එක්වරක් දුම් ඇල්ලීම හොඳටම සෑහේ. දරුවන්ට දුම් ඇල්ලීමේ දී පරිස්සමින් එය කරන්න. නැත්නම් පිලිස්සීමට ඉඩ ඇත.

---------------------------

වයෝවෘද්ධ රෝගීන් බලා ගැනීම

*මේ කාලයේ වයෝවෘද්ධ අය වැටෙන්නට නොදී රැක බලා ගැනීම නම් අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු වූවකි. වැටීමක දී යම් හෙයකින් අස්ථියක් බිඳ වැටුණොත් යථා තත්ත්වයට පත් කර ගැනීම අසීරු වේවි. එක්තැන් වීමෙන් ඇඳට ම වී ඉතිරි කාලය ගත කරන්න වේවි.

යම් හෙයකින් මේ රෝගියා මිය යන්නේ අස්ථියක් බිඳ වැටීම නිසා වුවත් වාර්තා වන්නේ කෝවිඩ් වැලඳීම නිසා සිදුවූ මරණයක් ලෙසටයි.

* බාහිර පුද්ගලයන් සමඟ ගැටීම, පොදු ස්ථානවලට ඔවුන් රැගෙන යෑමෙන් වළකින්න.

-----------------

කෝවිඩ් රෝගීන් සඳහා ආහාර

 

හැම විටම මේ රෝගීන් ආහාර හා පාන වර්ග ලබා ගත යුතුවන්නේ උණුසුම්වයි.

දියවැඩියා රෝගීන් තමා ගන්නා ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

*උදෑසන ආහාරය

බත්, පිට්ටු, ආප්ප, ඉඳිආප්ප, ධාන්‍ය වර්ග තම්බා කෑම. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් රෝගියා වෙනුවෙන් සැපයීම වැදගත්.

n උදේ 10.00 ට සහහවස 4.00 ට කොත්තමල්ලි කොටස් හතරකට ඉඟුරු කැබැල්ලක් දමා , එනම් කොත්තමල්ලි තේ හැඳි හතරකට ඉඟුරු තේ හැන්දක් පමණ දමා(4:1) අනුපාතය) එයටම ගම්මිරිස් ඇට හතරක් පමණ තළා දමා දෙන්න.

සෙම තදට කැඩී යන කෙනකුට නම් වෙනිවැල් ගැට කුඩා කැබලි දෙකක් පමණ ද දමන්න. වියළි කැස්සක් ඇත්නම් වෙනිවැල්ගැට දමන්න එපා.මන්ද කැස්ස තවත් වියළේවි. කොත්තමල්ලි කබලේ බැද භාවිත කරන්න.

* දවසක් හැර දවසක් සුදුලූනූ ගෙඩිය පිටින් මඳ ගින්දරේ තම්බා සුදුලූනූ ගෙඩිය කෑමට ගන්න. එම වතුර බීමට ගන්න. සුදු ලූනූ පොත්තේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, සින්ක් ඔක්සයිඩ් අඩංගු වේ. පොත්ත ඉවත් කිරීමෙන් ඒ සියල්ල නැතිවී යයි.

n දවල් ආහාරය

මාළු කෑල්ලක්, මස් කෑල්ලක් විශේෂයෙන් ම බිත්තරයක් ගැනීම වැදගත් වේවි. බිත්තර නිසා කොලෙස්ටරෝල් වැඩි වීම යනු සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයකි.

*පිපිඤ්ඤා, අළුපුහුල්, මුංඇට වැනි සීත ආහාර මේ කාලය පුරාවටම ගන්න එපා.

* මේ කාලයේ තමන්ට පුරුදු ආහාර මිසක ආගන්තුක ආහාර, නුපුරුදු ආහාර ගන්න එපා. මන්ද අජීර්ණ තත්ත්වයක් මතු වුවහොත් නියම තත්ත්වය වටහා ගත නොහැකි වේවි. විශේෂයෙන් ම චිලි පේස්ට් වැනි දේ වැඩිපුරම නොගන්න.

මේ කාලයේ කටට රසයක් නොදැනෙන නිසා එවැනි ආහාර ගත්තා යැයි කියා සතුටු වන්නට බැහැ.

*අයිස්ක්‍රීම්, වටලප්පම් වැනි ආහාර ගන්නත් එපා.

n පලතුරු

කෝල්කුට්ටු කෙසෙල් ගෙඩියක් අතුරුපසට ගත්තාට වරදක් නැහැ. සීනි. කෙසෙල්, සුවඳැල් ආදී කෙසෙල් කෑමට ගන්න. ඇඹුල්, ඇම්බුම් වැනි දේ ගන්න එපා.

අන්නාසි ඇතැම්විට ආසාත්මික වෙන්න පුළුවන්. මෙතෙක් ආසාත්මික නොවුණත් එවැනි අවිනිශ්චිත කෑම ගන්න එපා. මේ අවස්ථාවේ පලතුරු කෙරෙහි ඕනෑවට වඩා උනන්ද වූවා කියා පලක් නැහැ. මන්ද විටමින් සී වෙනමම ගත යුතු නිසායි.

n සවසට

ඉඟුරු කොත්තමල්ලි පානය, සුවධරණී තම්බා බීම ඉතා හොඳයි.

n සුප් වර්ගයක්

සවසට සුප් එකක් ගැනීමත් හොඳයි. කැරට්, බීට්, වට්ටක්කා, පොලෙසේ ගෙඩියක කෑලි කිහිපයක්, මාළු කෑල්ලක්, මස් කෑල්ලක් අනිවාර්යයෙන් දමන්න. මෙවෙලේ ප්‍රතිශක්තිය වැඩීමට හැකි තරමින් ප්‍රෝටීන් බහුල අහාර ගත යුතුයි. සූදූරු, මාදුරු, ඉඟුරු, ගම්මිරිස්, කහ ස්වල්පයක්, රතුලූනූ, සුදුලූනූ, සියඹලා, මුරුංගා කොළ හෝ පොතු (තිබේ නම් පමණක්) යනාදිය දමා එක් අයකුට අඬු කෝප්ප දෙකක පමණ සුප් එකක් වරකට බීමට දෙන්න. ඊට වඩා වඩා ප්‍රමාණයක් ගන්න එපා. රාත්‍රියට ආමවාතය මෙන් පැමිණ වමනයට ඒවී.

n රාත්‍රී ආහාරය

බර ආහාර වේලක් රාත්‍රියට නොගන්න.

කිරි හොදි ටිකක් සමඟ ඉඳිආප්ප 5ක් 6ක්

පාන් පෙති දෙක,තුනක්

හොඳට ම සෑහේවී.

------------------------------------------

 

ධනාත්මකව සිතන්න

n රූපවාහිනිය නැරැඹීමෙන් හැකිතාක් වළකින්න.

විශේෂයෙන් ම වෛරසය පිළිබඳ ප්‍රවෘත්තිවලින් ඈත්වන්න. ගර්භණී මවුවරුන් මේ උපදෙස අකුරට ම පිළිපදින්න. මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා. වයස් කාණ්ඩ කරමින් මියයන සංඛ්‍යාව හුවා දැක්වීමෙන් කෝවිඩ් රෝගියා කිසියම් චකිතයකට පත්වේවි.

n අන්තර්ජාලයේ අමතර තොරතුරු සොයන්න එපා. එයින් ඔබේ මානසික තත්ත්වය දුර්වල වේ.

n හැකි නම්, නිවෙසේ දී සියුම් සංගීතයට සවන් දෙන්න. ඝෝෂාකාරී සංගීතය නම් පීඩාවක් ම වේවි.

n අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් සහ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන්නට යෑමෙන් වළකින්න.

ඖෂධ හිත නිවී සැනහෙන පොත්පත් කියැවීමට මේ කාලය යොදා ගන්න.

n ජංගම දුරකථනය හැම විටම අතේ රඳවා ගනිමින් ඒ දෙසම බලමින් සමාජ මාධ්‍යවල ම ගැවසෙමින් කාලය ගත කරන්න එපා. මේ කාලයේ ඔබ නොදැකිය යුතු, නොඇසිය යුතු දේවල් පවා ඇස ගැටෙන්නේ එවිටයි.

n හැම විටම ඔබේ අත් සේදීම සහ අනිකුත් පිරිසුදු වීමේ ක්‍රියාවන්හී නිතර යෙදෙන්න.

n ඔබේ ධනාත්මක මනෝභාවය ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමට උපකාරී වන අතර, සෘණාත්මක සිතුවිලි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර වෛරස්වලට එරෙහිව සටන් කිරීම දුර්වල කරන බව පෙන්වා දී ඇත.

වැදගත්ම දෙය නම්, මෙම අවස්ථාවෙන් ඔබ සමත්වන බව දැඩි ලෙස විශ්වාස කරන්න.

------------------------------

ඖෂධ

කෝවිඩ් රෝගීන් සඳහා දෙන ඖෂධ වර්ග විවිධාකාර අන්දමින් සමාජමාධ්‍ය ඔස්සේ සැරිසරනවා ඔබ අනන්තවත් දැක ඇති.

 

n සුදර්ශන වටිය පෙති දෙකක් උදේ සවස ගන්න.

n සුවධරණී ඖෂධ පැකැට්ටුව වරකට අඬු කෝප්ප එකකට තේ හැඳි භාගය බැගින් දමා රත් කොට බොන්න.

 

* විටමින් සී

 

විටමින් 'සී 'ග්‍රෑම් 5 හේ පෙත්ත වෙනුවට මිලිග්රැම් 100 බැගින්වන පෙති 5ක් එකවර බොන්න. මේවා ශත ගණනින් ගත හැකියි.

අවුරුදු 6 -14 ත් අතර දරුවකුට පෙති 3 කුත් අවුරුදු 1ට වැඩි දරුවකුට එක පෙත්තකුත් දිය හැකියි.

 

විටමින් E

 

මෙය පිරිමි පාර්ශ්වය ගැනීම වඩාත් සුදුසු යි. ඒ ඇතැම් වෛරස් රෝග වැලඳුණු පසු සුව වුවත් පිරිමින්ගේ වෘෂණ කෝෂ වැනි තැන්වල තැන්පත් වේ. විටමින් E මෙම තත්ත්වය යම්දුරකට මඟ හරවාලයි. අවුරුදු 20න් ඉහළ අයට මිලිග්රැම් 400 ක පෙත්තක් රාත්‍රියට ගත හැකියි.

 

විටමින් D

 

මෙය කාන්තාවන් ගැනීම වඩාත් සුදුසුයි. ආර්තවහරණයට පත් වූ කාන්තාවන් නම් අනිවාර්යයෙන් ම ගත යුතු වේ. මිලිග්රැම් 2000ක පෙත්තක් දිනකට වරක් ගන්න.

 

n මීට අමතරව නිදන්ගත රෝග සහ මෙතෙක් කිසියම් රෝගයකට ඖෂධ ගනිමින් සිටියා නම් ඒවා අඛණ්ඩව ම ගන්න.කිසිදු හේතුවක් මත නවත්වන්න එපා.

----------------------------------

ඇසුර හා පරිහරණය

 

n කෝවිඩ් රෝගියා සිටින කාමරයට හොඳින් වාතාශ්‍රය ඒමට සලස්වන්න.

නමුත් අන් අයගෙන් ඈත්ව සිටින්න.

n රෝගියාගේ කෝප්ප, පිඟන් වෙනමම සෝදන්න. අවසානයේ උණු වතුරින් සෝදන්න. වෙනමම තැනකින් තබන්න.

n ඔහු හෝ ඇය අනුභව කළ, පානය කළ ඉතිරි වූ දේ වෙනත් අයෙක් පරිහරණය කරන්න එපා. ඒවා එවේලේම වසා තැබෙන කසළ බඳුනකට දමන්න.

n රෝගියාට පිළිගන්වන ආහාර පිඟානට ම අවශ්‍ය පමණට දමන්න. වෙනත් දීසී ආදියට බෙදන්න එපා.

n මේ දින කිහිපයේ ලන්ච් ෂීට්වලට කෑම බෙදා දීම සුදුසුයි, වඩාත් ආරක්ෂිතයි.

n නිවෙසේ සුරතල් සතුන් සිටී නම් උන් රෝගියා වෙතින් ඈත් කරන්න. ඒ සුරතල් සතුන්ගේ බැක්ටීරියාවලට රෝගියා මුහු විය යුතු නොවේ.

n ආසාදනයට ලක්වූ රෝගියා සමඟ එකම ඇඳේ නිදා ගන්න එපා.

n මේ දිනවල රෝගියාට භාවිතයට ලේන්සු, සර්වියට් ආදිය වෙනුවට ටිෂූ ලබා දෙන්න. කාමරයේ බෑග් එකකට මේ ඉවතලන සියලු දේවල් දමන්න. ඒ සියල්ල එකට එකතුකර පුලුස්සා දමන්න.

n රෝගියාට වරින්වර ඇඳුම් මාරු කරන්නට නොදෙන්න. මේ ඇඳුම් සේදීම කරන්නේ රෝගියා නොවෙයි. මේ නිසා වෛරසය ආසාදිත නොවූ අයට යෑමට ඉඩකඩ තිබේවී.

n ආසාදිත වූවන්ගේ ඇඳුම් අනෙක් අයගේ ඇඳුම් සමඟ සේදීම නොකරන්න. අසොදිතයන් නෑමෙන්, ඇඟ සේදීමෙන් වළකින්න. තුවායක් තෙමමින් පිස දමන්න. පපුව සීතල වන්න දෙන්න එපා. හැම විටම උඩුකය වසා ගෙන සිටින්න.

n කෝවිඩ් ආසාදිත වූ තැනැත්තියට මාසික ඔසප් වීම සිදුවූයේ නම් මේ දිනවල පැය දෙකින් දෙකට සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට වගා බලා ගන්න. ඔසප් වැඩිපුර පිට වූවා හෝ නැතා ආසාදිත තත්ත්වයෙන් සිටින දිනවල යහපත් සෞඛ්‍ය පුරුදු අකුරට ම අනුගමනය කරන්නට වේවි. මන්ද එම ස්ථාන ආශ්‍රිතව යම් හෙයකින් බැක්ටීරියා ආසාදනයන්, මුත්‍රා ආසාදනයන් සිදු වුවහොත් ලෙහෙසි පහසු වන්නේ නැත. ප්‍රතිකාර කරා යොමු වීම ද අසීරු කටයුත්තක් වේවි.

n ඉවතලන සනීපාරක්ෂක තුවා බෑගයකට දමා පුලුස්සා දමන්න.

n ආසාදිත තත්ත්වයේ සිටියදී ඔසප් වීමෙන් වෙනදාටත් වඩා ශරීරය දුර්වල වේවි. මේ නිසා යකඩ පෙත්තක් ගැනීම වඩාත් සුදුසුයි. සෑම දිනකම රාත්‍රියට කෑමෙන් පසු එක් යකඩ පෙත්තක් ගත හැකියි.

n වෛරසය ආසාදිත වූ පවුලේ සාමාජිකයාට සාත්තු සප්පායම් කරන කෙනා ද හැම විටම පවුලේ අයගෙන් වෙන්ව සිටිය යුතුයි. නිදා ගැනීම පවා වෙනමම කළ යුතුයි.

n කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි මේ කිසිවක් පොදුවේ පරිහරණය කළ යුතු නොවේ.

n පවුලේ සියලුදෙනාම හැකිතරම් වෙන් වෙන්ව සිටින්න.

n තමාගේ මුඛයෙන් පිටවන කෙල, සෙම් සොටු මේ කිසිවක් අනාරක්ෂිතව පරිසරයට මුදා හරින්න එපා.

---------------------

 

නිවෙසේ වෛරසය පැතිරීම වැළැක්වීමට

n රෝගියා සිටින නිදන කාමරයේ ඇඳ ඇතිරිලි ගසන්න එපා. එවිට දුවිල්ල ඇවිස්සේවී. එම ඇඳ ඇතිරිල්ල මත තවත් ඇඳ ඇතිරිල්ලක් සීරුවට එළා තබන්න. දමා ඇති කොට්ට උරයට උඩින් තවත් එකක් තබන්න.

n පුංචි දරුවකුගේ කාමරයේ නම් ටෙඩීබෙයාර් වැනි සුරතල් සතුන්ගේ සෙල්ලම් බඩු කිසිවක් ම තබන්න එපා.

 

n කාමරය ඇතුළුව නිවෙස ම අතු ගාන්න ම එපා. මොප් කරන්න. අතු ගාද්දී ඇවිස්සෙන දූවිලි, ආසාදිත තත්ත්ව කෙරෙහි සෘජුවම බලපාවී.

 

නාන කාමරය සහ වැසිකිළි භාවිතය

 

මෙය ඉතා ප්‍රවේසමෙන් කළ යුතු වූවකි. නිවෙසේ සිටින රෝගීයා හෝ රෝගීන් වෙනුවෙන් වෙනමම වැසිකිළියක් ඇත්නම් එය පරිහරණය කිරීම අතිශය වැදගත්. එහෙත් එක නාන කාමරයක්, වැසිකිළියක් නම් ඇත්තේ භාවිතයෙන් පසු රෝගියා විසින් ම හොඳින් වතුර ගසා පිරිසුදුව තබන්න. මොනම අන්දමකින්වත් සින්ක් එකට, බිමට කෙළ ගහන්න එපා. ආසාදිත කෙනා වැසිකිළියෙන් පිටතට ආ විගසම ආසාදිත නොවූ අය යන්නට හිතන්න එපා. හැකිතරම් රෝගියා වැසිකිළියට යෑමට පෙර සෙසු අය ගොස් තම කර්තව්‍යයන් නිමාකර පැමිණීම වැදගත්. මෙහීදී විනාඩි 15 ක්, විනාඩි 30 ක් ආදී වශයෙන් පරතරයන් තැබීම එතරම්ම අවශ්‍ය නොවේවි. ආසාදිත නොවන්නන් වැසිකිළිය භාවිතයට පෙර විසබීජනාශක දියර යොදා කොමඩ් එක, සින්ක් එක, සියලුම ටැප් ආදිය හොඳින් සෝදන්න, පිස දමන්න.

බොහෝවිට කොමඩ්වලට වඩා ස්කොටින් පෑඩ්ස් ඇති වැසිකිළිවලින් වෛරසය ව්‍යාප්තිය සිදුවිය හැකියි.

 

n නිවෙසේ සිටින ආසාදිතයන් ට උපස්ථාන කරන තැනැත්තා බෙහෙවින්ම කායිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්ව සිටීවී. එහෙත් එම පීඩනය රෝගීයා පිටින් යවන්නට උත්සාහ කරන්න එපා. මරණ බයත් කායික පීඩාවත් නිසා රෝගියාත් වෙනදාට වඩා නුරුස්සන ස්වභාවයෙන් සිටීවී. මෙවැනි අවස්ථාවක හැකි තරම් රෝගියාට කාරුණික වන්න. රෝගියා සනසවන්න.

 

සැන්ටයිසර් භාවිතය

 

ඇල්කොහොල් ප්‍රතිශතය සියයට 70 කින් යුතු සැනිටයිසර් භාවිතයට ගන්න. නිවෙසේ සිටින රෝගියා ඇතුළු සෙසු සියලුමදෙනා වෙනවෙනම සැන්ටයිසර් බෝතල් ගෙන එයත් පෞද්ගලික භාණ්ඩයක් මෙන් තබා පරිහරණය කරන්න.

 

කාබලික සබන්

 

මේ අවස්ථාවේ රෝගියාගේ ඇඳුම් පැලඳුම්, පිඟන්, කෝප්ප ආදිය කාබලික සබන් යොදා සෝදන්න .

 

උපදෙස්:

විශේෂඥ වෛද්‍ය ආයුර්වේද විශාරද පණ්ඩිත, මදසරු බව පිළිබඳ ප්‍රවීණ උපදේශක

සුදත් ගුණතිලක