මව් පදවිය වසරකින් පමා කළ යුතුද?

මෙන්න ඇත්තම කතාව
තීරණය ඔබ අතේ
ඔක්තෝබර් 6, 2021

 

මංගල පෝරුවේදී සැමියා - බිරිය යන පදවි ලැබූ පසු යුවළකගේ එකම සිහිනය වන්නේ උත්තරීතර මාපිය පදවියට හිමිකම් කීමය. ඒ සඳහා සිතින් ඔවුන් සූදානම් වන්නේ අතැඟිලි බැඳි මොහොතේ පටන්මය. එහෙත් කෝවිඩ් මාරයා නිසා අද මව් පදවිය ලැබීම අභියෝගයක් වී ඇත.

එනිසාම අම්මාවරුන්ගේ හිතසුව පිණිස ම මෑතකදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු කියා සිටියේ වසරකින් මව් පදවිය පමා කරන ලෙසයි. මෙය සමස්ත ලාංකේය බිරින්දෑවරුන් ගේ හද ගැස්ම වේගවත් කරන දෑසට කඳුළක් එක් කරන සංවේදී කරුණකි. සොබා දමේ අසිරිමත් ආශීර්වාදයට කෝවිඩ් - 19 නිසා තහංචි දැමිය යුතුද ? මේ ගැන නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් බහුතරයකගේ මතය වන්නේ එසේ පමා නො කළ යුතු බවය. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දැන් වයස අවුරුදු 20 - 30 ත් අතර තරුණියන්ට එන්නත් මාත්‍රා ලබාදීම අරඹා තිබීමයි. ‍අපේ රටේ කෝවිඩ් වැලඳී මියගිය ගැබිනි මවුවරුන් බහුතරයක් ම එන්නත් ලබා නො ගත් අය බවට සංඛ්‍යා ලේඛන සාක්ෂි දරයි. එනිසා ඉදිරියේදී ගර්භණී වීම ගැටලුවක් වීම ට තිබෙන ඉඩ කඩ අඩුය. ලොව කිසිදු රටක කෝවිඩ් නිසා ගැබිනි බව කල්තබා නැත. එනිසා ලංකාවේ කිරි සිහිනය දකින මවුවරුන් ඒ සිහිනය 2021 - 2022 දී බොඳකර හැරිය යුතු නො වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය

නව කොරෝනා වෛරසය පැතිරුණු මුල් කාලයේ එය එතරම් ගැබිනි මව්වරුන්ට බලපෑමක් නො කරන බව පෙනුණත් ඩෙල්ටා වැනි නව ප්‍රභේද සමඟ ඔවුන්ට ද අවදානමක් ඇති බව හෙළිවිණි. කෝවිඩ් වැලඳුණු මව්වරුන් ආසාදිත නොවූ මව්වරුන්ට වඩා නො මේරූ සහ මළ දරුවන් බිහිකර තිබෙයි. වයස්ගත ( වයස අවුරුදු 35 ඉක්මවූ ), ස්ථුල, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති මවුවරුන් ට කෝවිඩ් ආසාදිත වුවහොත් බරපතළ සංකූලතා ඇති වීමේ ඉඩක් පවතියි. මේ නිසා ගැබිනි වීමට පෙර සිටම එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමත්, සුව නීති දිගින් දිගටම තදින්ම පිළිපැදීමත් ඉතා වැදගත්ය. සැමියා ඇතුළු පවුලේ සාමාජිකයන් ද කෝවිඩ්වලට එරෙහිව සන්නාහ සන්නද්ධ වී ඇය නව කොරෝනා විසබීජයෙන් රැකගත යුතුය. ගැබිනි වූ පසු අසනීප ගතියක්, ( උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව ඇතුළුව) වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. නව කොරෝනා වෛරසය නූපන් දරුවාටත් මවු කුසේදී වැලඳිය හැකිද? මවුවරුන්ට වැඩිපුරම ඇත්තේ තමන්ට රෝගය වැලඳෙනවාටත් වඩා කුසෙහි වැඩෙන දරුවාට විසබීජය ශරීරගතවේවියි යන බියයි. එහෙත් මේ දක්වා කළ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ වෛරසය කලලයේ හෝ කලලාවාරික තරලයේ හෝ මවුකිරිවල අඩංගු නැති බවයි. සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට කෝවිඩ් වැලඳීම හේතුවක් වන්නේ නැත.

එන්නත් ලබා ගත්තොත් දරුවාටත් රැකවරණයක් ලැබෙනවා

අලුත් ම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ mRNA COVID-19 එන්නත් ගත් මවුවරුන්ගේ නූපන් දරුවන් ගේ සිරුරේ පවා අධික ප්‍රතිදේහ ප්‍රමාණයක් ඇති බවය. මේ අධ්‍යයනය කර තිබෙන්නේ ෆයිසර්, මොඩර්නා එන්නත් සම්බන්ධයෙනි. ඒ එන්නත් ලබා ගත් මවුවරුන්ට උපන් සියලුම දරුවන්ගේ වාගේ සිරුරේ රෝගයට එරෙහි ප්‍රතිදේහ තිබී ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රසව හා නාරි වේදය පිළිබඳ රාජකීය කොලීජියේ මතය

 

ලොව වැඩිම පිළිගැනීමක් ඇති බ්‍රිතාන්‍යයේ රාජකීය කොලීජිය කිසි විටකත් මවු පදවිය පමා කරන ලෙසට උපදෙස් දී නැත. ඔවුන් දී ඇත්තේ උපදෙස් මාලාවක් පමණි. රාජකීය කොලීජියේ මතයට අනුව කෝවිඩ් - 19 වැලඳෙන මවුවරුන් තුනෙන් දෙකක්ම වාගේ රෝග ලකුණු පෙන්වන්නේ නැත. මවුවරුන් වැඩි දෙනකුට සුළු සෙම්ප්‍රතිෂ්‍යා ලකුණු ඇති වෙයි. කෝවිඩ් රෝගී මවුවරුන්ට රෝගය නො වැලඳුණු මවුවරුන්ට වඩා අවසාන තුන් මාසයේදී දැඩි අසනීපගතියක් ඇති වීමේ ඉතා සුළු ඉඩක් පවතියි.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම මවටත් දරුවාටත් රැකවරණයක් ලැබිය හැකි හොඳම ක්‍රමයකි. දරුවකු පිළිසිඳ ගෙන ඇතත් නැතත් මවු පදවියේ සිහිනය දකිනවා නම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුය. එයින් මවට දැඩි සත්කාර ඒකකයේ සිටීමට තිබෙන අවදානම අවම වෙයි. නො මේරූ දරුවන් බිහිවීම ද වළකියි. මේ වන විට මවුවරුන් ලක්ෂ ගණනක් එන්නත් ලබා ගෙන ඇති අතර එන්නත්වලින් මවට හෝ කුසෙහි වැඩෙන දරුවාට කිසිදු අහිතකර බලපෑමක් සිදුවන බව හෙළිවී නැත. කෝවිඩ් එන්නත්වල ( ස්පුට්නික් හැර ) අහිතකර ද්‍රව්‍යය කිසිවක් අඩංගුව නො තිබීම ඊට හේතුවය. ස්පුට්නික් වැනි ජීවී වෛරස රැගත් එන්නත් මඟින් කුසෙහි වැඩෙන දරුවාට රෝගය ආසාදනයවී හානිකර තත්ත්වයක් උදාවීමේ අවදානමක් පවතියි.

 

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ හර්ෂ අතපත්තු මහතා දරුපල වසරක් පමා කරන්න කිව්වේ ඇයි ?

ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීමත් සමඟ ඇතැම් ගැබිනි මව්වරුන්ට බිය නිසා සායන කරා කලට වේලාවට යාමට නො හැකි විය.

මහජන සෞඛ්‍ය කාර්යාලවල දිනපතා දින හයක් ගැබිනි සායන පැවැත් වුව ද දැන් ප්‍රමුඛස්ථානය දී තිබෙන්නේ එන්නත්කරණයටයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ද කෝවිඩ් නිසා ගැබිනි මව සමඟ වෙනදා මෙන් සුවදුක් සොයා බැලීමේදී ගැටලු මතු විණි. නිරෝධායනය, සංචරණ සීමා ආදී විවිධවූ කරුණු නිසා බොහෝවිට මව්වරුන් සායනයට පැමිණෙන්නේ ප්‍රමාද වීලාය. එවිට වෛද්‍යවරුන්ට ගැබිනි මව්වරුන්ගේ කල් ඇතිව හඳුනා ගත යුතු තත්ත්ව මඟ හැරෙනවා. දරුවාගේ වර්ධනයේ ගැටලු ඇත්නම් ඒවා ද දැන ගැනීමට හැකිවන්නේ නැහැ. මෙය මවටත් දරුවාටත් අහිතකරව බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි වසරකට දරුවන් මිලියන දෙකක් කුස තුළ මිය යති. 2020 නොවැම්බර් මාසයේදී කුසේදීම මියෙන දරුවන් ගණන ලක්ෂ දෙකකින් වැඩිවී තිබෙයි. ඊට ප්‍රධාන හේතුව කෝවිඩ් පමණක් නොව ගැබිනි වියේ ඇතිවන අධි රුධිර පීඩනය, දියවැඩියාව, මවගේ උපතින්ම ඇතිවන හදවත් ගැටලු ආදිය, වර්ධනය වන කලලයේ ඇති වන ගැටලු වැනි විවිධ කාරණා මේ කෙරෙහි බලපායි. සායනවලට නියමිත පරිදි යාමට නොහැකි වීම මීට තදින්ම බලපායි.

තවමත් හරි හැටි හඳුනා ගෙන නැති කෝවිඩ් - 19 එන්න එන්නම භයානක වන්නේ නව ප්‍රභේද පැමිණීමත් සමඟය. එනිසා සරු බවේ කිසිදු ගැටලුවක් නැති ළාබාල විවාහක කාන්තාවකට, දැනටමත් දරුවන් සිටින මවකට අවශ්‍ය නම් උපත් පාලන ක්‍රමයක් භාවිතකර වසරක් දරුවකු පිළිබඳ සිහිනය ඈතට පා කර හැරිය හැකිය. වසරක් යනු නූතන වෛද්‍ය විද්‍යාවට මහා දිගු කාල පරිච්ඡේදයකි. ඒ කාලයේදී කෝවිඩ්වලින් ඇති වන බලපෑම, එන්නතේ අතුරුපල ගැන හොඳින් දැන ගැනීමට ලැබෙනු ඇත. එමෙන්ම වඩාත් සාර්ථක එන්නතක් ඒ කාල සීමාවේදී දැනට පවතිනවාටත් වඩා සාර්ථක එන්නතක් නිපදවීමටත් ඉඩ තිබෙයි. එහෙත් වයස අවුරුදු තිහ ඉක්මවූ මව්වරුන්ට, මඳසරු බව ඇති මව්වරුන්ට කිරි සිහිනය පමා කිරීම එතරම් සුදුසු නැත.

දෙදෙනා තිදෙනකු කිරීමේ තීරණය ඇත්තේ සැමියා හා බිරියටය. මේ සියලු කාරණා සලකා බලා කිරි සිහිනය සැබෑකර ගැනීම හෝ පා කර හැරීම ඇත්තේ ඇය හා ඔහු අතේය.c

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය

හර්ෂ අතපත්තු

 

අන්තර්ජාලයෙනි