අර්බුදය හැමෝටම පොදුයි සිත සන්සුන් කරගන්න

මානසික රෝග වැඩි වෙලා
ජූලි 4, 2022

 

මේ වනවිට අප රට තුළ මතුව ඇති සමාජ, ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සිටින්නේ අසතුටිනි. ඒ තම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට නො හැකි වේ යැයි යන කම්පනයෙන් යුතුවය. රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් දවසේ පැය 24 න් වැඩි කාලයක් යොදවන්නේ තමාගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු සිදුකිරීමට නොව එම සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීම සඳහාය. එදිනෙදා වියදම් දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇත. ආදායමට වඩා වියදම වැඩි වී තිබේ. මෙවැනි ගැටලූ හමුවේ ජනතාව ජීවත් වන්නේ දැඩි මානසික පීඩනයකින් යුතුවය.

 

වෙහෙස නිසා රෝග

දවසේ ආහාර පිස ගැනීමට අවශ්‍ය සහල් ටික මිලදී ගැනීමට පෝළිම්වල කාලය ගත කරති. ඉවුම් පිහුම් කරගැනීමට අවශ්‍ය ගෑස් මිල දී ගැනීමට පෝළිම්වල සිටිති. රාජකාරි කටයුතු කර ගැනීමට අවශ්‍ය වාහන ධාවනයට යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට පෝළිම්වල සිටිති. මෙසේ දිගු වේලාවක් දින ගණනාවක් පෝළිම්වල සිටිමින් පීඩාවට පත්වන ජනතාවගේ මනස දැඩි වෙහෙසකට පත්ව ඇත. ඒ අතර ආහාර පාන මිල ගණන් ඉහළ යෑම, බස් ගාස්තු ඉහළ යෑම ආදිය නිසා සාමාන්‍ය ජීවන රටාව පවත්වාගෙන යෑමට දැඩි වෙහෙසක් ගත යුතුව තිබේ. එනිසා ජනතාවගේ සිරුර ද අසාමාන්‍ය ලෙස වෙහෙසට පත්ව ඇත. මෙලෙස සිරුර දැඩි වෙහෙසට පත්වීම නිසා ඉතා පහසුවෙන් රෝගාබාධාවලට ගොදුරුවීමට පටන්ගෙන තිබේ.

නිරෝගී දිවියක් ගත කිරීමට දිනකට පැය 08 කවත් නින්දක් අවශ්‍යයි. මේ වනවිට එය වෙනස් වී ඇත. ජනතාව දැඩි කම්පනයෙන් යුතුව ජීවත්වීම සහ හෙට දවස ගැන අවිනිශ්චිත බවකින් පසුවීම තුළින් ඔවුන් තුළ දැඩි මානසික පීඩාවක් හටගනී. මෙම තත්ත්වය මත ඔවුන් අතර බෝ නොවන ගණයේ රෝග රැසක් මතුවීමේ අහිතකර පසුබිමක් සකස් වේ.

එනිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ ආදියට ගොදුරුවීමද වේගයෙන් සිදුවේ. මේ වනවිට අප රටේ ජනතාවගෙන් බහුතරයක් පසුවන්නේ බෝ නොවන රෝගවලට ගොදුරුව හෝ ගොදුරුවීමේ අවදානම් කලාපයේ ය. එවැනි පසුබිමක ජීවත්වන ජනතාවට තම දවසේ වියදමවත් සොයා ගැනීමට නොහැකි වන විට, හෙට දවස ගැන අවිනිශ්චිත බවක් දැනෙන විට දැඩි මානසික ආතතියක් හට ගනී.

අධික කෝපය

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රීයට නින්දට යන තුරු සිහිපත් කරන්නේ මෙම ගැටලූ සඳහා මුහුණ දෙන ආකාරය ගැනය. මෙය ඉතා සංවේදී කරුණකි. හෙට දවස ගැන ජනතාවට අවිනිශ්චිත බවක් ඇතිවීම සහ මතුව ඇති ආර්ථික අර්බුද සඳහා පේනතෙක් මානයේ විසඳුම් නොමැති විට ඇතිවන මානසික පීඩනය ද දිනෙන් දින ඉහළ යයි.

පෝලිම් හමුවේ, ජනතාව ආවේගශීලී වන්නේ පවතින මානසික පීඩනය නිසාය. වෙහෙසකර බව නිසා ඉක්මනින් කෝපවීම් ඇති වේ. ඇතැම් විට එය පාලනය කර ගැනීමට ද නොහැකි තරමට දරුණු වේ. එබැවින් අප සෑම කෙනෙක්ම මේ කාලය ඉතා අවධානයෙන් ගතකළ යුතුය.

බොහෝ දෙනා අවේගශීලීව කටයුතු කරන්නේ විවිධ පුද්ගලයන් කෙරෙහි ඇති කෝපය නිසාය. නමුත් එය නිතර නිතර පැවතුණොත් ඉන් විපතට පත්වන්නේ ඔබමය. ඔබේ නිරෝගී බව ඔබ කෙරෙන් පළා යයි.

මානසික මට්ටම කඩා වැටුණ විට එය තම සෞඛ්‍යයට ද බලපායි. රුධිර පීඩනය වැඩි වේ. රුධිරගත සීනි මට්ටම ඉහළ යයි. මානසික පීඩාව නිසා හදිසි හෘදයාබාධ මතුවිය හැකිය. එවිට අපට අනාගතයට මුහුණදීමට සිදුවන්නේ රෝගී පුද්ගලයකු ලෙස ය.

 

ළමා මානසිකත්වය

මේ සියලු කාරණාවලට වඩා වත්මනේ පවතින ගැටලුකාරී තත්ත්වය වැඩියෙන්ම බලපෑම් කරන්නේ ළමා මානසිකත්වයටය. දිගින් දිගටම පවත්වන උද්ඝෝෂණ, වැඩවර්ජන නිසාත්, ඇඳිරිනීති ආදිය නිසාත්, කාලයක් පැවැති වසංගත තත්ත්වය නිසාත් ළමා මනසට සිදු වූ හානිය මෙතෙකැයි කියා ගණන් බැලිය නොහැකිය. ඉන්ධන ගැටලුව දරුවන්ට සහ ගුරුවරුන්ට පාසලට යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසා දිගින් දිගටම පාසල් ආරම්භ වීම කල් යෑම හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයකට පත් වූ දරුවන් බොහෝය.

දිගින් දිගටම විභාග කල් යෑම ද ළමා මානසිකත්වයට සිදු කරන්නේ දැඩි බලපෑමකි. විභාගයකට මුහුණ දීමේ ද එක්තරා මනෝවිද්‍යාත්මක පැතිකඩක් පවතී. එහෙත් දිනෙන් දින විවිධ හේතු නිසා විභාග කල් යෑමෙන් දරුවන් මානසික පසුබෑමකට ලක්ව විභාග සඳහා මුහුණ දීමට කම්මැළි වන බවක් දක්නට ලැබේ. අප උසස් පෙළ අවසන් කරන්නේ කවරදා ද? විශ්වවිද්‍යාලයකට ඇතුළත් වන්නේ කවරදා ද? ඉන් ඉවත්ව වෘත්තීය අධ්‍යාපනයක් ලබන්නේ කවරදා ද? රැකියාවක් කර ජීවිතය ගොඩනඟා ගන්නේ කවදා ද? යන ගැටලු මනස තුළ කැකෑරෙන විට, නව යොවුන් දරුවෝ මෙන්ම තරුණ තරුණියෝද ඉච්ඡාභංගත්වයට පත් වෙති.

වැඩිහිටියන් වන ඔබ ඔබේ දරුවාගේ මානසික මට්ටම නිසියාකාරයෙන් පවත්වා ගැනීමට සහය දැක්විය යුතුයි.

 

ගැබිනි මවගේ මානසිකත්වය

ගැබිනි සමය යනු ගැබිනි මවක් සතුටින් මානසික සුවයෙන් සිටිය යුතුම කාලයයි. පවතින ඖෂධ හිඟය නිසා දරු උපත හොඳින් කර ගත හැකි වේදැයි බියෙන් සිටීමටත්, ඉන්ධන ගැටලුව නිසා දරු උපත් සඳහා ඉක්මනින් රෝහලට යෑමට හැකි වෙයි ද? ආර්ථික ගැටලු නිසා දරුවා ලැබුණු පසු ඒ කටයුතු කර ගැනීමට හැකි වෙයි ද? යනුවෙන් බියෙන් සිටීමටත් සිදුව ඇති කාලයකි. මේ වනවිට ගැබිනි මවගේ අතිරේක පෝෂණ ලබා දීම ද නවතා ඇති පසුබිමක සෞඛ්‍ය සම්පන්න දරුවකු බිහි කිරීමට හැකි වෙයි ද කියා බියකුත් අපේ ගැබිනි මවුවරුන්ට තිබෙනවා.

නමුත් මේ මොහොතේ ගැබිනි මව සෘණාත්මක ආකල්ප සිතින් බැහැර කළ යුතුයි. දරුවකු පිළිසිඳ ගන්නවා කියන්නේම සුබදායි කාරණයක්. ඒ ගැන සිතා මේ මොහොතේ කුස තුළ සිටින දරුවා ගැන ධනාත්මක ආකල්ප ඇති කරගන්න. ආනාගතයේ සිදු වීමට ඇති දේ අනාගතයේදී සිදු වීමට ඉඩ දී වර්තමානය තුළ සතුටින් ජීවත් වෙන්න. කුස තුළ ඉන්න දරුවාගේ මානසික සෞඛ්‍ය සඳහා පොත් කියවන්න, මිහිරි ගීතවලට සවන් දෙන්න, හිත සතුටින් තබා ගන්න.

 

මනස සන්සුන් කරගැනීමට නම්

සෘණාත්මක සිතුවිලි ඇතිවන සිද්ධීන් නිතර දැකීම ඇසීම ආදියෙන් ඈත්විය යුතුය. ධනාත්මකව සිතමින් කටයුතු කළ හැකි, සතුට ඇතිවන ආකාරයේ කටයුතුවල යෙදෙමින් තම පෞද්ගලික ජීවිතය ගතකළ යුතුය. එවිට මානසික බිඳවැටීම් පාලනය කර ගත හැකිය. බෝ නොවන රෝගාබාධවලින් පෙළෙන්නේ නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීම කළ යුතුය. ආහාරපාන ගැනීමේදී ද සැලකිලිමත් විය යුතුය.මතුව ඇති ගැටලූ හමුවේ තනිව විසඳුම් සොයන්නට උත්සාහ නොකර පවුලේ සාමාජිකයන් සමඟ ද සාකච්ඡා කරමින් සාමූහිකව පිළිතුරු සෙවීමට උත්සාහ කළ යුතුය.

අධි රුධිර පීඩනයට ලක්ව, දියවැඩියාව උත්සන්නව, මානසික ආතතියට පත්ව ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන බොහෝ පුද්ගලයන්ට ඒ සඳහා බලපා ඇති තවත් හේතුවක් වී ඇත්තේ මාධ්‍ය තුළින් නිතර ප‍්‍රචාරය වන ගැටුම්කාරී සිද්ධීන්ය. ඉන් ඔවුනගේ මානසික පීඩනය ඉහළ ගොස් ඇත. එනිසා මෙවැනි සිද්ධීන් නැරඹීමෙන් හැකිතාක් වැළකිය යුතුය.

සෑම මොහොතකම තමාගේ ආගම දහම ගැන සිතමින් ඉවසීමෙන් කටයුතු කිරීමටත් හැකි සෑම මොහොතකම සිත සතුටුවන ආකාරයේ කටයුතුවල යෙදීමත් මගින් මනස සන්සුන් කරගත හැකියි.

පවතින අර්බුදකාරී සමාජ පසුබිම හමුවේ ජීවත්වීම සඳහා අප මනස පාලනය කරගත යුතුය. මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ ගැටලූවලට මුහුණදීමට සිදුව ඇත්තේ තමාට පමණක් නොවන බව අවබෝධ කරගන්න. ඒ අනුව තම පෞද්ගලික මානසික මට්ටම කඩාවැටෙන්නට දෙන්න එපා.

උපදෙස්:

විශේෂඥ මානෝ වෛද්‍ය කරාපිටිය ශික්ෂණ රෝහල

රූමි රූබන්